දෙතිස්‌ කුණපය හැටියට ශරීරය කොටස්‌ තිස්‌දෙකකට ගොඩවල් ගසා වෙන්කර දකින්න පුළුවන්. ඒ වගේම සතරමහාධාතූන් වශයෙන් වෙන්කර දකින්න පුළුවන්. ශරීරයේ තද ස්‌වභාවයේ ඇති කොටස්‌ වෙනමත් ද්‍රව ස්‌වභාවයේ ඇති කොටස්‌ වෙනමත්, මේ කොටස්‌ දෙක තුළින්ම වායුස්‌වභාවයත් උණුසුම් ස්‌වභාවයත් දකින්න පුළුවන්. ඉහත ආකාරයට කමටහන් වඩන පිංවතා පිංවතිය නිරතුරුවම උත්සහගන්න ඕනේ පුද්ගල සංඥාවෙන් මිදිලා මුලින් සඳහන් කළ මස්‌ගොඩවල් හැටියට ඔබව වගේම ලෝකයාවත් දකින්න.

ඔබට රූපයක්‌ මුණ ගැහෙනවිටම සහ සිතට නැගෙනවිටම රූප සංඥාව මඟහැරලා ඉහත ගොඩවල් හය හැටියට දකින්න. සුළුවෙන් හෝ උත්සාහ ගන්න. පසුතැවෙන්න එපා බැහැය කියලා. උදම් අනන්නත් එපා පුළුවන්ය කියලා. මේ කාරණා දෙකේදීම සකස්‌වෙන්නේ දුකට හේතුවන තෘෂ්ණාවයි. මේ සටහන කියවලා ඔබට සිතුනොත් මෙහි ජීවිතයට ගත හැකි යමක්‌ තිබෙනවාය කියලා, එක සිතුවිල්ලක්‌ ඇතිකරගන්න. ඒ අදහසම ඇති ඔබ අදක්‍ෂයින්ගෙන් පිරි ලොවක දක්‍ෂයෙක්‌ය කියන කාරණය හඳුනාගන්න. මොකද මේ බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ මාර්ගය නිසා. ඒ ශක්‌තිය ජීවිතයට එකතුකරගන්න. ඒ ශක්‌තිය එසේ මෙසේ ශක්‌තියක්‌ නොවේ. බුදුරජාණන් වහන්සේගේම ශක්‌තියයි.

දැන් පිංවතුන්ලා සතරමහාධාතූන් හැටියට මේ කය දකින්න. මෙතනදී ඔබ ශරීරය මස්‌, බොකු, බඩවැල් ආදී තද ස්‌වභාවයේ අවයව එක ගොඩකට දමන්න. වායෝ ධාතුවත් තේජෝ ධාතුවත් පඨවි ආපෝ ගොඩවල් දෙක තුළින්ම දකින්න. ඉහත ගොඩවල් ඔබ මනසින් දකින විට ඔබේ පුද්ගල සංඥාව යටපත් වෙන්න ඕනේ. ඔබ විසින් ගොඩනගාගත් පඨවි, ආපෝ ගොඩවල් දෙකට, ඉකුත් සලායතන කමටහන්වලදී සදහන් කළ පරිදි ඔබගේ නිවසේ, ගමේ, නගරයේ, රටේ, ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුගේම රූපයත් යොමුකරගන්න. මස්‌ කන්දක්‌ ලෙසත්, ද්‍රවගොඩක්‌ ලෙසත්, එයට මැදි වූ වායෝ තේජෝ ස්‌වභාවයත් වශයෙන් ලෝකය දකින්න. තිරිසන් සතුන්ද මනසින් කොටස්‌ කර ඉහත ගොඩවලට දමන්න. මනුෂ්‍යයාගේ රූපයත්, තිරිසන් සතාගේ රූපයත් එකම ස්‌වභාවයේ වැගිරෙන කුණුවෙන දුගඳ හමන ස්‌වභාවයට අයිති බව දකින්න. මේ මස්‌ගොඩ, ද්‍රවගොඩ කුණුවී දියවී මහ පොළවට පස්‌වන හැටි නුවණින් දකින්න. එම පස්‌වලින් ගහකොළ පෝෂණය වන හැටි නුවණින් දකින්න. දුගඳ හමන වායෝධාතුව සුළග සමඟ මුසු වී වායුගෝලයට මුසුවන හැටි දකින්න. මස්‌ කුණුවී යනකොට එයින් නැගෙන උණුසුමින් පොළොව රත්වන හැටි මනසින් දකින්න. මහ පොළොවේ පසත්, ජලයත්, සුළඟත් පිංවත් ඔබේ ශරීරයට ගලපා බලන්න. සසඳා බලන්න. රූපයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. රූපයට ඇති ජන්ද රාගයෙන් මිදෙන්න. ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොව සත්වයාගේම සතර මහා ධාතුවේ ‘රූපයේ’ අනිත්‍යභාවය තුළින්ම සකස්‌ වී ඇති බව මෙන්ම එය නැවත නැවත අනිත්‍ය වන හැටිත් දකින්න. පිංවත් ඔබේ ශරීරය පස හැටියට, ගංගාවල ජලය හැටියට, සුලං රැල්ලක්‌ හැටියට දකින්න දක්‍ෂ වෙන්න. ආධ්‍යාත්මික රූපයේදීද, භාහිර රූපයේදීද, සතර මහා ධාතුවේ අර්ථය අනිත්‍යයම බව මනසින් දකින්න.

