දන්දීමට අකමැති පිංවතුන් සමාජය තුළ කොතෙක්‌ ජීවත්වෙනවද. ඒ අය දන්නේ නැහැ, පූජාකරන දානය අයිතිවෙන්නේ තමන්ටමය කියලා. මේ ගෞතම බුද්ධ ශාසනයේ ඇසිදිසි දානය පූජාකරගත්තේ කොසොල් රජතුමාගේ බිරිඳ මල්ලිකා බිසවයි. රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර මල්ලිකා දේවිය ඇසිදිසි දානය පූජා කිරීමෙන් අනතුරුව, කොසොල් රජතුමාගේ ‘කාල’ කියන ඇමතිවරයා, මෙම ඇසිදිසි දානය මහා මුදල් නාස්‌තියක්‌ය කියලා දුක්‌ වුණා. විවේචනය කළා. මෙය දැනගත්ත බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අනුවනයා දන්දීම ගරහනවා, දන්දීමට අකමැතියි, අනුන් දුන් දානයන් නිසා අකුසල් රැස්‌කර ගන්නවා, නමුත් නුවනැත්තා අනුන් පූජා කළ දානයෙන් පිං අනුමෝදන් වෙනවා කියලා.

වේලාම කියන තරුණයා වෙලා බෝධිසත්වයෝ කෝටිපති පවුලක උපත ලබනවා. වේලාම තරුණයා කල්පනා කරනවා, ‘මේ කෝටි ගණන් දේපල, ඉඩකඩම්, සියල්ලම හම්බ කළේ මේ ආච්චි, සීයා. ඒ දෙදෙනා මහා දුක්‌ විඳලා මේ දේපල හම්බ කරලා හිස්‌ අතින් මැරිලා ගියා. ඊළඟට මේ දේපල තව ශක්‌තිමත් කළේ මගේ අම්මා, තාත්තා. ඒ දෙදෙනාත් දුක්‌ විඳලා මේවා හම්බ කරලා හිස්‌ අතින් මැරිලා ගියා. මෙම දේපල රැස්‌කරපු අය හිස්‌ අතින් මියගියත්, මම මේ දේපල සියල්ල අරගෙන යනවා කියලා. එසේ සිතලා සියලුම වස්‌තුව දන් දුන්නා. සියලු වස්‌තුව දන් දුන්නට පස්‌සේ වේලාම තරුණයා සාදුකාර දුන්නා. ‘මම මේ සියල්ල අරගෙන ගියා’ කියලා. බෝධිසත්වයන් ඒ පිරුවාවූ දාන පාරමිතාවේ ශක්‌තියයි, වර්තමානයෙත් ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී නාමය ලබන්නේ. අපි අද දාන වස්‌තුවක්‌ සකස්‌කර ගතහොත් එහි අග්‍ර කොටස පූජා කරන්නේ බුදුරජාණන්වහන්සේටයි. ඒ අග්‍රවූ ලැබීම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී නාමය වර්තමානයේ ලබන්නේ අතීත දාන පාරමිතාවේ ශක්‌තිය නිසාමයි. අනුනට, දානමය චේතනාවෙන් දුන් දෙයමයි අපි අරගෙන යන්නේ. රැස්‌කරපු දෙය අපේම දුකට හේතුවෙනවා. කුසට අහරක්‌ නැතිව, ඉනට වස්‌ත්‍රයක්‌ නැතිව දුක්‌ විඳින මනුෂ්‍යයෙක්‌ දකිනකොට, කුසට අහරක්‌ නැතිව දුක්‌ විඳින තිරිසන් සතෙක්‌ දකිනකොට, එම මනුෂ්‍යයා තුළින්, තිරිසන් සතා තුළින්, අතීත සංසාරයේ දන් නොදුන් ලෝභී මනුෂ්‍යයෙක්‌වම දකින්න. දානයෙන් තොර ජීවිතය විසින් සකස්‌කර දෙන සංසාර බිය දකින්න.

භික්‍ෂුවට මේ මොහොතේ මතකයට එනවා භික්‍ෂුවගේ ආච්චි සීයාගේ පරම්පරාව. මගේ ආච්චි මියගියේ මගේ ඔඩොක්‌කුව මත. ආච්චි සීයාගේ පරම්පරාව, ඒ අය මියගියාට පස්‌සේ අම්මා තාත්තගේ පරම්පරාව… දැන් ඒ අය මියගිහින් ඉවරයි. එක පරම්පරාවක්‌ ඉවරවෙනකොට, අලුත් පරම්පරාවක්‌ බිහිවෙනවා. බිහිවෙන පරම්පරාව හිතන්නේ නැහැ හිටපු පරම්පරාවට මොකද වුනේ කියලා. තමන්ගේ අලුත් පරම්පරාවක්‌ හදන්නයි උත්සහ ගන්නේ. දෙමව්පියන් දරුවන්ට මෝහයම උගන්නලා දුකෙන් දුකට යනවා.

