බෝධිපාක්‍ෂික ධර්ම විස්තරය

Feb 05, 2015 Comments Off on බෝධිපාක්‍ෂික ධර්ම විස්තරය by

ලෝකයා විසින් අවිද්‍යාව නිසා සත්ත්ව පුද්ගල ආත්මාදී වශයෙන් සලකා ඇලුම් කරන මේ පඤ්චස්කන්ධය වනාහි මන්දාස්වාදයක් ඇති මහා දුඃඛස්කන්ධයෙකි. මහා ආදීනව රාශියකි. නො දිරා පවත්වා ගැනීම සඳහා ආහාර – පාන බෙහෙත් ආදියෙන් කෙසේ පෝෂණය කලත් පඤ්චස්කන්ධය නොනැවතීම දිර දිරා යන්නේය. එයින් ලේ මස් නහර ඉල්පී, සම රැලි ගැසී, දුර්වර්ණ වී, කුදු ගැසී, කෙස් රැවුල් පැසී, දත් වැටී, විරූපත්වයට පැමිණෙන්නේය. සිහි නුවණ හීන වන්නේය. ඇස් නොපෙනී යන්නේය. කන් නොඇසී යන්නේය. ගඳ දැනීම, රස දැනීම හීන වන්නේය. දුබල වී ශරීරය වෙවුලන්න පටන් ගන්නේය. ඇස්වලින් කබ කදුළු ගලන්නට පටන් ගන්නේය. ශරීරයෙන් දුඟද හමන්නට පටන් ගන්නේය.

ක්‍රමයෙන් දිර දිරා ගොස් ඒ කාලය පැමිණි පසු කලින් මැණිකය, රන්කඳය සුරංගනාවය කියා ඒ ඒ අය වැළඳගත් සිපගත් ඒ ශරීරයට ළංවන්නටවත් කවුරුවත් කැමති නොවන්නාහ. දක්නටවත් කැමති නො වන්නාහ. කලින් තමාත් අන්‍යයනුත් ඇලුම් කරගෙන සිටි රූප කය එබඳු තත්ත්වයකට පැමිණිම නම් මහා දුකෙකි. මෙය ජරා දුක ඇතිවීමේ හේතුව කුමක්ද එය ඇතිකරන සතුරා කවරෙක්ද සංස්කාරයන්ගෙන් අන්‍ය වූ ජරාව ඇතිකරන හේතුවක් නැත. එය ඇතිකරන අන් සතුරෙක්ද නැත. දිරීම සංස්කාරයන්ගේ ස්වභාවයකි. සංස්කාරයක් ඇතිවුවහොත් එය නොදිරා නොනවත්නේය. ජරාව ඇතිවීමේ හේතුවත්, ජරාව ඇතිකරන සතුරාත්, මේ පඤ්චස්කන්ධයමය. දිරන බැවිනුත්, දිරීම ඇති කරදෙන සතුරාවන බැවිනුත්, පඤ්චස්කන්ධය ඇලුම්කල යුත්තක් නො ව බිය විය යුත්තකි.

මේ ශරීරය අනේක ප්‍රකාර රෝගයන්ගේ උප්පත්ති ස්ථානයකි. කොතෙක් පරෙස්සම් කළත් කෙසේ පරෙස්සම් වුවත්, රෝගයෙන් නොමිදිය හැකිය. මේ ශරීරයෙහි වෙර ඇති මිනිසුන් දෙදෙනකු විසින් කඹයක් පටලවා තද කරන කලෙක මෙන්ද, මිටියකින් ගසන කලෙක – හුලකින් අණින කලෙක මෙන්ද දරුණු වේදනා ඇතිවන ශීර්ෂ රෝගයෝ හටගනිති. හුලක් ගසා කරකවන කලෙක මෙන් මහත් වේදනා ඇතිකරන කර්ණ යෝගයෝද, දන්ත රෝගයෝද හට ගැනෙති. මිරිස් කුඩු ලූ කලෙක, වීදුරු කුඩු ලූ කලෙක මෙන් වේදනා ඇතිවන නේත්‍ර රෝගයෝ හටගැනෙති. කුණු පොල් ගෙඩියෙකින් වෑස්සෙන කුණු දිය සෙයින් දුඟඳ සොටු, ලේ සැරව ගලන නාශිකා රෝගයෝද හට ගැනෙති. පිහියා වලින් කපන කලෙක මෙන්ද, හුල් වලින් අණින කලෙක මෙන්ද, ගින්නෙන් දවන කලෙක මෙන්ද, වේදනා ඇති කරන රෝගයෝ පපුවේ, බඩේ හටගනිති.

