බෞද්ධයාගේ අත්පොත

May 04, 2014 Comments Off on බෞද්ධයාගේ අත්පොත by

මතු ථල ලබනු සඳහා කරන සෑම දෙයකින්ම උසස් ලෙස ඵල ලැබිය හැකි වන්නේ ඒ ඒ දෙය ගැන මනා දැනුමක් ඇතිව කරන තැනැත්තාටය. කරන දෙය ගැන හොඳ දැනුමක් නැතිව වැඩ කරන්නහුගේ වියදම හා මහන්සිය බොහෝ සෙයින් නිෂ්ඵල වේ. එසේ කරන දෙයකින් ඵලයක් ලැබෙතත් ලැබෙන්නේ වියදමට මහන්සියට නොසරිලන අල්ප ඵලයෙකි. වරදවා කරන ප‍්‍රථිකාරයෙන් සමහර විට රෝගියා මිය යන්නාක් මෙන් නොදැන කරන වැඩ වලින් සමහර විට විපතක් ද සිදු වේ. බුද්ධාගම ඇදහීම වනාහී උසස් ලෞකික ලෝකෝත්තර ඵල ලබනු සඳහා කරන්නකි. ආගම ඇදහීමෙන් ලැබිය හැකි ඒ උසස් ඵල ආගම ගැන දැනුම නැතිව නොමනා ලෙස ආගම අදහන බෞද්ධයාට නොලැබී යන්නේය.

මෙකල වෙසෙන බෞද්ධයන්ගෙන් බොහෝ දෙනෙක්ම සෑහෙන පමණට ආගම ධර්මය නොදන්නේය. එබැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත‍්‍රය ඇසුරු කිරීමෙන්ද නොයෙක් විට පව් සිදු කර ගනී. ලෙහෙසියෙන් කල හැකිව තිබෙන උසස් පින්කම් ලඝු කොට සිතා නොකර හරිති. සමහර විට පිනය යන හැඟීමෙන් පව් කරති. පවය යව හැඟීමෙන් ඇතැම් පින්කම් නොකර හරිති. ඇතැම් බරපතල පව් කම්ද ලඝු කොට සිතා කරති. බොහෝ වියදම් කොට බොහෝ වෙහෙසී දුබල පිනක් සිදු වන ලෙස දන් දෙති. නොමනා කොට සිල් රකිති. මහන්සිය නිෂ්ඵල වන සැටියට භාවනා කරති. මනා කොට ආගම නොදැනීම නිසා සමහර කරුණු වලදී සමහර විට පැවිද්දන්ද නොමග යනු දක්නා ලැබේ.

ආගම සම්බන්ධ කරුණු වලදී බොහෝ බෞද්ධයන් නොයෙක් විට වරදවා ක‍්‍රියා කරනු දුටු අපට ඔවුන්ගේ ප‍්‍රයෝජනය පිණිස බෞද්ධයාගේ අත්පොත නමැති මේ පොත සම්පාදනය කිරීමේ අදහස අවුරුදු පසළොසකටත් ඉහතදී ඇති විය. මෙහි බෞද්ධයකුට තමාගේ ආගමික කටයුතු මහත්ඵල වන පරිද්දෙන් කරගත හැකි වීමට හා බෞද්ධ ප‍්‍රථිපත්ති මනා කොට පිරිය හැකි වීමටත් අවශ්‍යයෙන් දත යුතු නිතර දැන සිටිය යුතු බොහෝ කරුණු කාහටත් පහුසුවෙන් තේරුම් ගත හැකි ලිහිල් බසින් හැකිතාක් නිරවුල් කොට විස්තර කර ඇත්තේය. ඒ කරුණු මෙහි පටුන කියවා දත හැකිය. බෞද්ධයන් විසින් නිතර භාවිතා කර යුතු පොතක් බැවින් මෙයට බෞද්ධයාගේ අත්පොත යන නම තබන ලදි.

මෙබඳු පොතකට වන්දනා ගාථා හා පිරිත්ද ඇතුලත් විය යුතු නමුත් ඒවා ඇති පොත් රටේ සුලභ බැවින් මෙයට ඒවා ඇතුළත් නොකරන ලදි.

සකල සත්වයෝ සුවපත් වෙත්වා!

මෙයට – ශාසනස්ථිකාමී,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet