ස්‌වාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා. අපි නිවීමේ මාර්ගයේ ගමන් කිරීමේදී එම ගමන සාර්ථක කර ගැනීමට සුදුසු ස්‌ථානයක්‌ තිබිය යුතුද කියලා. අතීතයේ රහතන් වහන්සේලා දහස්‌ ගණනින් වැඩ සිටි පැරණි ගල්ලෙන් සහිත ආරණ්‍යය ගල්කුටි නිවන් මාර්ගය වැඩීමේදී අපිට හුඟාක්‌ උපකාරී වෙනවා. මෙවැනි පරිසරයන් තුළ නිවිච්ච ස්‌වභාවයක්‌ කැටිව තිබෙනවා. ඒ වගේම හුදකලා වනවාසී කුටි අපේ ගමනට ශක්‌තියක්‌ වෙනවා. එම නිසා අපේ සිත ද ධර්මය තුළ වැඩෙන සුදුසු ස්‌ථානයක්‌ අපි සොයාගත යුතු වෙනවා. මට සුදුසුයි කියන තැනදීම එතැන තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. මොකද මම කැමැති තැනකුයි සොයන්නේ. මෙතනදී ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබට ලැබෙන තැන සුදුසු තැන බවට පත් කොට ගන්න. භික්‍ෂුවට භික්‍ෂු ජීවිතයේදී ලැබුණ හුඟාක්‌ තැන් සුදුසු තැන් නොවේ. නමුත් ලැබුණ තැන සුදුසු තැනක්‌ බවට පත් කොට ගැනීමට භික්‍ෂුව දක්‍ෂ වුණා. අපි හොඳ තැන් සොය සොයා යන්නේ අපේ තෘෂ්ණාව හඳුනා නොගැනීම නිසාම බව සිහියට නගාගන්න. අවම වශයෙන් සතර අපායෙන් මිදෙනතුරු තැන් තැන්වල ඇවිදිමින් ගත කරන්න යන්න එපා. සුදුසු තැන් සොයමින් ආරණ්‍යයෙන් ආරණ්‍යයට, කුටියෙන් කුටියට යන්න එපා. එය බොහෝම අන්තරාකාරී ක්‍රියාවක්‌. එම නිසා කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබෙන විනය කාරණාවන් සුරකෙන සිත නිවෙන තැනක අරමුණ ඉටු වෙන තෙක්‌ නවතින්න. සංචාරකයෙක්‌ කියන තැනින් මිදී, භව ගමන නවතන අරමුණු කෙරෙහි සිත යොමු කරන්න. භික්‍ෂුව කුටියකට ආරණ්‍යයකට වැඩම කිරීමට පෙරාතුව අධිෂ්ඨානයක්‌ ඇති කොට ගන්නවා මේ ආරණ්‍යයේ මාසයක්‌ එහෙම නැත්නම් මාස දෙකක්‌ වැඩ සිටිනවා කියලා. එහෙම අධිෂ්ඨානයක්‌ ඇති කරගෙනයි ආරණ්‍යයට, කුටියට වඩින්නේ. එහෙම වැඩම කරලා, අනිවාර්යයෙන්ම අධිෂ්ඨානය කළ කාලය එහි වැඩසිටිනවා. මොනම අපහසුතාවක්‌ , ගැටලුවක්‌, නොසලකාහැරීමක්‌, පැමිණියත් හැරෙන්නේ නැහැ. ආපසු එන්නේ නැහැ. ඕනෑම අපහසු තැනක්‌ තුළ, මගේ පාඩුවේ මම වැඩ සිටිනවා. මෙතැන තමයි කුටියක්‌ ආරණ්‍යයක්‌ තෝරා ගැනීමේදී භික්‍ෂුවගේ ස්‌වභාවය වුණේ.

භික්‍ෂුව පැවිදි භූමියට පත් වූයේ වයස අවුරුදු 44 දී. ඒ හේතුව නිසාම ආරණ්‍ය ජීවිතයේදී කටුක අත්දැකීම් භික්‍ෂුව ලබලා තියෙනවා. භික්‍ෂුව කොතැන ගියත් මුකුත්ම නොදන්න කෙනෙක්‌ හැටියටයි හැසිරුණේ. දන්නා බවක්‌ පෙන්වන්න ගියේ නැහැ. භික්‍ෂුවට මතකයි එක ආරණ්‍යයකදී පිංවත් ස්‌වාමින්වහන්සේ නමක්‌ කියනවා මේ හාමුදුරුවො වැඩිය කතා කරන්නෙත් නැහැ. මුහුණ දෙන්නෙත් නැහැ. සිවුරු හැරලා යන්නද කොහෙද හදන්නේ කියලා. තැනකට ගිහිල්ලා එතන චරිතයක්‌, වීරයෙක්‌ වෙන්න නොවේ අපට අවශ්‍යය. අපේ නිවීමේ අරමුණ ඉටු කොට ගන්නයි.

