දැන් ඔබට සිතෙනවා, ඔබ සිතන්නට පටන් ගන්නවා, ඔබ මේ ලෝකයට පැමිණියේ අරමුණක්‌ උදෙසාමයි කියලා. ඔබට මේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබුණේ, ඔබට මේ නිවන් මාර්ගයට අදාළ ධර්මය ඇසෙන්නේ, හේතුවක්‌ නිසාමයි කියලා. කුසලයෙන් පරිපූර්ණ සිත විනිවිද දැකීමේ ශක්‌තිය ඇතිකොට දෙනවා.

දැන් ඔබට සිතන්න පුළුවන්, ඔබ ලෝකයට පැමිණියේ කාරණා තුනක්‌ නිසාය කියලා. මේ කාරණා තුනම අපේ ජීවිතය තුළ සැඟවිලයි තිබෙන්නේ. එම කාරණා තුන තමයි එක්‌කෝ මරණින් පසු සුගතියට යන්න, එක්‌කෝ මරණින් පසු දුගතියට යන්න, එක්‌කො සුගතියත් දුගතියත් දෙකම අනිත්‍ය වශයෙන් දැකලා භව නිරෝධය දෙසට යන්න.

භික්‍ෂුවගේ ගිහි ජීවිතය තුළ මේ පළමු කාරණා දෙකම සැඟවී තිබෙන බව හොඳින් දැක්‌කා. භික්‍ෂුවගේ ගිහි කාලයේදී දුගතිය කියන දිශාවටත් ජීවිතය ගමන් කරල තිබෙනවා. ඒ වගේමයි ජීවිතය සුගතිය කියන දිශාවටත් බොහෝම වේගයෙන් ගමන් කරල තිබෙනවා. නමුත් භික්‍ෂුවට දක්‍ෂභාවය තිබුණා සුගතියෙත්, දුගතියෙත් අනිත්‍යභාවය දකිමින් නිවීමේ මාර්ගයට අවතීර්ණ වෙන්න.

මෙය සටහන් තබන මොහොතේ භික්‍ෂුවට සිතෙනවා, භික්‍ෂුවට පෙර ජීවිතයේදී නතර කළ තැනක්‌ තිබුණා. මේ ජීවිතයේ කුසලයේ බලවත් භාවය නිසාම පෙර ජීවිතයේ නතරකළ තැන ශක්‌තිමත්ව මතුකර ගත්තා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසාම, සද්ධර්මය ශ්‍රවණය නිසාම ඇතිකරගත් සංසාර බිය, භික්‍ෂුවට භව නිරෝධය දෙසට ඇතිපාරම පෙන්වුවා. එහෙමනම් පිංවත් ඔබ දකින්න ඕනේ ඔබ තුළ මේ පාරවල් තුනම සැඟවිලා තිබෙනවාය කියලා. ඒ නිසා බොහෝම පරිස්‌සමින්… සුගතිය, දුගතිය කියන මංතීරු දෙකම එක සමාන්තරවයි ගමන් කරන්නේ. පොඩ්ඩ බැරිවෙච්ච තැනදී වැරදි ගමනාන්තයට වැටෙන්න පුළුවන්. එම නිසා අරමුණු කෙරෙහි හොඳින් සිහිය පිහිටුවා ගන්න. ලෝකය නිවරැදි වෙනතෙක්‌ ඔබ බලා සිටින්න එපා. වහවහා ඔබ නිදහස්‌ වෙන්න. මතවාද, දෘෂ්ටි, විතර්ක බහුල ලෝකයක්‌ මේක. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා, අතුල කියන උපාසක තුමාට ‘පිංවත් අතුල නිශ්ශබ්දව සිටින විටත් බණිනවා. වැඩිපුර කතාකරන විටත් බණිනවා. ප්‍රමාණයට කතාකළත් බණිනවා. මේ ලෝකයේ අතීතයේ ඉඳලම ඔහොම තමයි’ කියලා. එම නිසා පිංවත් අතුල ලෝකයේ ස්‌වභාවයෙන් ලෝකය තිබුණාදෙන්. පිංවත් ඔබ ලෝකය උපේක්‍ෂාවෙන් පිළිගන්න ස්‌වභාවයට එන්න කියලා. පිංවත් ඔබ ලෝකය යන දිශාව ප්‍රශ්නයක්‌ කරගන්න එපා. ජීවිතය නැමැති නැවේ පිරිලා තිබෙන විතර්ක, දෘෂ්ටි, මතවාද වතුර ඉවත දමන්න. වතුර හිස්‌වුණ නැව හරි සැහැල්ලුයි, නිවනට ඔබට යොමුකරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