ඉහත කාරණය තුළ ඔබට මතුකොට ගැනීමට ගැඹුරු කමටහනක්‌ තිබෙනවා. පිංවත් ඔබට මතක තිබෙනවානේ පිංවත් ඔබගේ ආච්චි සීයාගේ පරම්පරාව. අම්මගේ, තාත්තගේ පරම්පරාව. ඒ අයගේ සහෝදර සහෝදරියන්ගේ ඥාතීන්… දැන් ඒ අය හුඟ දෙනෙක්‌ මැරිලා. ඔබ මනසින් චිත්‍රයක්‌ මවාගන්න ඒ අය ගැන. මරණින් මතු ඒ ඥාතීන්ට වෙච්චි දෙය ගැන, චිත්‍රයක්‌ මනසින් මවාගන්න. දැන් එම චිත්‍රයේ දෙවියන්, දිව්‍යාංගනාවන්. මනුෂ්‍යයින්, ප්‍රේතයින්, ප්‍රේතියන්, තිරිසන් සතුන් ගොඩක්‌ ඔබත් සමග එක පේළියට සිටීවි. ඔබ මේ කණ්‌ඩායම් ජායාරූපය නිරතුරුවම නුවනින් දකින්න. සංසාර බිය ඇතිකොටගන්න.

භික්‍ෂුව ළඟ තම මියගිය ඥාතීන්ගේ කණ්‌ඩායම් ජායාරූපයක්‌ තිබෙනවා. එහි දෙවියන්, මනුෂ්‍යයන් හුඟක්‌ම අඩුයි. මෙවැනි කණ්‌ඩායම් ජායාරූපයක්‌ හදාගත්තා නම් , ඔහු සක්‌කාය දිට්‌ඨය හීන කෙනෙක්‌ වෙන්න ඕනේ. සක්‌කාය දිට්‌ඨය තියුණු කෙනෙක්‌ට මෙවැනි ජායාරූපයක්‌ ගැන හිතන්නවත් බැහැ. කොසොල් රජතුමාගේ බිසව ඇසිදිසි දානය පූජාකොටගෙනත්, අවසානයේ තිරිසන් කුලකයකට මොහොතකට හෝ වැටුනාය කියන කාරණය නුවනින් දකින්න.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත්වුණු ජානුසෝති කියන බමුණා, බුදුරජාණන්වහන්සේට දානයට නිවසට ආරාධනා කරනවා. බමුණා මේ දානය පූජා කළේ මියගිය ඥාතීන්ගේ සැපය උදෙසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මියගිය ඥාතීන් කාය, වචී, මනෝ කර්මයන් සිදුකරගෙන ප්‍රේත ලෝකයේ පරදත්තරූපජීවී ප්‍රේතයන් වශයෙන් ඉපදෙනවා කියලා. ඒ අයට පමණයි පිං ගන්න පුළුවන්ය කියලා. මෙහෙම බුදුරජාණන්වහන්සේ දේශනා කරනකොට ජානුසෝති බ්‍රහ්මයාට ලොකු මදිපුංචිකමක්‌ සේ එය දැනුණා. ජානුසෝති බ්‍රාහ්මනයා බුදුරජාණන්වහන්සේට කියනවා, ‘මගේ ඥාතීන් කව්රුවත් ප්‍රේත ලෝකවල උපදින්නේ නැහැ කියලා. ජානුසෝති බමුණාගේ දැඩි සක්‌කාය දිට්‌ඨය නිසාම, ඔහු පිළිගන්නේ නැහැ තම ඥාතීන් මැරිලා ප්‍රේත ලෝකවල සිටිනවාය කියන කාරණය. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතයේ ඔබේ ඥාතීන් ප්‍රේත ලෝකවල, නැතිනම් ඊට ඉහත ආත්මභවයේ ඥාති ප්‍රේතයින් මේ පින අනුමෝදන් වෙයි කියලා. ඒ වෙලාවේ ජානුසෝති බ්‍රාහ්මනයා කියනවා ‘ඉන් ඉහත ආත්මයේ මගේ ඥාතීනුත් ප්‍රේත ලෝකවල ඉපදිලා නැහැ කියලා. ඒ අවස්‌ථාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා එය කවදාවත් වෙන්න පුළුවන් දෙයක්‌ නොවෙයි, අනන්තවත් ආත්මබවවල ඥාතීන් වූ ප්‍රේතයන් අපේ පසුපස පිං බලාපොරොත්තුවෙන් සිටිනවා කියලා. එවිට ජානුසෝති බ්‍රාහ්මනයා කියනවා කිසිම ආත්මභාවයක මගේ ඥාතීන් ප්‍රේත ලෝකවල ඉපදිලා නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ලෝකයේ එහෙම දෙයක්‌ වෙන්න බැහැ. නමුත් එහෙම වුණාය කියමුකෝ, එහෙම වුණත් ඒ පින ජීවත්ව සිටින ඔබලාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය පිණිස හේතුවේවි කියලා. බමුණා තුළ තිබූ දැඩි සක්‌කාය දිට්‌ඨය නිසාම, තමනුත් තම මියගිය ඥාතීනුත් අසරණභාවයට පත්කොටගත් ආකාරය නුවනින් දකිමින්, සක්‌කාය දිට්‌ඨය අපිට සකස්‌කොට දෙන සංසාර බිය ගැන නුවනින් මෙනෙහි කරන්න.