භික්‍ෂුවට මතකයි එක ආරණ්‍යයක වැඩසිටිනකොට එහි සාමනේර ස්‌වාමින්වහන්සේලා දහනමක්‌ පමණ වැඩසිටිය. මේ අය ටිකක්‌ දඟකාරයි. මේ ආරණ්‍යයේ සැමදාම රාත්‍රී 7.00 ට වන්දනාව තිබෙනවා. භික්‍ෂුව සාමනේර අවධියේ හැමදාම වන්දනාවේ යනවා. වන්දනාව අවසානයේ පැය 1/2 ක භාවනාවක්‌ තිබෙනවා. භික්‍ෂුව ඇස්‌ දෙක පියාගෙන භාවනා කළා. මේ බුදු මැදුරේ මදුරුවන් සිටින නිසා, මදුරු දඟර පත්තුකොට තිබෙනවා. භික්‍ෂුව භාවනා කරමින් සිටින කොට, භික්‍ෂුවට දැනෙනවා යමෙක්‌ මගේ නාසයට මදුරු කොයිල් දුම අල්ලනවා කියලා. මදුරු කොයිල් දුම මොළය විනිවිද යනවා. ඒත් භික්‍ෂුව ඇස්‌ දෙක ඇරියේ නැහැ. ඒ සාමනේර හිමිවරු ඒ ක්‍රියාව කරලා හිනා වුණා. ඒ අය අදටවත් දන්නේ නැහැ ඒ අය කරපු ඒ ක්‍රියාව භිsක්‍ෂුව දන්නවා කියලා. තවත් දවසක භික්‍ෂුව භාවනා කරනකොට, සාමණේර හාමුදුරුනමක්‌ භික්‍ෂුව පිටිපසට ඇවිත් හිසට ඉහළින් ඇඟිලි පහ දික්‌කරලා, භික්‍ෂුවට අං ඇවිල්ල කියලා පෙන්නලා, අනෙක්‌ සාමනේර හිමිවරු සමග එම විහිළුවට සිනාසුණා. ඒත් භික්‍ෂුව ඇස්‌ දෙක ඇරියේ නැහැ. ඒ අය තාම දන්නේ නැහැ, ඒ අය කරපු විහිළුව භික්‍ෂුව දන්නවා කියලා. තවත් ආරණ්‍යයකදී භික්‍ෂුව දවල් දානය බෙදා ගන්න දානශාලාවට නියමිත වේලාවට වැඩියාම, දානය සියල්ලම පාත්‍රවලට බෙදලා අවසන් කරලා. මට බෙදාගන්න දානය මේසය මත තිබුණේ නැහැ. බත් බේසමේ බත් දංකුඩ තිබුණා. වම්බටු ව්‍යංජනය තිබූ භාජනයේ වම්බටු ටිකක්‌ තිබුණා. මම ඒ ටික සතුටින් බෙදා ගත්තා. දානේ ශාලාවේ දොරකඩින් පාත්‍රය රැගෙන එළියට එනකොට එම ක්‍රියාව සිදු කළ සාමනේර හාමුදුරුවො මගෙන් අහනවා, අද හාමුදුරුවන්ට දානේ නැහැ නේද කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළේ, මම වළඳලා තිබෙන දානයත් එක්‌ක. මේ දානය රාජ භෝජනයක්‌ය කියලා. එහෙම කරලත් භික්‍ෂුව ගැටුණේ නැහැ. මෙවැනි නුසුදුසු තැනුත් භික්‍ෂුව, සුදුසු තැනක්‌ බවට පත් කොටගෙන ජීවත් වුණා. මේ සෑම ක්‍රියාවක්‌ම භික්‍ෂුව ධර්මය හැටියටයි දැක්‌කේ. ධර්මය සමඟ ගැටෙන්න ගියේ නැහැ. සංසාරයේ අපිම කරපු දේවල්, අපි පස්‌සෙන් එනවිට, අපි ඒවා සතුටින් පිළිගන්න ඕනේ. නුසුදුසු තැනක්‌ අපට ලැබුණාය කියන්නේ එය අපේ අකුසල් සංස්‌කාරයන් විපාකදීමක්‌. මෙය අපේම, අකුසල් සංස්‌කාරයක්‌ බව දකින්න දක්‍ෂතාවය තිබෙනවා නම්, අකුසල් නිසා අපි තව තව සුදුසු තැන් සොයමින් ඇවිදින්නේ නැහැ. මොකද අපි සංසාරයේ පැවිදි වෙලා අපේම තැන්වල අපි වැඩසිටිනකොට, අනෙකුත් ස්‌වාමීන් වහන්සේලාට අපි අනේකවිධ බාධාවන් සිදු කොට තිබෙනවා. මේ අකුසල් විපාකයනුයි අපේ පසුපස විපාකය පිණිස පැමිණෙන්නේ. මේ බාධාවන්ම කමටහන් කොටගෙන ධර්ම මාර්ගය ශක්‌තිමත් කොට ගන්න දක්‍ෂවෙන්න.