සංසාර බිය දකින පිංවතා රූපය කෙරෙහි තිබෙන තෘෂ්ණාව ක්‍රමානුකූලව අඩුකර ගන්නවා. අනුන්ගේ දෙය තමන්ගේ කරගෙන එයා දුක්‌විඳින්නේ නැහැ. අතහැරීම ගැන කතාකරන විට සමාජයේ සමහර පිංවතුන්ලා ලොකු බියක්‌ දකිනවා. එක්‌ මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා ‘ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක්‌ වේවිද’ කියලා. ඒ වෙලාවේ එම පිංවතාට භික්‍ෂුව දුන් පිළිතුර වුයේ ‘මහත්තයෝ මගධ රාජ්‍යයේ රජකම් කරපු බිම්බිසාර රජතුමා සෝවාන් ඵලය අවබෝධ කරගත් රජකෙනෙක්‌. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වුණාය කියලා, මගධ රාජ්‍යය අනතුරට පත්වුණේ නැහැ. මගධ රාජ්‍යය තවදුරටත් රැකුණා මිසක්‌. විශෘඛා උපාසිකාව සෝවාන් ඵලයට පත්වෙන්නේ ළමා වයසේදී. එහෙම ළමා කාලයේදී සෝවාන් ඵලයට පත්වුනාය කියලා විශාඛාවගේ සිටුසම්පත් අහිමි වුණේ නැහැ. ඒවා තවදුරටත් වැඩුණා මිසක්‌. එම නිසා මිථ්‍යාමතවලට එළැඹෙන්න එපා. අපේ මෝහ භරිත අදහස්‌ වලට වගකියන්න උතුම් ධර්මය බැඳිල නැහැ.

කාලය වේගයෙන් ගෙවිලා යනවා. කාලය ගෙවීයන වේගයෙන්ම සංස්‌කාරත් ගෙවීයනවා. සංස්‌කාර ගෙවීයන නිමේෂයේදීම අලුතින් සංස්‌කාරයන් අපි රැස්‌කරගන්නවා. ගෙවීයැමත් සමගම හටගැනීමත් සිද්ධ වෙනවා. මෙන්න මේ ගමනයි, අපි කෙටිකරගන්න ඕන. පිංවත් ඔබ රට ජාතිය, ආගම අතහරින්න අවශ්‍ය නැහැ. බිම්බිසාර රජතුමා රට, ජාතිය, ආගම අතහැරියේ නැහැ. ඒවා වෙනස්‌ වෙන බව දකිමින් ඒවා ආරක්‍ෂා කළා. උතුම් ධර්මය තුළින් නොවෙනස්‌ වන දෙයක්‌ නැති බවට ලැබූ අවබෝධයෙන් වෙනස්‌වන දේවල් කෙරෙහි අසීමිත ආශාවක්‌ ඇතිකරගන්නේ නැහැ. අපි හිතනවා, අපි අතහැරීම පුරුදු කළොත් ලෝකය හිස්‌වෙයි කියලා. පිංවත් ඔබ අතහැරීම පුරුදු කළාය කියල ලෝකය හිස්‌වෙන්නේ අඩුවෙන්නේ නැහැ. ඔබ අතහරින දෙය අල්ලාගැනීමට මුළු ලෝකයම බලා සිටිනවා. භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී භික්‍ෂුව අවබෝධාත්මක කලකිරීම තුළ යම් දෙයක්‌ අතහැරියාද, ඒවා සෑම දෙයක්‌ම ලෝකයා කැමැත්තෙන් තරගකාරීව අල්ලාගත්තා. හිස්‌වීමක්‌ නැහැ. තව තව පිරීයැමක්‌ මිසක්‌. එම නිසා රට, ජාතිය, ආගම රකින්න ඉපදුන අය රට, ජාතිය, ආගම ආරක්‍ෂා කරාවි. මේ ජීවිතයේදී සතර අපායෙන් මිදීම උදෙසා ඉපදුණු අය ධර්මාවබෝධය දෙසට ගමන් කරාවි. පෙරකී පිංවතුන්ලා විසින් රකින රට, ජාතිය, ආගම තුළ ප්‍රයෝජනයක්‌ ගැනීමටත් පිරිසක්‌ සිටිය යුතුයි. අපි ඒ ඵලප්‍රයෝජන අරගනිමු. එවිට එය රට, ජාතිය, රකින පිංවතුන්ලාටද මහත්ඵල මහානිශාංස පිංකමක්‌ වනු ඇත.

