භික්‍ෂුව මේ මොහොතේ වැඩසිටින කුටිය ඉහළින් නිරතුරුවම ගුවන් යානා ගමන් කරනවා. මේ සටහන තබන මොහොතේ භික්‍ෂුව වාඩිවෙලා සිටින ගල් තලාවට ඉහළින් ගුවන් යානාවක්‌ ගමන් කරනවා. එය බොහෝම සුඛෝපභෝගී ගුවන් යානාවක්‌ විය හැකි බවකුයි එහි හැඩහුරුකමින් භික්‍ෂුවට පෙනෙන්නේ. භික්‍ෂුව මහ පොළොවේ ගල් තලාවක්‌ මත වාඩිවී සිටියදී, භික්‍ෂුවගේ හිසට ඉහළින් ගමන් කරන පිංවත් ඔබ, මට වඩා කොච්චර පිං කරලා තිබෙන පිරිසක්‌ද. භික්‍ෂුවගේ හිසටත් ඉහළින් ගමන් කරන්නේ පින නිසානේ. නමුත් ඒ උතුම් පින අපි උපයෝගී කොටගන්නේ අනාගතයේ විපාකය පිණිස රැස්‌කොට ගන්නා තවත් ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන් උදෙසායි. පින නිසාම අතීත භවයන් හිදී මෛත්‍රී ධ්‍යාන සකස්‌ කොටගෙන, රූපාවචර ධ්‍යාන සකස්‌ කොටගෙන, ආකාසයේ එර්ධියෙන් ගමන්කළ ඔබ පිංවත් ඔබ, දිව්‍යතලවල සශ්‍රික එර්ධිමත් දෙවිවරු ලෙස ඉපදිලා, අකාසයේ නා නා විධ පෙළහැර පෑ ඔබ, සක්‌විති රජ ලෙස ඉපදිලා එර්ධිමත් ඇතුපිට, එර්ධිමත් අජානේය අසුපිට ආකාශයේ එර්ධියෙන් ගමන්කළ පිංවත් ඔබ, එදා තේරුම් නොගත්, පින නමැති සංස්‌කාරයේ අනිත්‍යභාවය වර්තමානයේ ගුවන් ටිකට්‌පතක්‌ හිමිකරගෙන, විදේශ රටකින් වීසා අවසරයක්‌ ලැබ, ගුවන් යානයක අහසින් ගමන් කරද්දී කෙසේ නම් තේරුම් ගන්නද?

පිංවත් ඔබ, අතීතයේ එර්ධියෙන් ආකාශයේ ගමන් කරද්දීත්, ඒ ආශ්වාදජනක සිත අයිති වූයේ මාරයාටමයි. මේ මොහොතේත් භික්‍ෂුවගේ හිසටත් ඉහළින් ගමන් කරන පිංවත් ඔබේ වර්තමාන සිතිවිල්ල අයිති වන්නේද මාරයාටමය. බලාපොරොත්තු කන්දක්‌, බාධක පොදියක්‌ කර තබාගෙන බලාපොරොත්තු හිස්‌කළ භික්‍ෂුවගේ හිසටත් ඉහළින් පිංවත් ඔබ අදත් ගමන් කරනවා.

පසුගිය වසර කිහිපය පුරාවට භික්‍ෂුවට හොඳ අත්දැකීමක්‌ තිබෙනවා. භික්‍ෂුවට මුණගැසුණ හොඳින් පිංකම් කරන, හොඳින් දන්දෙන, ගෞරවයෙන් සංඝයා ඇසුරු කරන පිංවතුන්ලාට බොහෝම ඉක්‌මනට රැකියාවන් සඳහාත්, අධ්‍යාපනය සඳහාත්, ස්‌ථිර පදිංචිය සඳහාත්, විදේශගත වෙන්න අවස්‌ථාව ලැබෙනවා. ඉහත කාරණය පුදුමයක්‌ වෙන්න දෙයක්‌ නැහැ. පින නමැති සැපයට අධිපති සංස්‌කාරයේ යථා ස්‌වභාවයයි අපි මේ දකින්නේ. පින බොහොම බලවත් දෙයක්‌. ඒ වගේම පින වැරදි ආකාරයට කළමනාකරණය කළොත් එය ගින්දරක්‌ බවටයි පත්වෙන්නේ. මහා සංඝරත්නයට පසඟ පිහිටුවලා වන්දනා කළ පිංවතුන්, මහා සංඝරත්නයට දන්පැන් පූජා කරලා පිං රැස්‌කරගත් පිංවතුන් එම පිනේ ශක්‌තියෙන්, ආශ්චර්යයෙන් මහා සංඝරත්නයේ හිසටත් ඉහළින් ගමන් කරනවා.

