පාසල් යන කාලේ පන්තියේ ගුරුතුමිය අපෙන් අහනවා, ලොකු වුනහම ඔබ කවුරු වෙන්නද කැමති කියලා. සමහර දරුවො කියනවා, මම ගුරුවරයෙක්‌ වෙන්න කැමතියි කියලා. වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයෙක්‌ වෙන්න කැමතියි කියලා. පුංචි කාලයේ මගේ කැමැත්ත තිබුණේ දේශපාලනඥයෙක්‌ වෙන්න. මට මතකයි 1977 වසරේදී මම පාසල් ශිෂ්‍යයෙක්‌. 1977 මහ මැතිවරණයේදී පංතියේ ශිෂ්‍යයන් සමග මම රුපියල් 2.00 ගානේ ඔට්‌ටු තුනක්‌ අල්ලලා තිබුණා. ඒ ඔට්‌ටු තුනෙන්ම මම පැරදුනා. මගේ සිතේ කැමැත්ත දිව්වේ ඒ දිශාවට. රට ජාතිය ආගමට ඒ දිනවල මම ගොඩාක්‌ ආදරෙයි. ළමා කාලයේ මම බොහොම කුලෑටි ශිෂ්‍යයෙක්‌. පාසලේ සාහිත්‍ය සංගමය දවසට සින්දුවක්‌ කියන්න කිව්වොත් මම හැමදාම මගහරිනවා. සභාවක්‌ ඉදිරියට යන්න හරිම ලැඡ්ජයි. එම ලැඡ්ජාශීලී බව නැතිකරලා මාව සමාජය ඉදිරියට ගත්තේ කිංස්‌ලි වික්‍රමරත්න කියන මහත්මයා. ඔහු මට ගිහි ජීවිතයේදි හුඟක්‌ උපකාර කළා.

ජීවිතය දකින්න, ජීවිතය විඳින්න, ජීවිතය කලකිරෙන්න, ජීවිතයේ නිස්‌සරණය සොයාගෙන යන්න, මට ගොඩාක්‌ම ජීවිතාවබෝධය ලබාගන්න උපකාර වූයේ කිංස්‌ලි වික්‍රමරත්න මහත්මයා. මගේ ජීවිතයේ මට ලැබුණ හැම දෙයක්‌ම, නොලැබුණ සෑම දෙයක්‌ම මට උපකාර වුණා වර්තමානයේ සිටින තැනට එන්න. භික්‌ෂුවගේ ජීවිතේ කොතනකවත් භික්‌ෂුවට වැරදිලා නැහැ. විය යුතු දෙයයි වෙලා තිබෙන්නේ. ඒ නිසා ලෝකයේ කිසිවෙක්‌ මට හොඳක්‌ කරලත් නැහැ, වරදක්‌ කරලත් නැහැ. මම කරපු දෙයයි මම ලබලා තිබෙන්නේ.

භික්‌ෂුව වැඩසිටින කුටියට ඉහළින් තිබෙන ගසේ මල් පිපිලා. ලොකු දඬුලේනෙක්‌ එම අතු පතර රිංගමින්, මල් ආහාරයට ගන්නවා. එයා කාලා ඉවත දමන මලේ පොත්ත, භික්‌ෂුව වැඩසිටින කුටියේ ඉදිරි පියස්‌සේ ඇති පොලිතින් වහලයට සට සට ගාලා වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මාරයා හැටියට දකින්න කියලා. එහෙම නොදැක්‌ක ස්‌වාමින් වහන්සේනමක්‌ භික්‌ෂුවට, ආරණ්‍යයකදී මුණගැසුනා. උන්වහන්සේගේ පැවිද්දේ අර්ථයේ එක කොටසක්‌ මෙන් තිරිසන් සතුන්ව සුරතල් කිරීමත් පෝෂණය කිරීමත්. තිරිසන් සත්ව වේෂයෙන් අප ඉදිරියට එන මාරයාව අපි හඳුනාගන්න දක්‍ෂවෙන්න ඕනේ. එම නිසා තිරිසන් සතාව නිරතුරුව මගහැරලා ජීවත් වෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි පසුපසින් බැලලියක්‌ ආවත් ඇය කාන්තාවක්‌ හැටියට දකින්න දක්‌ෂවන්න ඕනේ. මොකද කාන්තාව තුළවත් බැලලිය තුළවත් නොවේ රාගය තිබෙන්නේ. එම රූපය කෙරෙහි ඇති චන්දරාගය නිසා, අපි තුළයි රාගය ඇතිවෙන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය කියන්නේ බල්ලන්, බලලුන්ට වටකරගෙන කෑම දෙනවා සුරතල් කරනවාය කියන කාරණය නොවේ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් තිරිසන් සතුන්ව සුරතල් කරන්න තිරිසන් සතුනට කන්න දෙන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ තිරිසන් සතුන්ගෙන් උපස්‌ථානයක්‌ ලබලා එම තිරිසන් සතුන්ට සුගතියට මාර්ගය පාදලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ විනය කාරණාවන් උපසම්පදා භික්‌ෂුන්ට පනවා තිබෙනවා. තවත් දානය වළඳලා පාත්‍රයේ ඉතිරි ඉඳුල් ආහාර සතුන් නැති ගලාගෙන යන ජලයකට දමන්න කියලා. තණකොළ නැති පොළවකට දමන්න කියලා. ස්‌වාමින් වහන්සේලා දානය වළඳලා ඉඳුල් බත් ටික තිරිසන් සතෙකුට දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ස්‌වාමින්වහන්සේලාට දේශනා කරලා නැහැ. මොකද තිරිසන් සතුන් උතුම් භික්‌ෂුත්වයට පලිබෝධයක්‌මයි.

