වරක්‌ භික්‍ෂුව එක්‌ ආරණ්‍යයක වැඩසිටිනකොට එක්‌ ස්‌වාමීන්වහන්සේ නමක්‌ තම කුටිය ඉදිරිපිට සක්‌මන් මළුවේ සක්‌මන් කරමින් සිටියා. දෑස්‌ බිමට යොමු කරමින්, බොහොම සෙමෙන් පියවර තබමින්… දකින කෙනෙකුට ප්‍රිය උපදවන ආකාරයකටයි උන්වහන්සේ සක්‌මන් කරමින් සිටියේ. නමුත් ආරණ්‍යයේම අත්‍යවශ්‍ය කටයුත්තක්‌ හේතුවෙන් ඒ බව දැනුම්දෙන්න මම උන්වහන්සේට කථා කළා. කථාකරපු මොහොතේම උන්වහන්සේ සක්‌මනෙන් මිදුනේ දැඩි ආවේගශීලීභාවයකින්. බොහොම ආවේගයෙන් ‘මට බාධා කරන්න එපා’ කියල අවවාද කළා. බලන්න සතිය තුළ බැසගෙන සිටින තෘෂ්ණාවේ තරම. සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය නොවූ සතිය අපව මුලාවට පත්කරනවා. සම්මා සංකප්පයන් ජීවිතය තුළින් ක්‍රියාත්මක නොවන්නේ සම්මා දිට්‌ඨියේ දුර්වලතාවය හේතුවෙන්මයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ අංග තුනක්‌ම ශීලයට අදාළව පනවනවා. ශිල්පද ආරක්‍ෂා කරගැනීම නිසා අපට ලැබෙන්නේ සුගතිය. සංසාරයක්‌ පුරාවට සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා ඔබ සිල්සමාදන් වීමට පෙරවූ සුදු සිල්රෙදි ප්‍රමාණය එක ගොඩක්‌ ගැසුවොත් එය ගිජ්ජකූඨ පර්වතයට වඩා විශාල යෑයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ තරමට සිල්රෙදි වලින් අතීතයේ මේ කය දවටලා තිබෙනවා. නමුත් ඒ සංස්‌කාරයෝ විපාක දීලා අනිත්‍ය වී ගියා.

සිල් රැකීම නිසා අපට ලැබෙන ආනිසංශයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපව සුගතියේ ඉපදෙනවා. සිහි මුලා නොවී මැරෙනවා. කීර්තිරාවය පැතිරෙනවා. ඕනෑම සභාවක්‌ ඉදිරියට නොබියව යනවා. ඒ කියන්නේ ශීලයේ අර්ථය, භවයේ නැවත උපතක්‌ කියන අර්ථයයි.

නමුත් අපි භව නිරෝධයයි සොයාගෙන යන්නේ. එහෙම නම් අපි ශීලය ආභරණයක්‌ කරගෙන, ශීලය බරක්‌ කොටගෙන වැඩක්‌ නැහැ. ශීලයෙන් ලැබෙන ලෞකික සැපයන් අනිත්‍ය වශයෙන් විදර්ශනා නුවණින් දකින්න අවශ්‍යයි.

එක්‌ තරුණ ස්‌වාමීන් වහන්සේ නමක්‌ සිටියා, උන්වහන්සේ ශීලය මගේ කොටගත් කෙනෙක්‌. ශීලය විදර්ශනාව සඳහා නොව, උන්වහන්සේ ශීලය උපයෝගීකොටගත්තේ ආශ්වාදය උදෙසායි. උන්වහන්සේ දිනකට එක වේලයි වැළඳුවේ. නමුත් උන්වහන්සේ අප දින දෙකකට වළඳන ප්‍රමාණය එක වේලකට වළඳනවා. ඒ හේතුව නිසාම දානයෙන් පසුව දැඩිව කායිකව පීඩාවට පත්වෙනවා. උන්වහන්සේ පාන්දර පහට පෙර දානශාලාවට එනවා. උන්වහන්සේ උදේට දාන ශාලාවට වඩින්නේ අනික්‌ ස්‌වාමීන්වහන්සේලා පාන්දර පහයි තිහට පෙර දානෙ වළඳනවද කියලා බලන්නයි. උන්වහන්සේ කප්පිය කුටියේ තිබෙන සීනි බෝතලයේ, කිරිපිටි බෝතලයේ පටන් සෑම ආහාර භාජනයකම කොළ කැබැල්ලක්‌ අලවලයි තිබෙන්නේ. මේවා දවල් 12 න් පස්‌සේ කැපයි, මේවා දවල් 12 න් පස්‌සේ අකපැයි කියලා. ප්‍රාතිමෝක්‍ෂ ශීලය කෙරෙහි තෘෂ්ණාවෙන් උන්වහන්සේගේ ජීවිතය ශීලයට බැඳිලයි තිබුණේ. උන්වහන්සේ දැක්‌කේ නැහැ ආශ්වාදයක්‌ය මේ විඳින්නේ කියලා. අවසානයේ ඒ පිංවත් තරුණ ස්‌වාමීන්වහන්සේට ශීලය මහා බරක්‌ වුණා. ශීලයේ ආශ්වාදය තුළම ජීවත්වීම නිසා විදර්ශනා නුවණක්‌ සකස්‌වුණේ නැහැ. තමා විසින්ම බරක්‌ කරගත් මේ ශීලයේ බර දරාගන්න බැරි තැන උන්වහන්සේ උතුම් උපසම්පදා ශීලයෙන් බැහැරවෙලා සාමනේර බවට පත්වුණා. සම්මා දිට්‌ඨියෙන් සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය නොවූ ශීලය, ආශ්වාදයේ ගොදුරක්‌ බවටයි අපව පත්කරන්නේ.