තරුණ ස්‌වාමීන්වහන්සේ නමක්‌ භික්‍ෂුව මුණගැසිලා ප්‍රකාශ කළා ‘අපි කුමක්‌ද කළ යුත්තේ ‘ කියලා. ‘බොහෝම සතුටින් පැවිදිවුණා. දැන් අසරණභාවයක්‌ දැනෙනවා’ කියලා.

අපි මුලින්ම සිතන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, වසර 2600ක්‌ ගිය තැනයි අපි මේ සිටින්නේ කියලා. ගෞතම බුද්ධ ශාසනය නැමැති පහන නිවීමට ආසන්න මොහොතේ ඇතිවන තියුණු ආලෝකය පසුබිමෙහි අපි සිටින්නේ. මේ ඉන්න තැන සිට ධර්මය මතුකොටගන්න උත්සහ ගන්නකොට, අවංකවම ඔබට අසරණභාවයක්‌ දැනෙන්න පුළුවන්. මාරයා විසින් දෘෂ්ඨිමතවාදවලින් පටලවපු ලෝකය තුළ, අසරණබවක්‌ මිස, සරණක්‌ දැකීම දුර්ලභ දෙයක්‌. නමුත් එක සිතිවිල්ලකින් ඔබට පුළුවන් ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩ සිටිය කාලයට යන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිය කාලයට යන්න. උන්වහන්සේලා පිරිනිවී ගියත්, බුද්ධරත්නයේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ සන්දිට්‌ඨික ගුණය තවම නොනැසී පවතිනවා.

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව පැවිදිවෙච්චි දවස. මට මතකයි එදා ගිහි කෙනෙක්‌ හැටියට මට යම් දේපළක්‌ තිබුණා නම්, ඒවා භාරකරුවන්ට ලියලා, සුදු සරමක්‌, කමිසයක්‌ බෑගයක දමාගෙන, මම පැවිදිවෙන්න යනවාය කියලා, කොළ කැබැල්ලක ලියා තබා මගේ කාමරයේ දොර වසා, උදේ 5.00ට තිබෙන බසයෙන් උපන් ගමින් නික්‌ම පැමිණි මොහොත. ඒ බුදුරජාණන්වහන්සේව පමණක්‌ විශ්වාසකොට පැමිණි ගමනක්‌. භික්‍ෂුව පැවිදිවීමේ උත්සහයේදී මුලින්ම හමුවුණු පැවිදි ගුරුවරයා, ගසක්‌ යට වැඩ සිටි කෙනෙක්‌. උන්වහන්සේ වස්‌ දහය සම්පූර්ණ කරලයි තිබුණේ. උන්වහන්සේ බුද්ධත්වය ප්‍රාර්ථනා කළ නායක ස්‌වාමීන්වහන්සේ නමක්‌.

