අතහැරීම ගැන කතාකරන විට මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා. හාමුදුරුවනේ ඔබවහන්සේ අතහැරීම ගැන කතාකරනවා. එහෙම අතහැරීම ගැන කතා කරනවානම් ඔබ වහන්සේ ආරණ්‍යයක කුටියක වැඩසිටින්න බැහැ කැලයේ ගසක්‌ මුලයි ඉන්න ඕනේ කියලා.

මතුපිටින් එම මහත්මයා අහන ප්‍රශ්නය දකින විට එහි සාධාරණ බවක්‌ තිබෙනවා. නමුත් එම මහත්මයා එක අන්තයකට ගිහිල්ලයි ප්‍රශ්නය දකින්නේ. සකුළුදායි කියලා තරුණයෙක්‌ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනිම ප්‍රශ්නයක්‌ අතීතයේ විමසුවා. එම ප්‍රශ්නය නම් ‘භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට ශ්‍රාවකයන්, ගිහි දායක පිංවතුන් ගොඩක්‌ පැහැදිලයි සිටින්නේ. මේ පැහැදීම ඇතිවෙන්න හේතූන් පහක්‌ මම දකිනවා’ කියලා සකුළුදායි තරුණයා එම හේතූන් පහ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. එම හේතූන් පහ තමයි, බුදුරජාණන් වහන්සේ අඩු ආහාරයකින් ජීවත්වීම, පාංශුකූල තුන් සිවුරුදැරීම, දුෂ්කර සෙනසුන්වල ජීවත්වීම, පිණ්‌ඩපාතයෙන් පමණක්‌ යෑපීම, හුදෙකලා වනසෙනසුන්වල වැඩසිටීම.

සකුළුදායි එහෙම කියන විට බුදුරජාණන් වහන්සේ ඉහත කාරණා පහ ප්‍රතික්‍ෂේප කරනවා. ‘සකුළුදායි ඔබ ඔය කියන කාරණා නිසා නොවේ දෙවි බඹුන් සහිත ලෝකයා මට ගරුකරන්නේ. මම සැමදාම අඩු ආහාරයකින් යෑපෙන්නේ නැහැ. සමහරක්‌දාට මම පාත්‍රයෙන් භාගයක්‌ පමණ දන් වළඳනවා. මම පිණ්‌ඩපාතයෙන් පමණක්‌ නොවෙයි යෑපෙන්නේ. සමහරදාට රජ, සිටු මැදුරුවලිනුත් දානය වළඳනවා. මම පාංශුකූල සිවුර පමණක්‌ නොවෙයි දරන්නේ. පාංශුකූල නොවන සිවුරුත් දරනවා. මම වනසෙනසුන්වල විතරක්‌ නොවෙයි ජීවත්වෙන්නේ. නාගරිකව ජේතවනාරාමය, පූර්වාරාමය වැනි ආරණ්‍යවලත් වැඩසිටිනවා. මම හුදකලා විවේකයෙන් පමණක්‌ නොවෙයි වැඩ සිටින්නේ. ශ්‍රාවක ශ්‍රාවිකාවන්, උපාසක උපාසිකාවන් දහස්‌ ගණන් සමග කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේට දෙවි බඹුන් සහිත ලෝකයා ගරුකරන්නේ බුදුරජාණන් වහන්සේගේ අධිශීලයට, ඥණදර්ශනයන්ට, අධිප්‍රඥාවට, සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මයන්ට, කුශල ධර්මයන් වඩන ආකාරයට.’ මේ කාරණා පහ නිසයි ලෝකයා බුදුරජාණන් වහන්සේට පහදින්නේ කියල බුදුරජාණන් වහන්සේ සකුළුදායි තරුණයාට දේශනා කරනවා.

බුදුරජාණන් වහන්සේ තමන් තුළ ඇති ගරු කළයුතු ධර්මයන් වශයෙන් දේශනා කළේ ඉහත ධර්මයනුයි. එම නිසා අපි අපේ ජීවිත තුළින් මතුකර ගත යුතු, ගරු කළ යුතු ධර්මයන් නිවැරදිව තේරුම්ගන්න. අපේ උතුම් පැවිදි ජීවිත තුළින් අපි උත්සහගන්නේ ‘මම එක වේලයි වළඳන්නේ, අඩුපිණ්‌ඩපාතයෙන් යෑපෙන්නේ, මම කැලයේමයි ජීවත්වෙන්නේ, හුදකලාවට පමණක්‌මයි ප්‍රියවෙන්නේ, පාංශුකූල චීවර පමණක්‌මයි දරන්නේ ‘ කියන චර්යාවන් තුළින් පමණක්‌ සතුටුවෙන්න නම්, එම සතුට අපේ පැවිදි ජීවිතයේ උතුම්ම සතුට හැටියට දකිනවා නම් අපිත් සකුළුදායි තරුණයා කියන තැනයි සිටින්නේ. එම නිසා අන්තයන්ට නොගොස්‌ මධ්‍යම ප්‍රතිපදාව තුළ අපේ පැවිදි ජීවිත හික්‌මවන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. එහෙම වුණොත් පමණයි අපේ උතුම් ශාස්‌තෘන් වහන්සේ තුළ තිබු උතුම් ඥාණයන්ගේ අඩි පාරේ අපිට යන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපේ උතුම් පැවිදි ජීවිත තුළ අපි සතුටුවිය යුත්තේ ‘මම එකවේලයි, මම පාංශුකූලිකයි, කැලයේ පමණක්‌ ජීවත්වෙන්නේ…..’ කියන කාරණා තුළ නොවෙයි. අපි සතුටුවිය යුත්තේ ඉහත කාරණා උපයෝගී කරගෙන සත්තිස්‌බෝධිපාක්‌ෂික ධර්මයන් අප තුළ වැඩෙනවා නම් පමණකි. ආර්ය ශීලය, ආර්ය සමාධිය අප තුළ වැඩෙනවා නම් පමණකි.

බුදුරජාණන් වහන්සේ සකුළුදායි තරුණයාට දෙන අවවාදය තුළ ‘අතහැරීම කියන්නේ ආරණ්‍යය කුටිය අතහැරල ගසක්‌ යට ජීවත්වීම’ කියන අන්තය ප්‍රතික්‌ෂේප වෙනවා. අප අතහැරිය යුත්තේ ආරණ්‍යයවත්, කුටියවත් නොවේ. ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාවයි. මම පාංශුකූල චීවරය දරන්නේ කියල ඔබ පාංශුකූල චීවරය කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගතහොත් එතැනද සකස්‌වෙන්නේ දුකමයි. මම කැලයේමයි ජීවත්වෙන්නේ කියලා කැලයේ හුදකලාවට ඔබ තෘෂ්ණාව ඇතිකරගතහොත් එතැන ද සකස්‌වෙන්නේ දුකමයි. පංචඋපාදානස්‌කන්ධය නැමති මාරයා අපි ධර්ම මාර්ගයේ තබන සෑම පියවරක්‌ම විඳීම කියන අපද්‍රව්‍යයෙන් අර්ථ විරහිත බවට පත්කර දමනවා. එමනිසා මෙම උතුම් නිවන් මාර්ගයේ ගමන් කිරීමේදී වනවාසී උතුම් හුදකලා ජීවිතයත්, එක වේලක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපීමත්, පාංශුකූල චීවරයත් අත්‍යවශ්‍යම සාධක වෙනවා. මේවා අත්‍යවශ්‍යම සාධකයන් විඳීම කියන මාරධර්මයෙන් මුදවා ගැනීමට අපි දක්‍ෂ විය යුතුයි.