පැවිදිවෙලා හරියටම මාස දෙකහමාරකට පස්‌සේ පොරොන්දු වූ පරිදි නායක ස්‌වාමීන්වහන්සේගෙන් අවසර අරගෙන මම හුදෙකලා වනගත ජීවිතයට යොමුවුණා. ඒ කාලය ත්‍රස්‌තවාදී කටයුතු රටේ බහුලව තිබුණු කාලයක්‌. ජාතික හැඳුනුම්පත නොමැතිව බස්‌රථයක යන්න පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. ජාතික හැඳුනුම්පතක අවශ්‍යතාව ඉටුකරගන්න භික්‍ෂුව මුලින්ම උපන් ගමට පැමිණියා. හැමෝම භික්‍ෂුවගෙන් ඇහුවේ ‘ඔබ වහන්සේ කොයි ආරණ්‍යයේද වැඩ සිටින්නේ ?’ කියලා. මට එහෙම අහවල් ආරණ්‍යයක වැඩසිටිනවා කියන්නට නිත්‍ය තැනක්‌ තිබුණේ නැහැ. මොකද මම පැවිද්ද ලබාගත්තේ ඒ කාලේ ගහක්‌ යට වැඩසිටිය ස්‌වාමීන්වහන්සේ නමකගෙන් (දැන් උන්වහන්සේට ගමේ පිංවතුන් විසින් ආරණ්‍යයක්‌ සාදා පූජාකර තිබෙනවා) මම අහවල් ආරණ්‍යයේ යයි කියන්නට තැනක්‌ එදා මට තිබුණේ නැහැ. ඒ කාලයේ සමහර පිංවතුන්ලා මට කීවේ ‘අහිගුණ්‌ඨක හාමුදුරුවෝ’ කියලා. ස්‌ථිර නිත්‍ය තැනක්‌ නැහැ. මගේ කනට ඇහිලා තිබෙනවා ඔවුන් මට ‘අහිගුණ්‌ඨක හාමුදුරුවෝ’ කියලා කියනවා. මේ ‘අහිගුණ්‌ඨක හාමුදුරුවෝ’ කියන නම මට ලැබුණේ, මගේ අතහැරීමේ ශක්‌තිය නිසාමයි. පැවිදිවෙන්න පෙර දසසිල් සමාදන් වෙනකොටම මට මගේ ජීවිතයේ අඩක්‌ අතහැරිලා තිබුණේ. ඒකයි හෙටක්‌ ගැන සිතන්නේ නැතිව, හෙට ඉන්නේ කොතැනද කියලා සිතන්නේ නැතිව, ගහක්‌ යට වැඩසිටිය ස්‌වාමීන්වහන්සේගෙන් මම පැවිද්ද ලබාගත්තේ.

උන්වහන්සේ එම ගහ යටදි මට මුණගැසුණේ මගේ වාසනාව, පින නිසාමයි කියලයි මම හිතන්නේ. මොකද උන්වහන්සේ පමණයි උතුම් පැවිද්ද ලබලා තුන් මාසයකට පසුව, ස්‌වාධීනව කැලයට යන්න අවසරය දුන්නේ. උන්වහන්සේ යම් හැකියාවක්‌ මගින්, මා තුළ සැඟව තිබූ කුසල් ශක්‌තිය සාකච්ජාව තුළින්ම විනිවිද දැක්‌කා.

එදා පහළොස්‌වක පොහොය දවසක්‌. උන්වහන්සේ වැඩසිටිය ගහ යට, එකසිය විසිපහක පමණ උවැසු උවැසියන් පිරිසක්‌ සිල් සමාදන්ව සිටියා. උදෑසන ඒ අයත් සමගින්ම මාව දසසිල් සමාදන් කළාට පසුව ඒ සියල්ලන් ඉදිරියේ උන්වහන්සේ එක ප්‍රකාශයක්‌ කළා. ඒ ප්‍රකාශය තමයි අනාගතයේදී නැවතත් රහත් යුගයක්‌ උදාවෙනවාය කියලා. මම සිහිනෙකින්වත් මෙවැනි ප්‍රකාශයක්‌ බලාපොරොත්තු වුණේ නැහැ. උන්වහන්සේ ඇයි මෙසේ කීවේ, කොහොමද එසේ කීවේ කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒ වදන් පෙළ මගේ පැවිදි ජීවිතයට අයෝමය ශක්‌තියක්‌ වුණා. උතුම් පැවිද්දේ මූලිකම අරමුණ මගේ සිතේ සැඟවී තිබියදී, උන්වහන්සේ දැක්‌කාය කියලයි මම හිතන්නේ. දසසිල් බිමේදීම, ඒ සත්පුරුෂ නායක ස්‌වාමීන්වහන්සේ මා තුළ මාර්ගය කෙරෙහි අයෝමය විශ්වාසයක්‌ ඇතිකළා.

ඉහත කාරණා මෙහි සටහන් කළේ ඔබේ පැවිදි ජීවිතය පිළිබඳව ඔබ තුළ ශක්‌තියක්‌ ඇතිකරන්නයි. අතහැරීම කියන අර්ථය දසසිල් බිමේදීම, ජීවිතය තුළින් ක්‍රියාත්මක වූ හැටි ඔබට දක්‌වන්නයි.

