පිංවත් ඔබ කුමන වයසක පසුවුවද සමාධිමත් මනසින් සංහිඳීමට පත්වුණා වූ සිතෙන් තම අතීතයට යන්න. ඒ කියන්නේ ඔබ වැඩුන මව්කුසට. පිංවත් මෑණියන්ගේ මවු කුසේ නව මාසයක්‌ ඔබ ලැබු අත්දැකීම් මනසින් දකින්න. මෑණියන්ගේ උදරයේ මස්‌, ඇට, බොකු, බඩවැල්වලට මැදිවී, බැලුම් බෝලයක්‌වන් ගර්භාෂ කුටියක වකුටුවී සිටි ආකාරය සිහියට නගාගන්න. ලේ, සැරව තැවරුන මොලකැටි රූපය මනසින් දකින්න. එතනින් නොනැවතී අතීත ජීවිතවල එළදෙනුන්ගේ, ඊරියන්ගේ, එළිච්චියන්ගේ, ඇතින්නන්ගේ, වැඳිරියන්ගේ මව්කුසවල ඔබ හැදීවැඩුණු හැටි සිහිකරන්න. ප්‍රේතියන්ගේ කුසේ පිළිසිඳගෙන ප්‍රේත දරුවන් ලෙස බහිවුණ හැටි සිහිකරන්න. පිංවත් ඔබ වැඳිරියක්‌ වෙලා මෙය ලියන භික්‍ෂුව එම වැඳිරියගේ පැටවා වෙලා ඔබේ බඩේ එල්ලිලා ගහෙන් ගහට පැනපු හැටි මනසින් දකින්න. ඔබ කිකිළියක්‌ වෙලා මෙය ලියන භික්‍ෂුව කිකිළි පැටවා වෙලා ඔබ කැවූ පණුවන් ගණන ගැන සිහිකරන්න. දැන් නැවතත් පිංවත් ඔබ මෑණියන්ගේ මව්කුස අරමුණට ගන්න. ප්‍රසූතිකාගාරයක්‌ තුළදී ඔබ බිහිවුණ හැටි, ඔබ උපන් මොහොතේම එහි හෙද නිළධාරිණිය ඔබව දෙපයෙන් ඔසවාගෙන සිටිනවා මනසින් දකින්න.

මෙතැන් පටන් ඔබේ ළමා, තරුණ, මධ්‍යම කාලය ගෙවුන හැටි, මේ ශරීරය ජරා, ව්‍යාධි, මරණවලට පත්වූ ආකාරය මනසින් දකින්න. මනසින් ඔබ අංශභාග රෝගියෙක්‌ වෙන්න. අනුනගේ පිළිසරණක්‌ නොමැතිව මළ මුත්‍රාගොඩේ රෝගීව දුක්‌විඳින හැටි මනසින් දකින්න. ඔබ රෝහලේ ඇඳක්‌ මත නාසයට, මුඛයට, මුත්‍රාමාර්ගයට බට සවිකර ගෙන මරණාසන්නව දුක්‌විඳින හැටි දකින්න. ඔබේ වයස ප්‍රශ්ණයක්‌ නැහැ. තරුණ පිංවතෙක්‌ වුවත් ඊලඟ මොහොතේ මෙසේ විය හැකියෑයි මෙනෙහි කරන්න. රූපය පිළිබඳ අවබෝධයෙන්ම කලකිරෙන්න.

පිංවත් ඔබේ ශරීරයේ ආයුෂ, උණුසුම, විඤ්ඤාණය පහව ගොස්‌ මියයනවා දකින්න. ඔබේ දේහය මල්ශාලාවේ එම්බාම් කරනවා මනසින් දකින්න. තමාට හිමිව තිබූ හොඳම සුදු කමිසයත් කලු කලිසමත්, එසේත් නැතිනම් මඟුල් ඇඳුම් කට්‌ටලය අන්දවා නිවසේ සාලය මැද සුදුවියනක්‌ යට කැටයම් කරන ලද පෙට්‌ටියක තමාගේම දේහය තිබෙනවා මනසින් දකින්න. ඥාතීන් හඬාවැටෙන අයුරු, මිතුරන් ගුණකථන පවත්වන අයුරු, ස්‌වාමීන් වහන්සේලා පාංශකූලය දෙන අයුරු මනසින් දකින්න. දේහය කරමත තබා ගෙන, විලාප තබමින් සුසාන භූමියට රැගෙන යන හැටි දකින්න. දරසෑයක්‌ මත දේහය තබා ගිනිදල්වනවා දකින්න. ඔබේ මේ ශරීරය ගින්දරක්‌ කොට දකින්න. තෙල් ගොඩක්‌ කර දකින්න. දුමක්‌, අළුගොඩක්‌ කොට දකින්න. එසේත් නොමැති නම් ඔබේ මළසිරුර සුසාන භූමියේ දමා තිබෙනවා දකින්න. කුණුවෙන වැගිරෙන මසත්, ඒ මස තළුමරමින් බුදින බලුකපුටු කබර වැනි සතුන් මනසින් දකින්න. පිංවත් ඔබේ ඇස, කණ, තවත් තිරිසන් සතෙකුගේ ආයුෂ, වර්ණය, සැපය, බලය පිණිස හේතුවෙන හැටි දකින්න. ඔබේ ඇස බල්ලෙකු විසින් ගිලදමනවා දකින්න. ඔබේ ඇසත් බල්ලෙකුගේ අශූචිත් අතර ඇත්තේ රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගය පමණක්‌ම බව දකින්න. ජීවමාන ඇසේ සුන්දරත්වයත් බලු අශූචියේ දුගඳත් යන දෙකම සකස්‌කලේ ඵස්‌සය කෙරෙහි ඇති තෘෂ්ණව විසින් බව දකින්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකළ ධර්මය තුළ සිටිමින් ඔබ කැමති කැමති ආකාරයට රූපයේ අනිත්‍ය සංඥාවන් මතුවන දිශාවට මෙනෙහි කරන්න. නිත්‍යයයි කියන සංඥාවට අසුභයෙන්, මරණානුස්‌සතියෙන් වැටබඳින්න.

