බුද්ධ නීති සංග‍්‍රහය

Feb 25, 2015 Comments Off on බුද්ධ නීති සංග‍්‍රහය by

ලෝකය දුකින් පිරුණු තැනකි. දුක් අඩු කර ගත් අය මිස සර්වාකාරයෙන් දුකින් මිදුණු පුද්ගලයෙක් ලොව කොතැනකවත් නැත. මිනිසා කොහි සැඟවී සිටියත් කෙසේ පරෙස්සම් වී සිටියත් දුක් කරදර ඔහු සොයා ගෙන ඔහු කරා එන්නේ ය. මිනිසා නො පතන මිනිසාට එපා වූ දුක් කරදර මෙසේ මිනිසා සොයා එන නුමුත් මිනිසා පතන සොයන සම්පත්තිය එසේ ඔහු කරා නොඑන්නේ ය. එය ඔහුට පෙනි පෙනී දුවන්නේ ය. අමාරුවෙන් අල්ලා ගත්තේද නොසිට පළා යන්නේ ය. එය ලෝකයේ ස්වභාවය ය. එබඳු ලෝකයක උපන්නා වූ මිනිසාට පැමිණි දුක් ඉක්ම වීමය, පැමිණිය හැකි දුක් වළක්වා ගැනීම ය, නො ලැබූ සම්පත් ලබා ගැනීම ය, ලැබූ සම්පත් නො නැසෙන සේ පවත්වා ගැනීම ය, මරණින් පසු අපාගත නොවී සුගතිගාමී වීමය යන කරුණු පස සිදු කර ගැනීම ඉතා දුෂ්කරය. එය සිදු කර ගත හැකි වීමට බොහෝ නුවණ තිබිය යුතුය. නුවණ මද තැනැත්තා දෙලොවින් ම පිරිහෙනේ ය. මෙලොව පමණක් දක්නා තැනැත්තා පරලොවින් පිරිහෙන්නේ ය. මිනිසකුට ඒ කරුණු පස සිදු කර ගැනීමට දත යුතු කරුණු බොහෝ ඇත්තේ ය, පිළිපැදිය යුතු උපදෙස් ද බොහෝ ඇත්තේ ය, ඒවාට නීතිය යි කියනු ලැබේ.

උභයලෝකාර්ථය සිදු කර ගත හැකි වන්නේ නීතිය දත් තැනැත්තාට ය. ලොව යෙහෙන් වෙසෙනු කැමති සෑම දෙනා විසින් ම නීතිය උගත යුතුය. එබැවින් පෙර විසූ පඬිවරයෝ නීති ග‍්‍රන්ථ නිපදවූහ. අප රටේ පෙර කුල දරුවන්ට අක්ෂරාභ්‍යාසය කරවීමට ගත් පොත් පෙළට නවරත්නය, ව්‍යාසකාරය, හිතෝපදේශය, ප‍්‍රත්‍ය ශතකය යන පොත් ඇතුළු කර තිබෙන්නේ ද නීති ශාස්ත‍්‍රය සැම දෙනා විසින්ම උගත යුතු නිසාය.

තථාගතයන් වහන්සේ විසින් ද නීතිය ප‍්‍රකාශ කරන ලද්දේ ය. අන් පඬිවරයන් ගේ නීති ග‍්‍රන්ථ වලද දුරුපදේශ ද නැත්තේ නොවේ. ලෝකයා විසින් අතිශයින් සම්භාවිත නීති ග‍්‍රන්ථයක් වූ හිතෝපදේශයේ ද දුරුපදේශ නැත්තේ නො වේ.

“චිතෞ පරිෂ්වජ්‍ය විචෙතනං පතිං
ප‍්‍රියා හා යා මුඤ්චති දෙහමාත්මනං
කෘත්වාපි පාපං ශතලක්ෂවමප්‍යසෞ
පතිං ගෘහිත්වා සුරලොකමාප්නුයාත්”

මේ හිතෝපදේශයේ දැක්වෙන එක උපදෙසකි. “යම් භාර්යාවක් මළ සැමියාගේ සිරුර දවන චිතකයට වැද හිමියා වැළදගෙන ගින්නෙන් දැවී මිය යා නම් ඕ තොමෝ සියක් ලක්ෂයක් පව් කළ තැනැත්තියක් වුවද හිමියා ගෙන සුරලොවට යන්නීය.” යනු එහි තේරුමයි. මෙය කෙතරම් දුරුපදේශයක්ද?