භික්‍ෂුව සිතන්නේ, පින සැපයට අධිපති වුණත්, වැරදි ආකාරයට කළමනාකරණය කරගත් පින හරිම අසත්පුරුෂ ධර්මතාවයක්‌ය කියලා.

භික්‍ෂුව මේ මොහොතේ කුටිය ඉදිරිපිට ගල්තලාව මත වාඩිවෙලා, දෑස්‌දෙක පියාගෙන මෙහොතක්‌ අතීත ආවර්ජනයක යෙදෙනවා. භික්‍ෂුව ගිහි කාලයේදී මුලින්ම අභියෝග කළේ සැපයටද, දුකටද කියලා.

භික්‍ෂුව ධර්ම මාර්ගයේ මුල් අවධියේදී පළමුව අභියෝග කළේ සැපයටයි. පිනටයි. ආශ්වාදයන් සොයමින් සැපයටමයි අභියෝග කළේ. ආශ්වාදයටම බැඳී යන මාර සිතක්‌ සමග සැපයට අභියෝග කිරීම අපහසු කාරණයක්‌ වෙනවා. භික්‍ෂුවට සැපයට අභියෝග කිරීමෙන්මයි ආශ්වාදයේ අනිත්‍යභාවය මතුකොට ගත්තේ. පින නමැති සංස්‌කාරය පිංවත් ඔබට සැපය නමැති මිරිඟුව පෙන්නලා සැපය සොයා යන ගමනේදී පිංවත් ඔබව නැවැත නැවත අකුසල් මූලයන්ට යොමු කරනවා. විදේශගතව ජීවත්වන සමහරක්‌ පිංවතුන් බොහොම වෙහෙසකාරී අවිවේකී ජීවිතයි ගතකරන්නේ. එම ආගන්තුක රටවල ජීවන වියදමත් සමග, ආගන්තුක සංස්‌කෘතීන් සමග ගනුදෙනු කිරීමේදී ඒ පිංවතුන්ලා ලෝභ ද්වේෂ, මෝහ අකුසල මූලයන්ට කොටුවෙන්න තියෙන අවස්‌ථා වැඩියි. පෙර පින නිසාම සැපය නමැති මිරිඟුව පසුපස හඹායන පිංවත් ඔබ දක්‍ෂ වෙන්න ඕනේ ඔබ සතු පිංවත් භාවය ප්‍රඥාවේ උද්දීපනය උදෙසා යොමු කරගන්න.

සැපයට අධිපති, දුකේ මැවුම්කරු වන පින නමැති සංස්‌කාරය පිංවත් ඔබ කවදාද හඳුනාගන්නේ. කවදාද මේ පින නමැති සංස්‌කාරයන්ට ඔබ ධර්මානුකූලව අභියෝග කරන්නේ. පිංවත් ඔබ පිනට අභියෝග කරන මොහොතේම දුකටත් අභියෝග කළා වෙනවා. මොකද (ඉකුත් සටහනේ දැක්‌වූ පරිදි) මාරයාගේ අධිකරණ ක්‍රියාවලියේ විත්තියත්, පැමිණිල්ලත් දෙකම මාරයාමයි. ඒ නිසාම විත්තියටයි පැමිණිල්ලටයි දෙකටම අභියෝග කරන්න අවශ්‍ය නැහැ. පැමිණිල්ලට ඔබ අභියෝග කරද්දී, විත්තියටත් ඔබ අභියෝග කළා වෙනවා. පිංවත් ඔබ ධර්මානුකූලව පිනට අභියෝග කරද්දී දුකටත් ඔබ අභියෝග කළා වෙනවා.

පිංවත් ඔබ ආර්ථිකයෙන් දියුණුවෙන් දියුණුවට පත්වෙලා, කෝටිපතියෙක්‌ වෙලා මැරෙන්න පුළුවන්. නමුත් ඔබ මරණයෙන් පසුව වැටෙන්නේ සතර අපායට නම්, ඒ කෝටිපතිකමින් ඇති ඵලය කුමක්‌ද? සල්ලි ගෝනියක්‌ ගෙදර තබාගෙන ඒ සල්ලි ගෝනියට වැන්දා කියලා ලැබෙන ඵලයක්‌ නැහැ. බියක්‌මයි සකස්‌ වෙන්නේ. කාමච්ජන්දයක්‌මයි සකස්‌ වෙන්නේ.