පිංවත් ඔබ නින්දට යන සෑම රාත්‍රියකම හෙට උදෑසන වන විට මා මියයාවිය කියන අදහසින් නින්දට යන්න. ඔබ උදෑසන සුවසේ නින්දෙන් ඇහැරුනොත් ප්‍රබෝධයෙන්, වීර්යයෙන් යුතුව ඔබේ වගකීම් යුතුකම් ඉටුකරන්න.

මීළඟට පිංවත් ඔබ නැවත ආයුෂ, උණුසුම, නොසිටියානම් සංස්‌කාර හේතුවෙන් ඊළඟට සකස්‌ වන උපත නිරයේ තිරිසන් සතකුගේ, ප්‍රේතයෙක්‌ගේ, අසුරයෙකුගේ මිථ්‍යාදෘෂ්ඨික මව්කුසක පිළිසිඳ ගන්නවා මනසින් දකින්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමාදීභාවය යනුවෙන් දේශනා කරන්නේ උදේම නැගිටින්න, කාර්යාලයට යන්න, පාසලට යන්න… ප්‍රමාද වෙනවාය කියන කාරණය නොවේ. මේවා මොන ප්‍රමාදයන්ද? මෙම ප්‍රමාදයන් ගැන දේශණා කරන්න සාරාසංඛ කල්ප ලක්‍ෂ ගණනක්‌ පෙරුම්පුරා බෝධිසත්වයන් වහන්සේනමක්‌ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න අවශ්‍යද? ඔය ටික පාසලක පිංවත් ගුරුවරයෙකුට කියලා දෙන්න පුළුවන් ඔබට. ප්‍රමාදීභාවය කියලා බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ සත්වයා සතර අපායට වැටිලා කල්ප ගණන් ප්‍රමාදවීම සම්බන්ධවයි.

පිංවත් ඔබේ ඇසට පෙනෙන සෑම තිරිසන් සත්වයෙක්‌ම පෙර ජීවිතයක මනුෂ්‍යයෙක්‌. ලැබූ මනුෂ්‍ය ජීවිතයේදී ශිල්පදයක්‌ ආරක්‍ෂා කරගත්තේ නැහැ. ශිල්පදයක වටිනාකමක්‌ දැක්‌කේ නැහැ. දන් දුන්නේ නැහැ. සද්ධර්මය ශ්‍රවණය කළේ නැහැ. කළ්‍යාණමිත්‍ර ආශ්‍රයක්‌ නැහැ. ජීවිතය ආශ්වාදයක්‌ම කරගත්තා. බිරිඳ, දරුවන්, දැනුම, දේපල… මේවා මත්තෙමයි ජීවත් වුණේ. නොවටිනා දේවල්, වටිනා දේ ලෙසින් ගත්තා. වටිනා දේ නොවටිනා දේ ලෙසින් ගත්තා. කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තිබුණේ නැහැ. හිටිය යාළුවොත් වර්ණනා කළේ, ගුණ කීවේ, සාදයමයි. බෝතලයමයි. විනෝද ගමන්මයි. තෙරුවන්ගේ වටිනාකම ගැන කියන්න කෙනෙක්‌ හිටියේ නැහැ. දානයේ ශීලයේ වටිනාකම ගැන කියන්න කෙනෙක්‌ හිටියේ නැහැ. මැරෙන බව හිතුවේ නැහැ. මැරිලා නැවත ඉපදෙනවාය කියලා හිතුවේ නැහැ. මැරෙන බව දැනගත්තේ මැරෙන්න යන වේලාවෙයි. මැරෙන වෙලාවෙදි පිනක්‌ සිතේ මතුවුනේ නැහැ. නොවටිනා දේවල් තමයි සිතේ මතුවුනේ. ගැටෙන සිතෙන් මැරිලා, සතර අපායේ නොවටිනා ජීවිතයක්‌ ලබනවා. බුදුරජාණන් වහන්සේ නමක්‌ මේ මොහොතේ ජීවමානව වැඩ සිටියත්, තිරිසන් සතෙකුට, ප්‍රේතයෙකුට ඉන් ඵලයක්‌ නැහැ. මොවුන් තෙරුවන් හඳුනන්නේ නැහැ. ඒ කියන්නේ කල්ප ගණන් ප්‍රමාදභාවයට පත්වුණාය කියන කාරණයයි. එම නිසා ජාති ආගම් භේදයකින් තොරව, සැබෑම ප්‍රමාදභාවය කියන කාරණය, පිංවත් ඔබ හොඳින් දැනගත යුතුයි. මොකද දානයට ශීලයට භාවනාවට අප්‍රමාදී පිංවතාමයි ලෝකයේ සැප ලබන්නේ. එම නිසා ප්‍රමාදීභාවයේ දුක දෙස විදර්ශනා නුවණින් බලා පිංවත් ඔබ අප්‍රමාදී වෙන්න.