ශාරීරික සප්තධාතූන් කෙමෙන් ක්ෂය වී යාම ඇති, බොහෝ කල් දුක් විඳ දිවි කෙලවර කරන්නට සිදුවන ක්ෂය රෝගය ය, කණ් නාස් ඇඟිලි – අත්වලින් පටන් ගෙන ක්ර මයෙන් ශරීරය දිරා කුණු වී ක්රෝමයෙන් කැඩි කැඩී යාම ඇති, බොහෝ කල් දුක් විඳින්නට සිදුවන ලාදුරු රෝගය ය, එසේම බොහෝ කල් දුක් විඳින්නට සිදුවන වණ, කුෂ්ට, පිළිකා රෝගය ය, කයෙන් අඩක් පණ නැතිව බොහෝ කල් දුක් විඳින්නට වන පක්ෂගාත රෝගය ය, සිහිසන් නැති වී තැන තැන වැටෙන අපස්මාර රෝගය ය යනාදී බොහෝ රෝගයෝ ද මේ ශරීරයේ හටගැනෙති. ලෝකයෙහි රෝග හේතු සැටියට සලකන කරුණු ඇත ද, ජලයෙහි ලෑමෙන් කලුගල මැටි කැටය සේ දිය නොවන්නාක් මෙන්, රෝග හටගන්නා ස්වභාවයක් ශරීරයෙහි නැති නම් රෝග හේතූන් සැටියට සලකන දේවල් නිසා ශරීරයෙහි රෝගයෝ නො හටගන්නාහ. රෝග හටගන්නේ ශරීරයේ ඇති රෝග හටගන්නා ස්වභාවය නිසාය. එබැවින් සත්‍ය වූ රෝග හේතුවත් රූපස්කන්ධය ම මිස අනිකක් නොවන බවත්, රෝග උපදවන සතුරාත් රූපස්කන්ධයම මිස අනෙකකු නොවන බවත් කිය යුතුය.

රෝගයැ යි කියනුයේ ද රූපස්කන්ධ සංඛ්‍යාත මේ ශරීරයට අයත් ඇතැම් රූපයන්ට මය. ව්‍යාධි දුඃඛයේ සත්‍ය හේතුවත් රූපස්කන්ධ සංඛ්‍යාත ශරීරයමය. රෝග දුඃඛය ගෙන දෙන සතුරාත් මේ ශරීරය මය. ශරීරය ම රෝගය වන බැවිනුත්, රෝග හේතුව වන බැවිනුත්, රෝග කාරක සතුරා වන බැවිනුත්, රූපස්කන්ධ සංඛ්‍යාත මේ ශරීරය ඇලුම් කල යුත්තක් නොවන බිය විය යුත්තකි.