සතර මහා ධාතූන්ගෙන් තොර ලෝකයක්‌ ඔබට කොතැනකදීවත් හමුවෙන්නේ නැහැ. පස ගත්තත්, ගින්දර, සුළඟ, ඉර, හඳ, තාරකා ගත්තත් මේ සෑම දෙයක්‌ම සතර මහා ධාතූන්ගෙන්මයි හැදිලා තිබෙන්නේ. පිංවත් ඔබ ඉදිරියේ තිබෙන හිස්‌ අවකාශය ගත්තත්, ඒ හිස්‌ අවකාශය තුළ සතර මහා ධාතුවක්‌මයි තිබෙන්නේ. නමුත් පඨවිය එතැනදී ඉතාම සියුම්. එම නිසා භාවනා කරන පිංවතා කොතැනකදීවත් සුබය, හිස්‌ය කියන අර්ථයෙන් රූපය දකින්න යන්න එපා. එය ඔබගේ අවබෝධයට බාධාවක්‌ වෙනවා. සුබය හෝ හිස්‌ය කියලා ගන්න තැනක්‌ ලෝකය තුළ, රූප ධර්මයන් තුළ නැහැ. නමුත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් රහතන් වහන්සේට පමණක්‌ තම අවබෝධඥානයෙන් ලෝකය නාම රූප ධර්මයන් ශුන්‍යකොට, හිස්‌කොට දකින්න පුළුවන්. උන්වහන්සේ එසේ දකින්නේ සතර මහා ධාතුව විනිවිද ගිය, අවබෝධ ඥානයෙන් අභිබවා ගිය අනිත්‍ය ඥාන දර්ශනයක්‌ තුළින් රූපය අවබෝධ කර ඇති නිසා.

රහතන් වහන්සේට පුළුවන්කම තිබෙනවා. මුළු ලෝක ධාතුවම නිශේධ කර දකින්න. නමුත් එම දේ පිංවත් ඔබ කරන්න යන්න එපා. එහෙම කරන්න ගියොත් වැරදෙනවා. පැටලෙනවා. මොකද ඔබ තවම රූපය, සතර මහා ධාතුවේ අනිත්‍යය, අවබෝධ ඥානයෙන් ඥාන දර්ශන ඔස්‌සේ අවබෝධ කර නොමැති නිසා. එම නිසා පිංවත් ඔබ ලෝකය හිස්‌ය, ශුන්‍යය කියන කාරණයෙන් බැහැරව සෑම අවකාශයක්‌ම, රූපයක්‌ම සතර මහා ධාතුව වශයෙන් දකින්න. සතර මහා ධාතුව නිරතුරුවම අති ප්‍රවේගයකින් වෙනස්‌වන, අනිත්‍ය ස්‌වභාවය දකින්න උත්සාහගන්න.