භික්‍ෂුවට මේ තැනට එන්න උපකාරී වුණේ මේ අතීත කුසල් ශක්‌තියමයි. මේ කුසල් ශක්‌තිය භික්‍ෂුව මතුකරගන්නේ ගිහි කාලයේ පිංකම් සහ සමාජසේවය තුළිනුයි. කොටින්ම අනුන්ව සතුටුකිරීම තුළින්. තමා ළඟට පැමිණෙන සේවාදායකයා තමා ළඟට පැමිණෙන කිනම් මනුෂ්‍යයෙක්‌ වුවද අවම තරමින් සිනාවකින් හෝ සතුටුකිරීමට ඔබට හැකිනම්, ඔබේ සතුට අනුනගේ සැපය උදෙසා කැපකිරීමට ඔබ දක්‍ෂනම්, එය තමයි ගිහි පිංවතාගේ අතහැරීම කියන්නේ. අනුන් සතුටුවෙනවා දැකලා එම සතුටින් ඔබේ ආධ්‍යාත්මය ශක්‌තිමත් කරගන්න. ඔබ වාඩිවෙලා යන බස්‌රථයේ ආසනය අවශ්‍ය කෙනකුට පරිත්‍යාග කිරීමට ඔබ අකමැතිනම් ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න කලබල වෙන්න අවශ්‍යවෙන්නේ නැහැ. ඔබ සිනාවකින් තව කෙනෙක්‌ සතුටු කරන්න අකමැතිනම් ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න කලබල වෙන්න එපා.

පිංකමක්‌ සිද්ධකරනවිට සෑම මොහොතකම එම පිංකම විචිත්‍ර ආකාරයට සිද්ධ කරන්න. පිංකමක විචිත්‍රභාවය වැඩිවෙන්න වැඩිවෙන්න එම පිංකම අවසානයේදී ඔබ තුළ ඇතිවන අනිත්‍ය සංඥාවන්ගේ ප්‍රමාණය වැඩිවෙනවා. පිංකම විචිත්‍ර වෙනවිට එම පිංකම සංවිධානය කරන පිංවතුන්ගේ ලෝභී සිතුවිලි නැතිවෙනවා. පිංකමේ විචිත්‍රභාවය දකිනවිට භික්‍ෂුවට මතක්‌ වෙන්නේ භික්‍ෂුව ගිහි කාලයේ සිදුකළ විචිත්‍ර පිංකම්.

ගෙදරක සාංඝික දානයක්‌ තිබුණත්, පිරිත් පිංකමක්‌ තිබුණත් එය බොහෝම පිරිසිදුව විචිත්‍රව සිදුකළා. මට මතකයි මීට වසර විස්‌සකට විතර පෙරාතුව මගේ තාත්තා මියගිය අවස්‌ථාවේ හත් දවසේ බණ පිංකමට ගෙදර වටේ තිබුණ මල් ගස්‌වලට පාට පාට බල්බ්වැල් දැම්මා. මේක දැකලා බණ ගෙදර පැමිණි සමහරු මට කීවා බණ ගෙදරත් මඟුල් ගෙදරක්‌ කරගෙන කියලා. චෝදනාත්මක ස්‌වරූපයෙනුයි එය කීවේ. මට අවශ්‍යවුණේ පිංකම විචිත්‍ර ආකාරයෙන් සිද්ධකරන්නයි. ඒ විචිත්‍ර පිංකම් දැකලා සත්පුරුෂ දෙවියන්, මනුෂ්‍යයන් කොයිතරම් සතුටුවෙන්න ඇතිද? ඒ සතුටින් මම මගේ ආධ්‍යාත්මය ශක්‌තිමත් කරගත්තා. ඒ විචිත්‍ර පිංකම් වල ඵලය තමයි භික්‍ෂුව මේ මොහොතේ භුක්‌ති විඳින්නේ. එම නිසා භික්‍ෂුව භුක්‌ති විඳින මේ ඵලය, ඒ ලැබුව මාර්ගය පිංවත් ඔබලාට වළක්‌වන්න භික්‍ෂුව යන්නේ නැහැ. එම නිසා කුමන පිංකම් මහාසංඝරත්නය අරමුණු කරගෙන සිදුකළත් එම පිංකම පිරිසිදුව විචිත්‍ර ආකාරයට සිද්ධකරන්න. එය ඔබට අයෝමය ශක්‌තියක්‌ වෙනවා නිවන් මාර්ගය මෝදු කරගැනීමට. තෘෂ්ණාවෙන් දුරුවෙන මාර්ගය විවෘතකර ගන්න.

නිවීම කියන්නේ විදර්ශනාවේ පමණක්‌ ඵලයක්‌ නොවේ. විදර්ශනා නුවණ සකස්‌කරගන්න කුසල් පක්‍ෂයේ අයෝමය ශක්‌තිය ඔබ තුළ මෝදුවෙන්න ඕනා. මේවා එකිනෙකට බැඳිලයි තියෙන්නේ. අයෝමය කුසල්ශක්‌තියේ පරිපූර්ණභාවයයි භික්‍ෂුවට විදර්ශනා නුවණ සකස්‌කරදෙන්නට මාර්ගය වුණේ.