උපන් සංස්කාරයෝ දිරීමට පැමිණීමෙන් ම නවත්නාහු නොවෙති. දිරූ පසු ඒවා බිඳී යති. බිඳී යාමය යි කියනුයේ නැතිවීමය. සත්ත්වයාට ජීවිතාන්තය දක්වාම නැවතීමක් නැතිව දිනපතා ආහාරපානාදියෙන් නැවත නැවත ශරීරය පෝෂණය කරන්නට සිදුවී ඇත්තේ, ආහාරපානාදියෙන් ඇතිවුනු රූප දිර දිරා බිඳී යන බැවිනි. සැපය ඇති කරගැනීමට, ප්‍රීතිය ඇතිකර ගැනීමට, නැවත නැවත මහන්සි වෙමින් වියදම් කරමින් ක්‍රියා කරන්නට සිදු වී ඇත්තේද ලබා ගත් ප්‍රීතිය සැනෙකින් ජරාපත් වී බිඳී යන බැවිනි. වෙහෙසී වියදම් කොට ඇති කරගන්නා රූප බිඳී බිඳී යාමත්, ප්‍රීතිය බිඳී බිඳී යාමත් මහා දුඃඛයකි. එසේ සංස්කාරයන් ගේ බිඳී බිඳී යාම ඇති බැවින් සත්ත්වයාට එක් භවයක හැම කල්හි ජීවත් වන්නටද නොලැබෙන්නේ ය. ජීවත්වීම සඳහා නොයෙක් ආකාරයෙන් උත්සාහ කරද්දීම ඒ සියල්ල නිශ්ඵල වී සත්ත්වයාට මරණයට පැමිණෙන්නටද සිදුවන්නේය. ජීවිතයට නොදෙවෙනිකොට ඇලුම් කරන ධන ධාන්‍ය – පුත්‍ර ද භාර්ය්‍යාදී ප්‍රිය වස්තූන්ගෙන් හා ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වන්නට ද සිදු වන්නේය. ප්‍රිය විප්පයෝගයද සත්ත්වයාට මහා දුඃඛයකි. පඤ්චස්කන්ධය දිරන-බිඳෙන-මැරෙන එකක් වී තිබීමෙන් දුකින් මිදීම පිණිසත්, සැප ලැබීම පිණිසත්, සත්ත්වයා හට නොයෙක් විට නොයෙක් පවුකම්ද කරන්නට සිදු වේ. ඒවායින් සත්ත්වයාට මරණින් මතු අපාගත වන්නට සිදු වේ. එය සියල්ලටම මහත් වූ දුකය. මරණයේ හේතු සැටියට සලකන නොයෙක් කරුණු ඇතත් පඤ්චස්කන්ධයෙහි මැරෙන ස්වභාවය නැතිනම් කිසිම හේතුවකට, කිසිම සතුරකුට මරණය සිදුකල නොහැකිය. මැරෙන ස්වභාවය පඤ්චස්කන්ධයෙහි ඇති බැවින් කිසිවකුට කවර බලයකින්වත් මරණයෙන් නොමිදිය හැකිය. සත්ත්වයනට මරණ දුක්ඛය ඇතිවීමේ සත්යබ වූ හේතුව අනිකක් නොව පඤ්චස්කන්ධයමය. මරණ දුඃඛ ඇතිකරදෙන සතුරාත් අනෙකකු නොව පඤ්චස්කන්ධයමය. මැරෙන්නේත් පඤ්චස්කන්ධයමය.

නිතර වෙනස්වන දිරන-ගෙවෙන-බිඳෙන-මැරෙන මේ පඤ්චස්කන්ධය මහා දුඃඛයක් වන බැවින් සියල්ලෝම දුකින් මිදීමත්, සැපයත් බලාපොරොත්තු වෙති. දුකින් මිදීමටත්, සැපය ලැබීමටත්, මං සොයති. උත්සාහ කරති. දුකින් මිදීමට හා සැපය ලැබීමට සාමාන්‍ය ලෝකයා විසින් ගෙන තිබෙන මගක්ද ඇත්තේය. බුදුන් වහන්සේ විසින් ගන්නා ලද මගක්ද ඇත්තේය. ඒ දෙමගින් ලෝකයා විසින් ගෙන තිබෙන මග නම් වෙනස්වන දිරන-ගෙවෙන-බිඳෙන-මැරෙන-ස්වභාවය ඇති පඤ්චස්කන්ධයට පිළියම් කිරීම හා එසේ නොවනු පිණිස පඤ්චස්කන්ධය ආරක්ෂා කිරීමය. නොදිරන-නොබිඳෙන-නොමැරෙන පඤ්චස්කන්ධයන් හෝ ලබා ගැනීමය.බුදුරජාණන් වහන්සේ ගත් මාර්ගය දිරෙන්-බිඳෙන-මැරෙන-ස්වභාවය ඇති පඤ්චස්කන්ධයෙන් මිඳී සංස්කාර රහිත වූ නිවන ලබා ගැනීමය.