මම ශීලයට බොහොම කැමැති කෙනෙක්‌. ඒ නිසා මෙම පැවිදි ගුරුවරයා මට හොඳින් ගැළපුණා උතුම් පැවිද්ද ලබාගැනීමට. අසරණභාවයෙන් මිදී, සරණක්‌ සොයාගෙන යන්න යන ගමනේදී, මම නුවනින් දැක්‌කා, මාව අසරණකොට ඇත්තේ තෘෂ්ණාව විසින් බව. මගේ පැවිදි ජීවිතයේදී ජයගතයුතු ප්‍රධානම සතුරා, තෘෂ්ණාව බව මම හඳුනාගෙන සිටියා. ඒ නිසාම මම පැවිද්දට පෙරාතුව ගුරුවරයාට දැනුම් දුන්නා, මගේ පැවිද්ද සඳහා ඔබ වහන්සේගේ පරණ සිවුරක්‌ සූදානම්කොට දෙන්න කියලා. අලුත් සිවුරක්‌ අවශ්‍ය නැහැය කියලා. නායක ස්‌වාමීන් වහන්සේ මතක්‌ කළා, තමන් ළඟ මීයො කාපු සිවුරක්‌ තිබෙනවා, එය මට දෙන්නම් කියලා. පැවිද්දේ ආරම්භක අඩිතාලම වැටෙන්නේ අතහැරීම මුල්කරගෙන. මේ වන විට මම විනය කියන කාරණය දැනගෙන හිටියේ නැහැ. ඒ නොදන්නාභාවය නිසාම, මම පැවිද්දට පෙර මගේ පැවිදි ගුරුවරයාගෙන් ඉල්ලීමක්‌ කළා. ඒ ඉල්ලීම තමයි පැවිදිවෙලා මාස තුනකට පසුව මට හුදෙකලාව, කැලයට යැමට අවසර දෙන්න කියලා. මම ඒ වෙලාවේ දැනගෙන හිටයේ නැහැ, සාමනේර නමක්‌, උපසම්පදා භික්‍ෂුවක්‌ වසර පහක්‌ තම ගුරුවරයා යටතේ සිටිය යුතුයෑයි බුදුරජාණන් වහන්සේ විනය කාරණාවක්‌ පනවා තිබෙනවා කියලා. නායක ස්‌වාමීන්වහන්සේ මාව ඒ ගැන දැනුවත් කළෙත් නැහැ. නොදන්නාභාවයම, දන්නාභාවයට පැමිණීමට මට පාර විවරකොට දුන්නා.

මම පැවිද්දට පෙර, කතරගම දේවාලයත් කිරිවෙහෙරත් අතර තිබෙන මාවතේ වම් පස තිබෙන, වන්දනාකරුවන් විවේක ගන්නා ගිමන්හලක මාසයක්‌ දසසිල් සමාදන්වෙලා සිටියා. වටේට විවෘත, කුඩා ගිමන්හලේ වැස්‌සට පින්නට වට ආවරණයක්‌ තිබුණේ නැහැ. තවත් වයෝවෘද්ධ මහත්මයෙක්‌ මේ ගිමන්හලේ නැවතී සිටියා. දිනපතා මැණික්‌ ගඟට බැහැලා දිය නාලා, කතරගම දායක මහත්වරුන් පිරිසක්‌ ගෙනත් දෙන දානෙ පාර්සලය භුක්‌තිවිඳලා, පැවිදි ජීවිතයට පෙරාතුව මාසයක දසසිල් ජීවිතය සම්පූර්ණ කළා. කිරිවෙහෙරෙන් නැඟෙන සාදු නාද හඬ, දේවාලයෙන් ඇසෙන ගන්ඨානාද හඬ නිරතුරුවම සිත තැන්පත් කළා. සෑම උදෑසනකම දේවාලයේ මුරුතැන්බත්, මහත්තයෙක්‌ විසින් ගෙනත් දුන්නා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ මොහොතක්‌ විවේකී සුවයෙන් වැඩසිටි පිං බිමක, පැවිද්දට පෙරාතුව මාසයක දසසිල් දිවිය ගතකළා.

ඉන්පසුව අනුරාධපුරේ ආරණ්‍යයකයි මගේ පැවිද්ද සිද්ධවුනේ. මේවා සැලසුම්කොට නොවෙයි සිද්ධවුනේ. අහම්බෙන්මයි. මම ගිහි කාලේ කතරගම යන්න හරිම ආසයි. පැවිද්දට පෙරාතුව අවුරුදු හතක්‌ පමණ සෑම මාසයකට වරක්‌ මම කතරගමට යනවා. නමුත් දේවාලයට නොවේ. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන්වහන්සේ, කිරිවෙහෙර බෝධීන්වහන්සේ වන්දනා කරගන්න. දෙවියන්ට පිං අනුමෝදන් කරනවා. බෞද්ධ ජනතාව, අන්‍ය ආගමික ජනතාව, කතරගම පූජා භූමියට ඇවිත්, තම තමන්ගේ ආගමික ඇදහිලි සිදුකරන ආකාරය හුඟ වෙලාවට මම බලාගෙන සිටියා. ඒ හැම කෙනාගෙම ඇදහිලි තුළින්, ලෝකයේ ස්‌වභාවය දකිමින්, මෝහයේ ස්‌වභාවය දකිමින්, මගේ සිතුවිලි ධර්මයෙන් පන්නර කරගත්තා. කතරගම පුදබිම කෙරෙහි තිබුණු ගෞරවය නිසාම, පැවිද්දට පෙරාතුව දසසිල් ජීවිතය, කතරගම පූජාබිමේදී ගතකරන්නට ධර්මය විසින් අවස්‌ථාව සලසලා දුන්නා. ඉන් පසුවයි අනුරාධපුරයේ ප්‍රදේශයේදී භික්‍ෂුව උතුම් පැවිදිබව ලබන්නේ.

භික්‍ෂුවට මතකයි භික්‍ෂුව පැවිදිවෙච්චි දවස, පාන්දර 4.00ට කහ දියෙන් හිස සෝදලා, දැලි පිහියෙන් හිස මුඩු කරලා, නායක ස්‌වාමීන් වහන්සේමයි මේ කටයුතු සියතින්ම සිදුකළේ. පාන්දර 5.00ට පමණ තමයි මාව පැවිදිකළේ. නැකතක්‌ කියන කාරණයක්‌ තිබුණේ නැහැ. දන්නා හඳුනන ඥාතියෙක්‌, භික්‍ෂුව පැවිදිකරන මොහොතේ ළඟ සිටියේ නැහැ. ඒ අය දැනගෙන හිටියෙත් නැහැ. භික්‍ෂුව දෙතුන්වරක්‌ පමණක්‌ දැක ඇති, නොහඳුනන, කතරගම දායක ගම්වැසියන් පහළොවක්‌ පමණ උදේ පැවිදි පිංකමට ඇවිත් සිටියා. ගස්‌වල පොතු කොටලා, සිවුරු පඬුකරලා, දින 2ක්‌ වෙහෙස මහන්සිවෙලා, එම පිංවත් පිරිස පාත්‍රා සිවුරු සූදානම්කොට දුන්නා. තුන් සිවුරත් පාත්‍රයත් පමණයි භික්‍ෂුවගේ පරිහරණයට ලැබුණේ. උදේ පාන්දර 4ට පමණ මගේ හිසකෙස්‌ මුඩුකරද්දී, මම දෑස්‌ පියාගෙන, මගේ හිස මුඩු කරන්නේ සාරිපුත්ත මහරහතන්වහන්සේය කියලයි මම දැක්‌කේ. මම මගේ ගුරුවරයාගෙන් පැවිද්ද ඉල්ලුවේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලනවා කියලා හිතේ මවාගෙනයි. ගුරු ගෞරවය නිසාම ගුරුවරයා තුළින් මා දැක්‌කේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේවයි. කොටින්ම මම උතුම් පැවිද්ද ලැබුවේ මගේ මනෝභාවය තුළට වඩම්වාගත් උතුම් රහතන්වහන්සේලාගෙන්. මට එදා ශක්‌තිය තිබුණා, ගුරු උපදේශවලින් තොරවම එවන් දැකීමක්‌ ඇතිකොටගන්න. එවන් උතුම් රහතන් වහන්සේලාව මනසින් ඇසුරු කරන්න. ඒ නිසාම මගේ පැවිදි ජීවිතය තුළ, කොතැනකදීවත්, මට බියක්‌ කලකිරීමක්‌, අසරණභාවයක්‌ ඇතිවෙලා නැහැ. භික්‍ෂු ජීවිතය තුළ අරමුණ කෙරෙහි හඹායැමේ ජවය භික්‍ෂුව විසින් ඇතිකොටගන්නේ ඔය උපක්‍රම තුළින්.