එක පිංවතෙක්‌ ධර්ම සාකච්ජාවක්‌ අවස්‌ථාවෙදී දැඩිව ප්‍රකාශ කළා, බුදුරජාණන්වහන්සේ කියලා කෙනෙක්‌ නැතිව, බුදුරජාණන්වහන්සේව අනිත්‍ය වශයෙන් දකින්නේ කොහොමද කියලා.

මෙවැනි අන්තයන්ට ඔබ කොටුවෙන්න එපා. එම පිංවතා ප්‍රකාශ කරන ආකාරයට බුදුරජාණන්වහන්සේ කියලා කෙනෙක්‌ නැතිනම්, හතලිස්‌ පස්‌ වසරක්‌ මේ උතුම් සද්ධර්මය ලෝකයට බෙදලා දුන්නේ කව්ද? මේ ලෝක සත්වයාට උතුම් මහා කරුණා ගුණය බෙදාදුන්නේ කව්ද? එම නිසාමයි පිංවත් ඔබට මතක්‌ කළේ, අනිත්‍ය සංඥාව වැඩීමේදී සතර සතිපට්‌ඨාන සූත්‍රය ගුරු ඇසුරට ගන්නය කියලා. අපි යම් මොහොතක සෝවාන්ඵලයට පත්වුණාය කියන්නේ , තමා තුළ ඉන්ද්‍රිය ධර්මයන් සම ආකාරයට වැඩෙන්න ඕනේ. එමනිසා සද්ධාවත්, වීර්යයත්, සති සමාධි කියන ධර්මතාවයන් විනිවිද දකින්න, විදර්ශනා නුවණ ප්‍රඥාව මතුකොට ගැනීමට අපි දක්‍ෂ විය යුතුයි. ඉහත සද්ධා, වීර්යය, සති, සමාධි කියන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිමිනුයි අපි එම ධර්මයන් තුළ ජීවත් විය යුත්තේ. එම අනිත්‍යය දැකීමයි, ප්‍රඥාව මෝදු කරගැනීමට අපට උපකාරවෙන්නේ.

සතියයි, සම්මා සතියයි කියන්නේ අහසට පොළොව වගේ වෙනස්‌ දෙකක්‌. නමුත් සතිය අවශ්‍යයි සම්මා සතිය ඇතිකොට ගැනීමට. සතියත් විදර්ශනා නුවණින් දැකීම තුළයි සම්මා සතිය ඇතිවෙන්නේ.

භික්‍ෂුව වරක්‌ එක්‌ ආරණ්‍යයක වැඩසිටියා. භික්‍ෂුව එම ආරණ්‍යයට වඩිනකොට එක්‌ තරුණ භික්‍ෂූන්වහන්සේ නමක්‌ එම ආරණ්‍ය භූමිය ඉදිරිපස ඉදලකින් අතුගාමින් සිටියා. භික්‍ෂුව උන්වහන්සේ ඉදිරියට ගියත් උන්වහන්සේ හිස ඔසවා බැලුවේ නැහැ. බිම බලාගෙන එම අතුගෑමේ ක්‍රියාවේම යෙදෙමින් සිටියා. එම ස්‌වාමීන්වහන්සේගෙන් කිසිම ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා, භික්‍ෂුව තනියම ආරණ්‍ය තුළට වැඩියා. උන්වහන්සේ බොහොම සතියෙන් සිහියෙන් යුක්‌තවයි එම අතුගෑමේ ක්‍රියාව සිදුකරන්නේ. එතැන ‘මගේ සතිය’ කියලා ලොකු අල්ලා ගැනීමක්‌ තිබෙනවා. එම සතිය තුළ තෘෂ්ණාව බැසගෙන තිබෙනවා.

ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා. පැවිදි කෙනෙක්‌ යම් කටයුත්තක්‌ කළ යුත්තේ වේගයෙන්ද, එහෙමත් නැතිනම් සෙමින්ද කියලා. සැබැවින්ම මේ දෙකම අන්ත දෙකක්‌. ඇලීම ගැටීම බැසගන්නා වූ අන්ත දෙකක්‌. ධර්ම මාර්ගයේ ඇවතුම් පැවතුම් ක්‍රියාත්මක විය යුත්තේ, මධ්‍යම ප්‍රතිපදාවට යටත්වයි. එම නිසා වේගයෙනුත් නොවී, සෙමෙනුත් නොවී සාමාන්‍ය වේගයෙන් ඒවා සිදුකරන්න. මොකද සතිය තුළ තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. තෘෂ්ණාව හීනවූ සතිය සම්මා සතියයි. සමහරවිට අපි ඇස්‌ දෙක පියාගෙන සිටිනවා. බොහොම සෙමෙන් ඇවිදිනවා. සෙමෙන් කථා කරනවා. මෙවැනි අවස්‌ථාවකදී අපි අපිව ස්‌වයං පරීක්‍ෂණයකට ලක්‌කරන්න ඕනේ. එවිටයි එවැනි ක්‍රියාවන් තුළ ගැබ්ව ඇති තෘෂ්ණාව මතුකොටගත හැක්‌කේ.

ඔබ සිතන්න හරකෙක්‌ සිටිනවා. මේ සතා නිදැල්ලේ හැරියොත් එයා මොකද කරන්නේ? වටේම තියෙන කෙසෙල් පැළ, ගොයම් පැළ ටික කනවා. අපි එම සතාව මීටර දහයක කඹයකින් බඳිනවා. දැන් එම සතා කන්නේ මීටර දහයේ ප්‍රමාණයයි. මේ මීටර දහයේ කඹය අයින් කරලා, මීටර පහක්‌ දිග කඹයකින් බඳිනවා. දැන් එම සතා කන්නේ මීටර පහේ ප්‍රමාණය පමණයි. මීළඟට එම මීටර පහේ කඹයත් ඉවත් කරලා කණුවට බෙල්ල තියලා බඳිනවා. දැන් එම හරකට සෙලවෙන්නවත් බැහැ. කණුවට බෙල්ල තියලා බැඳලා තිබෙන්නේ. කණුවට බෙල්ල තියලා බැඳුනත් මේ හරකා වට පිටේ තිබෙන කෙසෙල් පැළ, ගොයම් පැළ දෙස බලමින් කෙළ ගිලිමිනුයි සිටින්නේ. කඹය කඩාගන්නේ කොහොමද කියලා සිතමිනුයි මේ සතා සිටින්නේ. මෙතැන තමයි සතිය කියලා කියන්නේ. නැවතිලා සිටියාට තෘෂ්ණාව ක්‍ෂය වෙලා නැහැ.

සම්මා සතිය කියන්නේ එම සතා කණුවට බෙල්ල තියලා බැඳලා තමයි සිටින්නේ. නමුත් එම සතා වටේ පිටේ තිබෙන කෙසෙල් පැළ, ගොයම් පැළ දෙස බලමින් කෙළ ගිලින්නේ නැහැ. කඹය කඩාගැනීමට උත්සහ ගන්නේ නැහැ. මොකද එයා තෘෂ්ණාව හීන කරලයි තිබෙන්නේ. මේ තමයි, සතිය සහ සම්මා සතියේ ඇති වෙනස. එම නිසා අපි කරන සෑම ක්‍රියාවක්‌ තුළම තෘෂ්ණාව බැසගෙන තිබෙනවාද කියලා පරීක්‍ෂා කරන්න ඕනේ.