පඤ්චස්කන්ධය නොදිරන, නොගෙවන, ගිලන් නොවන, නොබිඳෙන, නොමැරෙන, ස්වභාවයට පැමිණ වීම සිදු නොකල හැකි වැඩකි. අතීතයෙහි කිසිවකුට කිසිම බලයකින් එය නොකල හැකිවිය. අනාගතයේදීද කිසිවකුට කිසිම බලයකින් එය නොකල හැකි වන්නේය. ඒ සඳහා කරන උත්සාහයක් වේ නම් එය සම්පූර්ණයෙන්ම නිරර්ථක වන්නේය. සියල්ල දත් බුදුරජාණන් වහන්සේ ඒ බව දැන, පොදු ජනයා ගෙන සිටින ඒ මාර්ග හළ සේක. පඤ්චස්කන්ධයෙන් මිඳී නිවනට පැමිණ දුකින් මිදීමේ නොවරදින මග තථාගතයන් වහන්සේ ගත් සේක. දුකින් මිදෙනු කැමති පින්වතුන් විසින් තථාගතයන් වහන්සේගේ මාර්ගය ගෙන නිස්සාර වූ පඤ්චස්කන්ධය නිත්‍ය-ශුභ-සුඛ ස්වභාවයට පැමිණ වීමට වෙහෙසීම් වශයෙන් නිෂ්ඵල ව්‍යායාමයක් නොකොට පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන් මිදී, පරම සුඛ ස්වභාවය වූ නිවනට පැමිණීම සඳහා තමන්ගේ සම්පූර්ණ උත්සාහය යෙදිය යුතුය.

පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛයෙන් මිදී අපාය දුඃඛයෙන් මිදී නිවන් සැපය ලැබීම සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයාට දක්වා ඇති මාර්ගය බෝධිපාක්ෂික ධර්ම වැඩීමය. අතීතයේ යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම දෙනම නිවන් දුටුවේ බෝධිපාක්ෂික ධර්ම මාර්ගයෙන් මය. අනාගතයේ නිවන් දක්නවුන් එය සිදු කරගන්නේත් ඒ මාර්ගයෙන්මය. එය හැර නිවන තවත් මගක් නැත්තේය. එබැවින් නිවන් දකිනු කැමැත්තෝ බෝධිපාක්ෂික ධර්ම මැනවින් උගෙන තම තමන් ගේ සන්තානවල එය ධර්ම වර්ධනය කෙරෙත්වා!!

මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට – නිවන් සෙවීමට නැමුනු සිත් එවුන්ගේ සංඛ්‍යාව තරමක් ඉහල නැඟ තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිළිබඳ පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්ර්මයක් සැලසීම වශයෙන් අප විසින් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග‍්‍රන්ථය සම්පාදණය කරන ලදී. සිංහල කියවිය හැකි කවරකුට වුවත් මෙම පොත කියවීමෙන් වැඩි ආයාශයක් නැතිව බෝධි පාක්ෂික ධර්ම සත්තිස පිළිබඳ නිවැරදි දැනුමක් ඇතිකර ගත හැකිය.

කියවන්නා වෙහෙසට පත් කරවන, කාරණය තවත් අවුල් කරන, පද විග්‍රහ – ධාතු ප්‍රත්‍ය, විභාග – පද සිද්ධි ආදිය මේ පොතට ඇතුළත් කර නැත. මෙහි බෝධි පාක්ෂික ධර්ම සත්තිස වෙන වෙනම ලිහිල් සිංහල බසින් හඳුන්වා, ඒවයේ විශේෂ විභාගත්, ඒවා වැඩිය යුතු ආකාරයත්, ඒ ඒ ධර්ම වැඩීමෙන් වන ප්‍ර යෝජන විස්තර කර ඇත.

ධර්මය ලෙව්හි බැබලේවා!

මෙයට – ශාසනස්ථිකාමී,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet