භික්‍ෂුව මුණගැසීමට මවුපිය දෙපළක්‌ පැමිණියා. ඒ දෙපළ දීර්ඝ කාලයක්‌ විදේශගතව ජීවත්වුණු අය. මේ දෙදෙනා කුටියට පැමිණිලා මුලින්ම භික්‍ෂුවට වන්දනා කළා. දෙවැනුව දෙදෙනාම අඬන්න පටන්ගත්තා. භික්‍ෂුව විමසුවා මොකක්‌ද ප්‍රශ්නය කියලා. ඒ වෙලාවේ ඒ මහත්තයා කියනවා ‘හාමුදුරුවනේ අපට ඉන්නේ එකම එක දියණියක්‌ විතරයි. එයාගෙ විවාහය උත්සවශ්‍රීයෙන් කරන්න අහවල් හෝටලයට මුදලුත් බැඳලයි තිබුණේ. ඒත් අවසන් මොහොතේ මනමාල පාර්ශ්වයෙන් මංගල්‍යය නතර කළා. ඇතිකරගත් වැරදි වැටහීමක්‌ නිසා’

මේ වෙලාවේ භික්‍ෂුව කල්පනා කළේ, මනමාල පාර්ශ්වයේ වරද ගැන නොවේ. අදාළ දියණියට මෙවැනි බලාපොරොත්තු කඩවීමක්‌ සිද්ධවෙන්න ඇය පෙර ජීවිතයේ මොන වගේ අකුසලයක්‌ කරගන්න ඇතිද කියලයි. ඔබේ ජීවිතය ඉදිරියට එන ප්‍රශ්නයට හේතුව, සබෑම ඉලක්‌කයට යොමුකොට ඔබට දකින්න පුළුවන් නම්, මේ ජීවිතයේදී ඔබෙන් සිදුවන අකුසල් සංස්‌කාරයන් බොහෝ දුරට අඩුකොට ගැනීමට ඔබට ශක්‌තියක්‌ ලැබෙනවා.

කුසලයන් අකුසලයන් සමග දෝලනය වෙමින් යන මේ භව ගමන නැවතීමකින් තොරව ඉදිරියට ගලාගෙන යනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අතීතයේ බුදුරජාණන්වහන්සේලා ලක්‍ෂ ගණනක්‌ පහළවූවා සේම, අනාගතයේදී බුදුරජාණන්වහන්සේලා ලක්‍ෂ ගණනක්‌ පහලවෙනවා කියලා. ඒ කියන්නේ ලෝකය තව කල්ප සියක්‌කෝටි, ප්‍රකෝටි ගණනක්‌ ඈතට ගලාගෙන යනවා. නැවතීමක්‌, නිමාවක්‌, අවසානයක්‌ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයයි කියලා. මොනවද කැඩෙන්නේ, බිඳෙන්නේ, විසිරෙන්නේ. සංස්‌කාර කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් ලෝකය ගලාගෙන යනවා. කුසල් සංස්‌කාර කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් ලෝකය ගලාගෙන යනවා. අකුසල් සංස්‌කාර කැඩෙමින්, බිඳෙමින් විසිරෙමින් ලෝකය ගලාගෙන යනවා. නැවතීමක්‌, නිමාවක්‌ නැහැ.

දේශපාලනය කරන මහත්මයෙක්‌ භික්‍ෂුව හමුවට පැමිණියොත්, ඒ මහත්මයාට අනිත්‍යය වඩන්න කියලා භික්‍ෂුව කියන්නේ නැහැ. ඒ මහත්මයාට කියන්නේ සිල්පද පහ රැකගෙන දේශපාලනය කරන්න කියලයි. මොකද දේශපාලනය කරන කෙනා අනිත්‍යය වඩන්න ගියොත් රට අරාජික වෙන්න පුළුවන්. කලාකටයුතු කරන කෙනෙක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණියොත් ඒ කලා කාරුවාට භික්‍ෂුව පායාස නිරය ගැන කියන්න යන්නේ නැහැ. ඒ මහත්මයාට කියන්නේ සිල්පද පහ රැකගෙන කලා කටයුතු කරන්න කියලා. මොකද ලෝකය පවතිනවා. ධර්ම දේශනා, පිංකම්, ලෝකයේ තිබෙනවා වගේම සංදර්ශන, සංගීත සංදර්ශන, උත්සව ආදියත් ලෝකයේ තිබෙනවා. මේවායින් බැහැරව ලෝකය දකින්න බැහැ. භවනා කරන ස්‌වාමීන්වහන්සේලාත් ලෝකයේ වැඩ සිටිනවා. පිංකම්, ධර්මදේශනා කරන ස්‌වාමීන්වහන්සේලාත් ලෝකයේ වැඩසිටිනවා. ඒ වගේමයි රට ජාතිය ආගම උදෙසා සටන්කරන ස්‌වාමීන්වහන්සේලාත් ලෝකයේ වැඩ සිටිනවා. පිකටින්, පෙළපාලි යන ස්‌වාමීන්වහන්සේලාත් වැඩසිටිනවා. මේකට තමයි ලෝකය කියන්නේ. මේවායින් තොරව ලෝකය දකින්න බැහැ. අපි හිතනවානම් ලෝකයේ සිටින සෑම ස්‌වාමීන්වහන්සේ නමක්‌ම භාවනා කළයුතුයි කියලා, ඒ අපි දකින්න උත්සහගන්නේ මෝහයයි.