අනිත්‍යයි කියන වචනය, අතහැරීම කියන වචනය අන්තවාදීව අල්ලාගත්තොත් එය ඔබට පීඩාවක්‌ වෙනවා. අපි ධර්මය අන්තවාදීව අල්ලාගත්තොත් එය ඔබට පීඩාවක්‌ වෙනවා. අපි ධර්මය අන්තවාදීව අල්ලාගෙන ප්‍රශ්න ඇතිකර ගන්නවා නම් එය ධර්මයේ වරදක්‌ නොවෙයි. ‘අතහැරීම’ කියන වචනය අන්තවාදීව ජීවිතයට එකතු කරගත් ස්‌වාමීන් වහන්සේ නමක්‌ පිළිබඳව මතකය භික්‍ෂුවට මේ මොහොතේ ඇතිවෙනවා.

උන්වහන්සේ වැඩිහිටි ස්‌වාමීන් වහන්සේ නමක්‌. හුදෙකලාව සිටීමට තමයි, වඩාත් ප්‍රිය කළේ. එම ස්‌වාමීන් වහන්සේ තුන් සිවුරත් පාත්‍රයත් පමණයි පරිහරණය කළේ. කල්‍යාණමිත්‍ර ඇසුරට නොගිය නිසාම හුදෙකලාවේ සිටියදී උන්වහන්සේගේ සිතේ විතර්කයක්‌ ඇතිවෙනවා. ඒ විතර්කය තමයි තමා දරාගෙන සිටින තුන් සිවුරත් පාත්‍රයත් කියන්නේ අල්ලාගැනීමක්‌. මම තුන්සිවුරෙනුත් පාත්‍රයෙනුත් නිදහස්‌ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලටත් එහා ගොස්‌ අන්තවාදීව සිතන්න ගත්තා. අවසානයේදී උන්වහන්සේ තුන්සිවුරත් පාත්‍රයත් අතහැරලා පසුගිය කාලයේ ඉන්දියාවේ නිඝන්ඨ ආශ්‍රමයක අමුඩයක්‌ පමණක්‌ ඇඳගෙන නිඝණ්‌ඨ ව්‍රතයක්‌ රකිනවා.

බලන්න අන්තවාදී අතහැරීමක ශෝකාන්තය. එය මොනතරම් මෝහ මූලිකද කියලා. තුන්සිවුරෙනුත් පාත්‍රයෙනුත් නිදහස්‌ වුණා. මිථ්‍යා දෘෂ්ටියේ අගාධයට වැටුණා. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා සොරෙක්‌ තව සොරෙකුට දරුණු විපතක්‌ කරනවාට වඩා, තරහකාරයෙක්‌ තවත් තරහාකාරයෙකුට දරුණු විපතක්‌ කරනවාට වඩා, මිථ්‍යා දෘෂ්ටියේ පිහිටි සිත තමාට දරුණු විපතක්‌ ඇතිකරනවාය කියලා.

මල් සොයන මාලාකාරයෙක්‌ ලස්‌සන මල් සොයමින් ගස්‌ වටේ යනවා වගේ, මිථ්‍යාදෘෂ්ටියේ වැටුණු පුද්ගලයා විතර්ක දෘෂ්ටි, මතවාද පසුපසම යනවා කියලා. මෙවැනි මිනිසුන් නිදාගෙන සිටියදී මුහුද ගොඩගලා ඔවුන්ව මුහුදට ගසාගෙන යනවා වගේ, විනාශය කරාම යනවා කියලා. එමනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති උතුම් ධර්මකාරණා වලට වැරදි අර්ථකථනයන් දීම බරපතල පාපයක්‌ වෙනවා. මිථ්‍යාදෘෂ්ටියට අතවැනීමක්‌ වෙනවා.