භික්‍ෂුව හොඳින් දන්නා පිංවත් මහත්මයෙකුට මේ දිනවල ගැටලුවක්‌ මතුවෙලා. ඒ ගැන භික්‍ෂුවගෙන් අවවාදයක්‌ බලාපොරොත්තු වුණා. ඒ මහත්මයාට හදිස්‌සියේම බටහිර රටකට පදිංචියකට යන්න අවස්‌ථාවක්‌ ලැබිලා. මේ හේතුව නිසා ඒ මහත්මයාගේ සිතේ මේ දවස්‌වල ලොකු යුද්ධයක්‌. යම්දෝ.. නොයම්දෝ… කියලා.

ඉහත ප්‍රශ්නය අරභයා මේ මහත්මයාගේ සිත බොහොම ගැඹුරින් තර්ක විතර්ක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිත කියන්නේ මාරයා කියලා. මේ මුළුලෝක ධාතුවේම ආධිපත්‍යය දරණ සමස්‌ත සත්ත්ව ප්‍රජාවේම ඉරණම තීරණය කරන, ව්‍යවස්‌ථාව සම්පාදනය කරන මාරයාගේ අධිකරණ ක්‍රියාවලියක්‌ තිබෙනවා. මේ අධිකරණ ක්‍රියාවලිය ඔස්‌සේ තමයි මාරයා භවය නමැති සිරගෙදරට සත්ත්වයා සිරකරන්නේ. මේ අධිකරණ ක්‍රියාවලිය අපේ මනුෂ්‍ය ලෝකයේ ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියාවලියට වඩා හාත්පසින්ම වෙනස්‌. අපේ මනුෂ්‍ය ලෝකයේ නම්, අධිකරණ ක්‍රියාවලියේදී පැමිණිල්ල සහ විත්තිය මෙහෙයවන නීතිඥ පාර්ශ්ව දෙකක්‌ තිබෙනවා. නමුත් මාරයාගේ අධිකරණ ක්‍රියාවලියේදී පැමිණිල්ලත්, විත්තියත් දෙකම මෙහෙයවන්නේ මාරයාගේ පාර්ශ්වය විසින්මයි. මේ ක්‍රියාවලිය පෘතග්ජන සිතකට හඳුනාගැනීමට නොහැකි උතුම් සම්මා දිට්‌ඨිය තුළින්ම හඳුනාගත යුතු ක්‍රියාවලියක්‌. මාරයා අධිකරණයේ පැමිණිල්ලත්, විත්තියත් දෙකම මෙහෙයවන නීතිඥයා වූ කල අපූරු නීති තර්ක සිත තුළ මතුකර දෙනවා. සශ්‍රික ධනවත් හොඳ අනාගතයක්‌, විවේකය හුදෙකලාව පිරුණු ගැටුම් අඩු ජීවිතයක්‌, දරුවන්ට ඉංග්‍රිසි උගත් සරු අනාගතයක්‌…. පැමිණිල්ල බොහොම අපූරුවට තර්ක ගෙනහැර දක්‌වනවා. මේ තර්ක වලට එරෙහිව විත්තියෙන් තර්ක ඉදිරිපත් කරනවා. දරුවන් බටහිර සිරිත් විරිත් ඉගෙනගෙන විනාශ වෙයිද? ධර්මයේ අර්ථයන්ගෙන් අපේ ජීවිත බැහැරවෙයිද? දෙමාපියන් ඥාතීන් අසනීප වුවහොත්, මියගියහොත් බලන්න එන්න බැරිවෙයිද? එම රටවල ශීතල දේශගුණය පවුලේ අයට ඔරොත්තු දෙයිද?… විත්තියෙන් බොහොම අපූරුවට අදහස්‌ ඉදිරිපත් වෙනවා. දෙපාර්ශවයේ අදහස්‌ සමග යුද්ධයක්‌ කරමින් තමයි ඒ මහත්මයා මේ දවස්‌වල ජීවත්වෙනවා ඇත්තේ.