සංස්‌කාරයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් ලෝකය ගලාගෙන යනවා. සුගතියත් , දුගතියත් දෙක අතර දෝලනය වෙමින් ලෝකය ගලාගෙන යනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මැරෙන මනුෂ්‍යයින් ලෝකයේම පස්‌ හා සමානනම්, සද්ධාව සකස්‌කොටගෙන ඇත්තේ මේ නිය පිටත තිබෙන පස්‌ ප්‍රමාණයටයි කියලා. සත්ව ලෝකයේ දුක මතුකොට පෙන්වන, අතිශය කටුකභාවය දනවන්නක්‌ තමයි ඉහත උපමාව. බුදුරජාණන්වහන්සේ පිංවතුන්ලා ලක්‍ෂයකට ධර්මදේශනා කළොත්, ඒ ධර්මය ජීවිතයට ගලපාගන්නේ කොයි තරම් සුළු පිරිසක්‌ද කියන කාරණය ඉහත උපමාවෙන් මතුකොටගන්න දක්‍ෂවෙන්න. මේ කටුක ලෝක ස්‌වභාවය නුවනින් දකින පිංවත් ඔබ ගලාගෙන යන ලෝකය තුළ නැවතුණු මනුෂ්‍යයෙක්‌ බවට පත්වෙන්න. ලොව්තුරා බුදුරජාණන්වන්සේනමක්‌ ලෝකයට පහලවෙන්නේ මේ ගලාගෙන යන දීර්ඝ ලෝක ස්‌වභාවය මතුකොට පෙන්වලා, පිංවත් ඔබ ලෝකය තුළ නැවතුන කෙනෙක්‌ බවට පත්කිරීමටයි. ලෝකය තුළ නැවතුනා කියන්නේ, ලෝකය තුළ දිවීමට අවශ්‍ය සංස්‌කාරයන් රැස්‌කිරීම නැවැත්වුවාය කියන කාරණයයි.

භික්‍ෂුව මොහොතක්‌ ඇස්‌දෙක පියාගෙන කල්පනා කළා. අදක්‍ෂවූ ලෝකයාට ලෝකය තව කොතෙක්‌ දුරවෙයිද කියලා. අනාගතයේදී බුදුරජාණන්වහන්සේලා ලක්‍ෂ ගණනක්‌, මුළු පෘථීවියම අළු දූවිලි බවට පත්වෙන කල්ප විනාශ සියදහස්‌ ගණනක්‌ පසුකොට ලෝකය ගමන් කරාවී. මනුෂ්‍යයා නොදැනුවත්භාවය නිසාම, මොන තරම් දීර්ඝ කටුක දුකක්‌ කරාද මේ ගමන් කරන්නේ. අවිද්‍යාවෙන් අන්ධවූ මිනිස්‌ සිත ‘රසයි, රසයි’ කිය කියා ‘සැපයි සැපයි’ කිය කියා අතදිගහැර නිර්ලෝභීව සංස්‌කාරයන් සකස්‌කොට දෙනවා, ඔබව මේ දීර්ඝ, කටුක දුකේ කොටස්‌කරුවෙක්‌ බවට පත්කරන්න. ලෝකයට, ලෝකයාට කැමති සේ , සිත් සේ අනාගත දුක කරා ගලාගෙන යැමට ඉඩදෙන්න. ඔබ මේ කටුක යථාර්ථය නුවනින් හඳුනාගනිමින් දුවන ලෝකය තුළ, නැවතුන කෙනෙක්‌ බවට පත්වෙන්න. නැවතුන තැනදී පිංවත් ඔබට විවේකීව, විවෘතව ලෝකය දකින්න ලැබේවී. දීර්ඝ අබුද්ධෝත්පාද කාලයකට පසුව මුණගැසෙන, සම්මා සම්බුද්ධ ශාසනයකදී දුවන මිනිසුන් අතරින් නවතින මිනිසුන් අතළොස්‌ස අතරට පිංවත් ඔබත් එකතුවෙන්න.