බුදුරජාණන් වහන්සේ සොයාගෙන ධර්ම පිපාසයෙන් පැමිණි කිසිවෙකුටත් උන්වහන්සේ කටුසටහන්, මුද්‍රිත පොත් දුන්නේ නැහැ. ආනන්ද ස්‌වාමීන්වහන්සේ හමුවී වැඩි විස්‌තර දැන ගන්න යෑයි කීවේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ භාවනා පංතියට යන්න කීවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශණා කලේ ‘මහණෙනි මේ ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යනම් ඇස නිසා සකස්‌ වෙන ඵස්‌ස, වේදනා, සංස්‌කාර, විඤ්ඤාණ ධර්මයනුත් අනිත්‍යයයි’ කියලා. බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචියට දේශණා කළේ ‘බාහිය දුටුදෙය දුටුබව සිතන්න. ඇසුන දෙය ඇසුනබව පමණක්‌ සිතන්න. සිත සිතක්‌ පමණක්‌ බව සිතන්න’ කියලයි. මෙහි අර්ථය ඵස්‌සය කෙරෙහි නොඇලෙන්න කියන කාරණයයි. ඵස්‌සය අනිත්‍යවශයෙන් දැකීමේදී විඳීමක්‌ සකස්‌ වෙන්නේ නැහැ. සරල කමටහනකින් රහතන් වහන්සේ නමක්‌ බිහිවුණා.

ගිහි පිංවතුන්ලාට මීට අමතරව දානයේ ශීලයේ වටිනාකම දේශණා කළා. මේ කොයි දේශනය තුළත් තිබුණේ සරල බවයි. ගැඹුර කියන්නේ කෙලෙස්‌ කියන කාරණයයි. කෙලෙස්‌ වලින් මිදෙන්න මිදෙන්න ධර්මයේ ස්‌වභාවයම පැමිණෙනවා. යමෙක්‌ ධර්මය ගැඹුරු ආකාරයෙන් දකින්න යනවානම් ඒ ඔහු තුළ කෙලෙස්‌ වැඩෙනවාය කියන කාරණයයි සිද්ධවෙන්නේ. ජීවිතයේ ගැඹුරු බව දැකලා කලකිරීමෙන් භාවනා කිරීමට එන පිංවතාට භාවනාවේ ගැඹුරු බව කියන්න ගියොත් ඔහුට ජීවිතයත් එපා වෙන්න පුළුවන්.

ජීවිතයේ ගැඹුර අඩුකරන ”භාෂාව” තමයි විදර්ශණා භාවනාව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සරල ආකාරයෙන්ම ඔබේ ජීවිතයට ධර්මය ගලපාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර සතිපට්‌ඨාන ධර්මයන් ඔබ සරල කමටහනක්‌ කරගන්න. ජීවිතයේ ගැඹුර භාවනාවේ සරල භාවයෙන් පුරවාගන්න. ජීවිතය නොගැඹුරු කරගන්න. නාම රූප ධර්මයන්ට ඒවායේ ස්‌වභාවයෙන් පවතින්නට ඉඩහරින්න. පිංවත් ඔබ නාමරූප ධර්මයන්ගේ සැබෑම අනිත්‍ය ස්‌වභාවය විදර්ශණාවෙන් දකිමින් ජීවත්වෙන්න. මම තුලින්ම ‘මම’ නිරෝධය කරන මාර්ගයට එන්න. ධර්මය යනු ගැඹුරක්‌, දිගක්‌, පලළක්‌, සුවයක්‌, වින්දනයක්‌ නොව අනිත්‍යයම බවත්, අනිත්‍ය ඔබෙන් වසන්කරන්නේ තෘෂ්ණාව විසින් බවත් හඳුනාගන්න. බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාල සතරසතිපට්‌ඨාණ සූත්‍රය, ආනාපාන සති සූත්‍රය දෙස බලන්න. මේවා තුළින් අපට කියාදෙන්නේ ගොරෝසු ආශ්වාස ප්‍රශ්වාසය සියුම් කරන ස්‌වභාවය ගොරෝසු කයේ ඝණ සංඥාව සියුම් කරන ස්‌වභාවයයි. මේ සෑම දෙයකම තිබෙන්නේ ගොරෝසු දෙය සියුම් කර දකින වැඩපිළිවෙලයි. මේ සියුම් භාවය යටපත් කරන්නේ පංචනීවරණ විසින්. පංච නීවරණ යටපත් කරදැමීම උදෙසා ශීලයේ පරිපූර්ණ භාවයත් ඒ තුළින්ම සමාධිමත් භාවයත් සකස්‌ කරගෙන පිංවත් ඔබ අර්ථවත් මනුෂ්‍යයෙක්‌ වන්න. ධර්මය තුළට එන්න.

ඔබට ලස්‌සන රූපයක්‌ අරමුණු වෙනවා. රූපය කියන්නේ අනිත්‍ය දෙයක්‌. නමුත් ඔබ එම රූපය තෘෂ්ණාවෙන් ගන්නවා. මේ හේතුවෙන් සංස්‌කාර රැස්‌වෙනවා. ඒ ඔබ අත්දකින්නේ අධර්මයයි. ඔබට ලස්‌සන රූපයක්‌ අරමුණු වෙනවා නම් ඔබ එය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. ඔබ තුළ එම රූපයට තෘෂ්ණාවක්‌ සකස්‌ වෙන්නේ නැහැ. ඒ නිසාම සංස්‌කාරයන් රැස්‌වීමක්‌ නැහැ. මේ ඔබ අත්දකින්නේ ධර්මයයි. ධර්මයත් අධර්මයත් අතර තිබෙන වෙනස පිංවත් ඔබම අත්දැකීමෙන් හඳුනාගන්න. එවිට ඔබට දැනේවි බුදුරජාණන් වහන්සේ ධර්මය මොනතරම් සරල කර අපට දේශණා කර තිබෙනවාද කියලා.

පිංවත් ඔබ ඉදිරියෙන් සිටින සෑම මනුෂ්‍යයෙක්‌ම ඔබේ ගුරුවරයෙක්‌ කරගන්න. ඒ සෑම කෙනෙක්‌ම ඔබට යමක්‌ උගන්නවා. ඔබ ඒ දෙය හොඳින් ඉගෙන ගන්න. මොනවාද ඒ අය උගන්වන්නේ. ඔහු නරකයි, ඔහු හොඳයි, සත්පුරුෂයි. ඔහු අසත්පුරුෂයි, චපලයි, ගුණමකුයි. එයා මෛත්‍රිසහගතයි. එයා කරුණාවන්තයි. එයා අධාර්මිකයි, අරකෙනා ධාර්මිකයි… අවසානයේ කුමක්‌ද මේ සියල්ලන්ම ඔබට උගන්වලා තිබෙන්නේ. අනිත්‍යයයි කියන කාරණයි.

ජීවිතය ආපස්‌සට හැරිල බලනවිට භික්‍ෂුවට පෙනෙන්නේ මේ අනිත්‍යවු පාඩම කියාදුන් සමාජයයි. පිංවත් ඔබ තුළම ඔබ අසලම ධර්මය තිබේ. හොඳින් බලන්න හොඳින් අසන්න. එය ඔබට මුණගැසේවි. භික්‍ෂුවක්‌ හැටියට අපි පැවිදිවුනේ ‘දායක පිරිස්‌ අපේ ළඟට සිව්පසය ගෙනත් පූජා කරාවි, ඒ අය ගරු සම්මාන දක්‌වාවී, වඳීවි, පුදාවි’ කියල නොවේ. අප අත්විඳින දුක දැකලා ඒ දුකෙන් මිදෙන්න කියන බලාපොරොත්තුවෙන්. බුදුරජාණන් වහන්සේ තුන් සිව්රත් පාත්‍රයත් පමණක්‌ අපේ අතට දෙන්නේ අපට ඉන්න ඕනේ සැබෑ සීමාව තුළ අපව රඳවන්නයි. ඉන් එහාට යන්න යන්න අපි ධර්මාවබෝධයෙන් දුරස්‌වෙනවා. භාවනා කරන ගිහි පැවිදි අපි කාටත් බුදුරජාණන් වහන්සේගේ ඉහත කමටහන හුඟාක්‌ වැදගත් වෙනවා. මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ඔබව විකුණන්න පුළුවන්. ඔබව විකිනෙන්නත් පුළුවන්. හුඟාක්‌ පරිස්‌සමෙන්…! රූපය මාරයා හැටියට, රූපය ඇසුරින් සකස්‌ වෙන පංච උපාදානස්‌කන්ධය මාරයා හැටියටත් දකින්න. බුදුරජාණන් වහන්සේ කියලා දෙන ඉහත කමටහනත් ඔබට ගොඩාක්‌ වටිනවා. ඉහත සටහන භාවනාව ගැනයි සඳහන් කළේ.

මේ කාරණා ටික සදහන් කරන්නේ භාවනා නොකරන පිංවතුන්ලාටයි. ඔබ භාවනා නොකරනවා කියලා කොයිම අවස්‌ථාවකවත් දුක්‌වෙන්න එපා. දුක කියන්නේ ගැටීම කියන අකුසලයයි. එම නිසා පිංවත් ඔබත් තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් දානය ශීලය තුළ හොඳින් හික්‌මෙන්න. එයත් උතුම්ම භාවනාවක්‌මයි. විදර්ශණා භාවනාවට දොරකවුළු විවර කරදෙන සෑම විටම ඔබ ඉන්නා තැන ගැන සතුටුවෙන්න. පියවරක්‌ හෝ ඉදිරියට තබනවායයි වීර්යය සකස්‌ කරගන්න. මේ මොහොතේ මේ පිංබිමේ උපත ලැබු ඔබ සැබෑම දක්‍ෂයින් බව සිතන්න.