කොටුවේ දුම්රියපළට ගිහිල්ලා, තුන්වැනි පංතියේ ප්‍රවේශපත්‍රයක්‌ මිලට ගෙන අනුරාධපුරයට ගිහිල්ලා, තිසා වැවෙන් දිය නාලා, දොළොස්‌මහේ බත් දන්සැලෙන් බත් පිඟානක්‌ අනුභව කරලා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහ සෑ සමිඳුන් වන්දනා කරන මොහොතක්‌ පාසාම, ලෝකයේ උතුම්ම සැනසිල්ලක්‌ ඒ මනුෂ්‍යයා අත් විඳිනවා. සම්මාදිට්‌ඨියට පත් පිංවත් ජනතාවට ආර්ථිකය නොවෙයි වැදගත් වෙන්නේ. සද්ධර්මයේ උතුම් අර්ථයන්මයි. සද්ධර්මයෙන් තොරව අප ගන්නා වූ තීරණයන්, අවසානයක්‌ නොමැතිව ගලායන ලෝකයට නිරතුරුවම ආරම්භයක්‌ මතුකොට දෙනවා. ප්‍රශ්නවලින් හෙම්බත් වෙච්චි මනුස්‌සයන්, ප්‍රශ්න අතරින්ම මතුවෙලා දුකෙන් මිදෙන්න ගන්න ආරම්භයත්, නැවතත් දුකට හේතුවන අකුසල මූලයක්‌ම සකස්‌කොට දෙනවා. දුක සැප දෙකම වංචාකාරි ලෙස පිංවත් ඔබව මුළා කරනවා. අකුසල් සංස්‌කාරයන්ගෙන් මිදී දුකෙන් පලායන ඔබ, නැවතත් සැපය අබියසදී අකුසල් මූලයන්ම රැස්‌ කරනවා. අවසානයේ දුක සැප මිරිඟුව අබියස පිංවත් ඔබ අසරණ මුව පොව්වෙක්‌ වෙනවා.

දුකෙන් මිදීමත්, සැප ලැබීමටත් ගන්නා උත්සහයේදී ඔබගේ පංච උපාදනස්‌කන්ධය නිරතුරුවම ගිනි ගන්නවා. ඒ ගින්නට ආහාර දමමින් අපි ලෝකය තව තව අවුළුවා ගන්නවා. අපි සිතන දේවල්වලින් කොච්චර පොඩ්ඩක්‌ද අපේ ජීවිතවලින් ඉටුවෙලා තිබෙන්නේ. බලාපොරොත්තු කන්දක්‌, බාධක පොදියක්‌ කර තබාගෙන අපි ගමන් කරනවා. ඒත් වෙහෙසක්‌ දැනෙන්නේ නැහැ. නැවුම් බලාපොරොත්තු පිංවත් ඔබගේ ඉවරයක්‌ නැති ගමනට තව තව ජවය ලබා දෙනවා. අල්පේච්ඡ ජීවිතයක්‌, ලද දෙයින් සතුටුවෙන ජීවිතයක්‌, සරළ ජිවිතයක්‌, මධ්‍යම ප්‍රතිපදාවට යටත් ජීවිතයක අර්ථය තුළින් පළායන අපි සැපය නමැති මිරිඟුව අබියස නැවත දුකට අවශ්‍ය සාධකම වපුරා ගන්නවා.

මීට මොහොතකට පෙර භික්‍ෂුවගේ හිසට ඉහළින් වේගයෙන් පියඹා ගිය සුඛෝපභෝගී ගුවන් යානය, තවත් පැය කිහිපයකින් ලෝකයේ කොහේ හෝ ගමනාන්තයකට ගොඩ බසීවි.

භික්‍ෂුව ඉහත සටහන් කළ පින නමැති සංස්‌කාරයේ අනිත්‍ය භාවය පිංවත් ඔබ මේ ජීවිතයේදී හඳුනා නොගත්තොත්, පිංවත් ඔබට මරණින් පසු ලෝකයේ කොහේ හෝ ගමනාන්තයකට ගොඩබසිනු ඇත. අවසානයේ පිංවත් ඔබගේ ජීවිතයත් තවත් ගුවන් ගමනක්‌ම වනු ඇත.