ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී බොහොම නිරවුල්ව දේශනා කරනවා භවදුකෙන් අත්මිදීම සඳහා සතර සතිපට්‌ඨාන ධර්මයන් ජීවිතයෙන් ප්‍රගුණ කළ යුතු ආකාරය.

මේ තරම් පැහැදිළි සම්මා සම්බුද්ධ දේශනාවක්‌ තිබියදී අපට ඇසෙනවා බාහිර ක්‍රමවේදයන් පිළිබඳ සමාජයේ යම් ප්‍රවණතාවක්‌ තිබෙනවා. මේ හැම ක්‍රමවේදයක්‌ තුළින්ම මනුෂ්‍යයා යම් සහනයක්‌, සැහැල්ලුවක්‌ ජීවිතයට ලබනවා. ඒ ගැන කිසිම සැකයක්‌ නැහැ. නමුත් අපේ අරමුණ ජීවිතයට සැහැල්ලුව, සහනයක්‌ නම් එය බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණ ජීවිතයේ අර්ථය නෙමෙයි. මොකද සැහැල්ලුවත්, සහනයත්, ජීවිතයත් කියන කාරණා අනිත්‍යභාවයට පත්වෙන නිසා. බුදුරජාණන්වහන්සේගේ ධර්මය හැම විටම ඉලක්‌ක වූයේ භව නිරෝධය දෙසටම, අකුසල මූලයන් සිඳෙන දිශාවටමය. එම නිසා මේ ධර්ම මාර්ගයේ අවබෝධයක්‌ ලබන්නට නම්, බුදුරජාණන්වහන්සේගෙන්මයි පාර අසා දැනගන්න ඕනේ.

මේ ධර්ම මාර්ගයේදී මුල්ම අවබෝධය වන සෝවාන් ඵලය සාක්‍ෂාත් කර ගැනීමට නම් බුදුරජාණන්වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව, ධර්ම රත්නය, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතු වෙනවා. මෙතනදි සංඝරත්නය කෙරෙහි අචල සද්ධාව කියන කාරණය හොඳින් සිහිතබාගත යුතුවෙනවා. සම්බුදු වචනයට පරිබාහිරව පිංවත් ඔබ නවීකරණය කරන ලද කමටහන් ක්‍රමවේදයක්‌ භාවිතයට ගතහොත් ඔබට මාර්ගය වැරදෙන්න පුළුවන්. මොකද වැරදි මාර්ගයේ ගියොත් ශ්‍රද්ධාව සකස්‌වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නෙමෙයි. වෙන වෙන තමන් ගරුකරන ගුරුවරුන්, භාවනා උපදේශක පිංවතුන් කෙරෙහියි. මෙතැන බොහොම අවාසනාවන්ත තැනක්‌. භික්‍ෂුව දැකලා තිබෙනවා ‘බුදුරජාණන්වහන්සේ’කියලා කියපුවහම සාධුකාර නොදෙන සමහර පිංවතුන් තමන් ගරුකරන ගිහි පැවිදි ධර්ම ගුරුවරයෙකුගේ නමක්‌ කියනකොට සාධුකාර දෙනවා. මෙතැනදි පිංවත් ගෞරවනීය ගුරුවරුන් දක්‍ෂවෙන්න ඕනෙ බුදුරජාණන්වහන්සේයි අප සියල්ලන්ගේම ශාස්‌තෘන්වහන්සේ. උන්වහන්සේයී සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ කියන කාරණයෙන් තම ශිෂ්‍යයින් දැනුවත් කරන්න. භාවනාව තුළදී තණ්‌හා, මාන්න, දිට්‌ඨි සකස්‌වීම නිසාමයි මෙවැනි මනෝභාවයන් ඇතිවෙන්නේ.

භාවනා කරන සෑම පිංවතෙකුම දිනපතා තමා ගැන ස්‌වයං පරීක්‍ෂණයක්‌ කරන්න ඕනේ. යමෙක්‌ තුළ සතර සතිපට්‌ඨාන ධර්මයන් වැඩෙනවා නම් ඔහු තුළින් මාන්නය කියන කාරණය අඩුවෙන්න ඕනා. මාන්නය අඩුවෙන්න අඩුවෙන්න නිහතමානී බවයි ඔබේ ජීවිතයට එකතුවෙන්න ඕනේ. මේ ස්‌වයං පරීක්‍ෂණය දිනපතා ඔබේ ජීවිතයට එකතුකර ගන්න. එවිට ඔබ තුළින්ම ඔබට නිවැරදිවෙන්න පුළුවන්. සතර සතිපට්‌ඨාන භාවනාව ගැන අවධානය යොමුකරන ඔබ ජීවිතයේ සෑම ක්‍රියාවකදීම සතියෙන් සිහියෙන් යුතුව ඉරියව් පවත්වන්න. කරන කටයුත්ත කුමක්‌වුවද එම ඉරියව් කෙරෙහි අවධානය, සිහිය පවත්වාගන්න. පිංවත් ඔබ ඉඳගෙන සිටියත්, ඇවිදිමින් සිටියත්, නිදන්නට වැතිරුනත් බාහිර අරමුණුවලට සිත ඇදීයැමට ඉඩ නොදී තමන් කරන කාර්යයටම සිත යොමන්න. මෙතැන තමයි සිතේ සංසිඳීමේ මුල. මේ සංසිඳීම තුළයි ඔබ භාවනාවට යොමුවෙන්න සූදානම්වෙන්න ඕනේ. දැන් ඔබට පුළුවන් ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි සිහිය පවත්වාගන්න. ආශ්වාසයෙන් කය පුරවාගන්න. නැවත හිස්‌ කරන්න. නැවත, නැවත එසේම සිදුකරන්න. කාය සංස්‌කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න. දැන් ඔබට පුළුවන් ආශ්වාසයේ දිගභාවය, කෙටිභාවය දකින්න. මේ සෑම ක්‍රියාවකදීම අනිත්‍ය කියන කාරණය ඔබ දැකිය යුතුය. පිංවත් ඔබ ගන්නා හුස්‌මපොදින් කය ජීවත්වන හැටිත්, එම හුස්‌මපොද නාසයෙන් පිටකරන මොහොතේ ‘මේ කය මැරෙනවා’ කියන කාරණය නුවණින් දකින්න. ඕක තමයි ජීවිතය.

අහස්‌ මාලිගා ගොඩනගාගෙන ජීවත්වුණත් ජීවිතයත් මරණයත් අතර තිබෙන කාල පරතරය මොනතරම් කෙටිද යන්න ආශ්වාස ප්‍රාශ්වාසය තුළින් දකින්න. ඕනෑම කෙනෙක්‌ මැරෙනවාය කියන්නේ ඉහළට ගත්තාවූ හුස්‌මපොද නාසයෙන් පිටවුනාය කියන කාරණයයි. හුස්‌ම රැල්ලක්‌ ඉහළට ගන්නකොට ‘ජීවිතය’ කියලා දකින්න. එම හුස්‌මරැල්ල නාසයෙන් පිටවෙනකොට මරණය මනසින් දකින්න. නැවත නැවතත් මෙසේ මෙනෙහි කරන්න. ජීවිතයත් මරණයත් අතර ඇති කෙටි භාවය දකින්න. ජීවත්වීමට ඇති තෘෂ්ණාව හේතුවෙන් කාය සංස්‌කාර සකස්‌වෙන හැටි දකින්න.

පිංවත් ඔබ මොහොතක්‌ ආශ්වාස ප්‍රශ්වාස කිරීම නවතාගන්න. ශරීරය දෙස හොඳින් අරමුණු කරන්න. ඔබට දැනේවී පපුව ප්‍රදේශය තදවන ස්‌වභාවය. ශරීරය පුපුරන්න එනවා වගේ ස්‌වභාවයක්‌ සකස්‌වෙනවා. මේවා මරණයේ පෙරනිමිති බව මනසින් දකින්න. ඉතා කෙටි මොහොතක්‌ පමණක්‌ පිංවත් ඔබ මෙය සිදුකරන්න. නැවත පියවි ස්‌වභාවයට ආශ්වාස ප්‍රාශ්වාසයට එන්න. දැන් හොඳින් කය වායෝධාතුවෙන් පුරවාගන්න. ශරීරයට දැනෙන ආශ්වාදය මෙනෙහි කරන්න. හුස්‌ම නොගෙන සිටියදී ඇති වූ මරණීය විඳීමත්, හුස්‌ම ශරීරයට පුරවාගනිද්දී ඇති වූ ආශ්වාදය විඳීමත් අනිත්‍ය බවම දකින්න. මේ විඳීම් දෙකම සකස්‌වූයේ හේතු ධර්මයන් නිසා බව නුවණින් දකින්න. පිංවත් ඔබ කැමැති කැමති ආකාරයට අවබෝධය උදෙසා ආශ්වාස, ප්‍රශ්වාසය ප්‍රයෝජනයට ගන්න. ශරීරයත් ආශ්වාස ප්‍රාශ්වාස වායෝ ධාතුවත් වෙන්කොට දකින්න. ශරීරය ඔබට අයිති නැති බවත්, වායෝ ධාතුවද ඔබට අයිති නැති බවත් මනසින් දකින්න. කාය සංස්‌කාරයන්ගෙන් තොරව ශරීරය නොපවතින බව නුවණින් මෙනෙහි කරන්න. තමාගේ ජීවිතයට වගේම තමා වැඩියෙන්ම ආදරය කරන අයගේ ජීවිතවලටත්, තමා කැමති අකමැති සැමගේම ජීවිතවලටත් මෙය ගලපා දකින්න.