පූජාබිමක, වන්දනාකරුවන් විවේකගන්නා ගිමන්හලක දසසිල් සමාදන් වෙලා, ගසක්‌ යට ජීවත් වුණු ස්‌වාමීන් වහන්සේ නමකගෙන් උතුම් පැවිදිභාවය ලබලා, අහිගුණ්‌ඨක හාමුදුරුවෝ කියන නම ලබමින්, පැමිණි ගමන තුළ භික්‍ෂුවට කවදාවත් තමා අසරණය කියලා දැනිලා නැහැ. භික්‍ෂුවට ‘අහිගුණ්‌ඨක භික්‍ෂුවක්‌’ කියන වචනය ඇසෙද්දී, භික්‍ෂුව හිතුවේ ‘මම අහිගුණ්‌ඨකයෙක්‌ නම් බුදුරජාණන් වහන්සේත් අහිගුණ්‌ඨකයෙක්‌මයි’ කියලා. ඒ අතීතයේ වැඩසිටි අරිහත් උත්තමයන් වහන්සේලාත් අහිගුණ්‌ඨකයන්මයි. මොකද උන්වහන්සේලාටත් මගේය කියලා තැනක්‌ තිබුණේ නැහැ. එම නිසා අහිගුණ්‌ඨක භික්‍ෂුව කියන වචනය තුළින් මම මගේ පැවිදි දිවියේ සාර්ථකත්වය දැක්‌කේ. ස්‌ථිර තැනක්‌ නැති කෙනාටයි ‘අහිගුණ්‌ඨක’ කියන වචනය පාවිච්චි කරන්නේ.

භික්‍ෂුවක්‌ කියන්නේ තැනක්‌ නැති කෙනෙක්‌. නැවත තැනක්‌ බලාපොරොත්තු නොවෙන කෙනෙක්‌. තැනක්‌ නොතැනක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌ මතුවෙන්නේ නැහැ. ලෝකයේ බහුතරයක්‌ නැවත උපදින්න තැනක්‌ බලාපොරොත්තු වෙද්දී, භික්‍ෂුව කියන්නේ නැවත උපදින්න තැනක්‌ බලාපොරොත්තු නොවන කෙනාටයි. එමනිසා අහිගුණ්‌ඨක කියන වචනය භික්‍ෂුවට හොඳින්ම ගැලපෙන වචනයක්‌. භික්‍ෂුවට එදා ලැබුණ ඒ අහිගුණ්‌ඨක ජීවිතයයි, මේ සටහන් ලියන්න ශක්‌තිය ලබලා දුන්නේ. මේ සෑම අභියෝගයකටම මුහුණ දෙන්න, භික්‍ෂුවට ශක්‌තිය ලබාදුන්නේ තෙරුවන් කෙරෙහි තිබු ශ්‍රද්ධාවමයි. ධර්ම මාර්ගය උදෙසා ඕනෑම මොහොතක ජීවිතය මරණයට දැමීමේ ආත්මශක්‌තිය ඒ මොහොතේ භික්‍ෂුව තුළ මෝදුවී තිබුණා. අයෝමය ශ්‍රද්ධාවත්, ශ්‍රද්ධාව තුළින්ම ශක්‌තිමත් කොටගත් ශීලයත් අරමුණ කරා හඹා යැමට තව තව ආත්ම ශක්‌තිය ලබාදුන්නා.

මා පැවිදිභාවයට පත්කළ ඒ නායක ස්‌වාමීන්වහන්සේ, උන්වහන්සේගෙන් මා වෙන්ව යන මොහොතේ, අනුරාධපුර බස්‌ නැවතුමට මා සමග වැඩමකොට, තම කැපකරුවා ලවා බස්‌ ටිකට්‌පතක්‌ ලබාදී බසයට ගොඩවෙන මොහොතේ මට ධර්මාවවාදයක්‌ ලබාදුන්නා. ඒ ධර්මාවවාදය තමයි ‘ඔබ කොහේ ගියත් කමක්‌ නැහැ, ධර්ම විනය දෙක ආරක්‍ෂා කරගෙන ජීවත් වෙන්න’ කියලා. ඒ ධර්මාවවාදයේ අර්ථය තුළින්ම, උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ පාරිශූද්ධත්වය මේ මොහොතේත් මට මැවී පෙනෙනවා. ඒ නායක ස්‌වාමීන්වහන්සේගේ තිබූ සත්පුරුෂභාවයත්, තම ශිෂ්‍යයා කෙරෙහි ඇතිකරගත් විශ්වාසයත්, කරුණාවටත් මම අදත් හදවතින් බොහෝම ගරුකරනවා. අභියෝග කන්දක්‌ කරතබාගෙන, උතුම් පැවිදි ජීවිතයට පියනැගූ මට, බුදුරජාණන්වහන්සේ හැර අන් සරණක්‌ තිබුණේ නැහැ. ඒ උතුම් සරණ නිසාම පැවිද්දෙන් අවුරුද්දයි මාස දෙකකට පසුව දොඩන්දූව සීමාමාලකයේදී උතුම් උපසම්පදා ශීලයේ පිහිටන්න මට අවස්‌ථාව ලැබුණා. මාගේ භික්‍ෂු ජීවිතයේ නව නායක ස්‌වාමීන්වහන්සේ වූයේ තපෝවනයේ ගෞරවනීය මහනායක ස්‌වාමීන්වහන්සේයි. මේ සටහන ලියනකොට භික්‍ෂුවට හරි ප්‍රබෝධයක්‌ සතුටක්‌ ඇතිවෙනවා. කටුක අමිහිරි අත්දැකීම්වලිනුයි ඒ සතුට පෝෂණය වෙලා තිබෙන්නේ.