නමුත් ඒ පිංවත් මහත්මයා දන්නේ නැහැ මේ පැමිණිල්ලත් විත්තියත් දෙකම මෙහෙයවන්නේ මාරයා කියන නීතිඥයා කියලා. කොයි මොහොතක හෝ ඒ මහත්මයා යනවා හෝ නොයනවා කියන තීරණය ගනීවී. තීරණය කුමක්‌ වුවත්, එම තීරණය මාරයාගේමය. ඒ මහත්මයා ගත්තා වූ තීරණය මාරයාගේම වූ කල භික්‍ෂුව ඔහුට කිනම් නම් අවවාදයක්‌ දෙන්නද? භික්‍ෂුව පිංවත් මහත්මයාට මතක්‌ කළේ පවුලේ අය සමග කථා කරලා සුදුසු තීරණයක්‌ ගන්න කියලා. හැබැයි භික්‍ෂුවට මෙහෙම කියන්න සිතුනා.

‘මහත්තයෝ කොළ කැබලි දෙකක්‌ ගන්න. එක කොළ කැබැල්ලක ලියන්න ‘මම රට යනවා’ කියලා. අනික්‌ කොළ කැබැල්ලේ ලියන්න ‘මම රට යන්නේ නැහැ’ කියලා. දැන් කොළ කැබැලි දෙක හොඳට රෝල් කරලා උඩ දමන්න. කොළ කැබැලි දෙක බිම වැටුණාට පස්‌සේ ඔබ එක කොළ කැබැල්ලක්‌ තෝරාගෙන දිගහැරලා බලන්න. එහි සටහන් වෙලා තිබ්බොත් රට යන්න කියලා, බුදුරජණන් වහන්සේ දේශනා කරනවා රූපය මාරයා කියලා. පිංවත් ඔබ අතට ගන්න කොළ කැබැල්ල කියන්නේ මාරයාමයි. එම නිසා ‘මාරයා කියන දෙය මම කරන්නේ නැහැ කියලා’ රට යන්න යනුවෙන් ලියලා තියෙන කොළ කැබැල්ල ඉරලා විසිකරන්න. දැන් ඔබ ඉතිරිවෙලා තිබෙන කොළ කැබැල්ල අතට අරගෙන දිගහැරලා බලන්න. එහි සටහන් කරලා තිබෙන්නේ රට යන්න එපා කියලා. දැන් පිංවත් ඔබ පෙරසේම නැවත සිතන්න කොළ කැබැල්ලක්‌ කියන රූපයත් මාරයා, මාරයා පෙන්වන දේ මම කරන්නේ නැහැ කියලා. එම කොළ කැබැල්ලත් ඉරල විසි කරන්න’

දැන් පිංවත් ඔබ නුවණින් දකින්න ඕනා, රට යාමත්, රට නොයැමත් දෙකම මාරයාට අයිති සිතිවිල්ලක්‌ම බව. රට යැමත් නොයැමත් දෙකම මාරයාට අයිති නම්, පිංවත් ඔබ කුමක්‌ද කරන්න ඕනේ?

රට යැමත්, රට නොයැමත් දෙකම අතහැරලා නැවතීමයි.

පිංවත් ඔබ කුමක්‌ ළඟද නවතින්නේ?

ධර්මය ළඟයි.

රට යම්දෝ, නොයම්දෝ කියලා සකස්‌වන ඔය සිත අනිත්‍ය වශයෙන් දකින මොහොතේම ඔබ ධර්මය ළඟ නැවතුනා වෙනවා. මාරයාගේ සටකපට අධිකරණ ක්‍රියාවලිය හඳුනාගත් පිංවතෙක්‌ වෙනවා. මාරයා අපට විකට ඇඳුම් අන්දවා, දුක නමැති සංදර්ශනයට ඉදිරිපත් කරනකොට මාරයාට අපි පිළිතුරු දිය යුත්තේ ඉහත ආකාරයටයි.

එතකොට එම පිංවත් මහත්මයා භික්‍ෂුවගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ඔබ වහන්සේ කියන විදිහට සිතුවොත් මම බලාපොරොත්තු වන වාසනාවන්ත අනාගතයට මොකද වෙන්නේ කියලා.