මේ සටහන ලියන්නේ ගිහි පිංවතුන්ලාට. එම නිසා ගිහි බැඳීම් තුළ සිටිමින්ම නුවණින් මේ කාරණා ජීවිතයට එකතුකරගන්න ඕන. ගෞරවණීය ස්‌වාමීන් වහන්සේලාටත් තවම විදර්ශනා නුවණ මෝදුකරගැනීමට ශක්‌තිය හීනනම් අපි උපක්‍රමශීලී වියයුතුයි. පිංවත් ඔබ උපක්‍රමශීලී නොවුණොත්, මට පාරමී මදිය කියන මුලාව තුළට කොටුවෙන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන්ට පිං අවශ්‍යයි. මනුෂ්‍යයාටත් පිං අවශ්‍යයි. පැවිද්දන්ටත් පිං අවශ්‍යයි කියලා.

මෙතැනදී පැවිදි පක්‍ෂය පින මතුකරගත යුත්තේ තමන්ට පැවරිලා තිබෙන වත තුළින්. එසේ නොවුණහොත් ස්‌වාමීන් වහන්සේලා ගිහි පිංවතුන් සම්බන්ධ කරගෙන පිංකම් සිදුකිරීමට ගිහිල්ලා උතුම් ශීලයට හානි පමුණුවා ගන්නවා. ශිල්පද දුර්වල කරගෙන පිංකම් සිදුකරගෙන වැඩක්‌ නැහැ. එය අනුවණ ක්‍රියාවක්‌. ‘වත’ තුළින්මයි පැවිදි පක්‍ෂය පින මතු කරගත යුත්තේ. වැඩහිටි ස්‌වාමීන් වහන්සේලාට උපස්‌ථානය කිරීමෙන් ශිල්පද ආරක්‍ෂා කරගෙන ජීවත්වෙමින් භික්‍ෂු සමාජය තුළ සමගි සම්පන්නව ජීවත්වෙමින් කුසල්ශක්‌තිය මෝදුකරගැනීමට හැකියාව තිබෙනවා. දාන ශාලාව වැසිකිළි කැසිකිළි පිරිසිදු කිරීම, මළු පෙත් ඇමදීම ආදිය තුළින් අපි තුළ කුසල් මූලයන් ශක්‌තිමත් කරදෙනවා. තමන්ට වඩා බාල ස්‌වාමීන් වහන්සේලාට ප්‍රිය වචනයෙන් කථාකරන්න. අනුන් සතුටුවෙනවා දැකලා එම සතුටින් ඔබේ ආධ්‍යාත්මය ශක්‌තිමත් කරගන්න. දායක පක්‍ෂයට ප්‍රිය වචනයෙන් කථා කරන්න. නමුත් දායක පක්‍ෂයේ ප්‍රතිචාරයන්ට බැඳී යන්න නිරතුරුව ශීලානුස්‌සතිය වඩමින් ජීවත්වෙන්න. මොනම හේතුවක්‌ නිසාවත් විදර්ශනා නුවණ ඇතිකරගැනීමට ශක්‌තියක්‌ වෙන මේ කුසල් ශක්‌තිය දුර්වල කරගන්න එපා. මම කුසලයෙන් පරිපුර්ණ යයි තමා තුළ විශ්වාසයක්‌ ඇතිවෙන තැනට සිතුවිලි ශක්‌තිමත් කරගන්න.

මෙතැනදී අමුතුවෙන් ඔබට කළයුතු දෙයක්‌ නැහැ. ඔබ තුළ සැඟවිලා තිබෙන දෙයයි ඔබ මතුකර ගතයුත්තේ. පිංවත් ඔබ දාන ශාලාවේ පඩික්‌කමක්‌ සේදීමට අකැමැතිනම්, ආරාමයේ වැසිකිළියක්‌ පිරිසිදුකිරීමට අකැමැතිනම්, රෝගී භික්‍ෂුවකට උපස්‌ථාන කිරීමට අකැමැතිනම් විදර්ශනාව ගැන කථාකිරීමට අප කලබල වියයුතු නැත. තව ගොඩක්‌ කුසල අපේ ආධ්‍යාත්මය තුළ තිබෙනවා පිරිසිදු නොවී. කුසලය තුළින්මයි මේ අපිරිසිදු කසළ සෝදාහැරිය යුත්තේ.

ඔබ මේ කාරණාවන් මේ මොහොතේ හදුනාගතහොත් මේ මොහොත ඔබේ ජීවිතය ලස්‌සනම මොහොත වෙනවා. ඔබ ශක්‌තිමත් බවට ඔබ තුළින්ම විශ්වාසය ඇතිවෙනවා. හීනමානය ඔබ තුළින් දුරුවෙලා යනවා. ජීවිතයට අයෝමය ධර්ම ශක්‌තියක්‌ මතුවෙනවා. මේ විශ්වාසය ඇතිවෙන මොහොතේම ඔබ තුළ විදර්ශනා නුවණ ඇතිවෙලා. මොකද ඔබ මේ විශ්වාසය ඇතිකරගන්නේ සංසාර බිය දකිමින්.