බුදුරජාණන් වහන්සේලාගේ උතුම් මහා කරුණා ගුණය සකස්‌ වෙන්නේ, උන්වහන්සේ පුර්වේනිවාසානුස්‌සති ඥණයෙන් දකිනවා. මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙන සෑම මනුෂ්‍යයෙක්‌ම, සංසාරයේ මට අම්මා තාත්තා වෙලා තිබෙනවා දරුවෙක්‌ ඥතියෙක්‌ වෙලා තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පුර්වේනිවාසානුස්‌සති ඥණයෙන් දකිනවා ප්‍රේත තිරිසන් අසුර නිරය කියන සාගර අහසේ සෑම සත්වයෙක්‌ම සංසාරයේ මට අම්මා, තාත්තා, ඥතියෙක්‌, දරුවෙක්‌, වෙලා තිබෙනවා කියලා. මේ හැම දිව්‍ය, බ්‍රහ්ම තලයක සිටින සෑම දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ම මට සංසාරයේ අම්මා, තාත්තා, ඥතියෙක්‌, දරුවෙක්‌ වෙලා තියනවා කියලා. මේ උතුම් දැක්‌ම තුළ සිටිමිනුයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ලෝකයට පැතිරෙන්නේ. අපි මේවා වැරදි දුර්වල ආකාරයට තේරුම් අරගෙන තිරිසන් සතුන්ට කන්න දීම සුරතල් කිරීම මහා කරුණා ගුණය හැටියට දකිනවා වගේම මෙවැනි දේවල් නිසා අපේ භික්‌ෂුත්වයත් විනාශ කොට ගන්නවා.

භික්‌ෂුව මුණගැසෙන්න කුටියට, තරුණ ස්‌වාමින් වහන්සේනමක්‌ පැමිණියා. උන්වහන්සේ හුදකලාව ප්‍රිය කරණ ස්‌වාමින් වහන්සේනමක්‌. උන්වහන්සේ බොහොම නොසතුටින් වගේ ප්‍රකාශ කලා මේ වස්‌ කාලය සිත විසුරුණු වස්‌ කාලයක්‌ කියලා. මගේ කෙටි උපසම්පදා ජීවිතයේ නරකම වස්‌ කාලය මෙය බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. භික්‌ෂුව ඇසුවා ඇයි මොකද සිත විසිරෙන්න හේතුව කියලා. උන්වහන්සේ කියනවා කුටියේ කැපකරු කියන දෙය අහන්නේ නැහැ, දායක පිරිස්‌ කුටියට එක්‌කරගෙන එනවා කියලා. භික්‌ෂුව ඇසුවා නිතරම දායක පිරිස එක්‌කරගෙන එනවාද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා එක කට්‌ටියක්‌ පමණයි කුටියට එක්‌කරගෙන පැමිණියේ කියලා. කැපකරු එක දායක පිරිසක්‌ කුටියට එක්‌කරගෙන ආවය කියලා උන්වහන්සේගේ මුළු වස්‌ කාලයම විනාශවෙලා. මේ ගැටීම සකස්‌ වෙන්නේ මගේ හුදකලාව කියන ඇලීමේ බලවත්භාවය නිසාමයි. ඇලීමේ බලවත්භාවය නිසාමයි ගැටීමේ උච්ඡභාවය සකස්‌ වෙන්නේ. ඇලීමත් ගැටීමත් උච්ඡ තැනදී සිතේ විසිරීම ස්‌වභාවික දෙයක්‌. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය කියන්නේ මාරයාය කියලා. එම නිසා අපි කැපකරුවන් දායක මහත්මයාත් මාරයා හැටියට දකින්න දක්‍ෂවෙන්න ඕනේ. අපිට මේ අය ප්‍රතික්‍ෂේප කරලා ජීවත්වෙන්න බැහැ. මේ අයත් අපේ පැවිදි ජීවිතයේම කොටසක්‌. අපි කැපකරුව ජයගන්න දක්‍ෂ නැතිනම් දායක පිංවතා ජය ගන්න දක්‍ෂ නැතිනම්, ඒ අය සමග ගැටෙන ස්‌වභාවයට ඇලෙන ස්‌වභාවයට යනවා නම් අපි කෙසේ සේනා සහිත මාරයාව ජය ගන්නද? මුලින්ම ඔබ කැපකරුට දායක මහතාව ජය ගන්න දක්‍ෂ වෙන්න. මේ අය සමග ගැලවීමට හැකි මායිමේ සිට ඇසුරු කරන්න දක්‍ෂ වෙන්න.