“පිතා වා යදි වා භ‍්‍රාතා – පුත්‍රො වා යදි වා සුහෘත්,
ප‍්‍රාණවිඡෙදකාරා රාඥා – හන්තව්‍ය භූතිමිච්ඡතා”

මෙයද හිතෝපදේශයේ උපදේශයකි. ‘පියා හෝ වේවා සහෝදරයා හෝ වේවා පුත‍්‍රයා හෝ වේවා මිත‍්‍රයා හෝ වේවා තමාගේ ප‍්‍රාණය නසන්නෝ රජු විසින් නැසිය යුත්තාහු ය’ යනු එහි තේරුමයි. පියා වුවද මරන්නට කරන මේ අනුශාසනය කොතරම් දුෂ්ට ද?

“ජයෙ ච ලභතෙ ලක්ෂ්මිං – මෘතෙනාපි සුරාඬ්ගනාමි
ක්ෂණවිධවංසිනඃ කායඃ – කා චින්තා මරණෙ රණෙ”

මෙයද හිතෝපදේශයේ දැක්වුණු ශ්ලෝකයකි. යුද කොට දිනන තැනැත්තේ ශ‍්‍රී දේවිය ලබන බව හා යුදයෙන් නැසෙන තැනැත්තේ දෙව් ලොවට යන බවද එයින් දැක්විණ. මේ උපදේශයට රැවටී යුද කොට කොතෙක් දෙනා මැරෙන්නට හා අපායට යන්නට ඇත්ද?

බුදුන් වහන්සේ විසින් ප‍්‍රකාශිත නීති අතර සදුපදේශම මිස එක දුරුපදේශයකුදු නැත. කෑම පීම, පා සේදීම, මුව සේදීම, නැම, මළමුත‍්‍ර පහ කිරීම, කෙළ ගැසීම ආදී සුළු කරුනුවල දී පිළිපැදිය යුතු උපදෙස් පවා බුදුන් වහන්සේ විසින් ප‍්‍රකාශ කර තිබේ. එ බැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිය යුතුය. සුපරිශුද්ධ බුද්ධ නිතිය උගෙන එයට අනුව පිළිපදින්නා වූ තැනැත්තා තමාගේ උභයලෝකාර්ථය ම සිදු කර ගන්නේය. පරාර්ථය ද සිදු කරන්නේය.

බුද්ධ නිතිය උභයලෝකාර්ථ සාධක වූ සකලාංග සම්පූර්ණ වූ සුපරිශුද්ධ නීතියක් වුවද, එය එක් තැන් නොවී පාලි සාහිත්‍යයේ විසිරී පවතින්නක් වී තිබෙන බැවින් සෑම දෙනාටම එයින් ප‍්‍රයෝජන නොගත හැකි වී තිබේ. එ බැවින් බෞද්ධයෝද සුපරිශුද්ධ බුද්ධ නීතිය තිබියදී, නීති ශාස්ත‍්‍රය උගෙනීමට හිතෝපදේශ, පඤ්චතන්ත‍්‍රාදී අබෞද්ධ ග‍්‍රන්ථ භාවිතයට පටන් ගත්හ. බෞද්ධයනට සුපරිශුද්ධ බුද්ධ නීතිය පහසුවෙන් උගෙනීමට ක‍්‍රමයක් නැති කමේ පාඩුව නොයෙක් වර අපට පෙනුණු බැවින් ‘බුද්ධ නීති සංග‍්‍රහය’ නම් මෙම ග‍්‍රන්ථය සම්පාදනය කිරීමට අප සිත නැමිණ. වාක්‍ය වශයෙන් හා ගාථා වශයෙන් දේශිත බොහෝ බුද්ධ නීති පාලි සාහිත්‍යයේ ඇත්තේය. ඒ සියල්ලම එක් තැන් කළ හොත් ඉතා විශාල ග‍්‍රන්ථයක් වන්නේය. ග‍්‍රන්ථය විශාල වීමත් පරිශීලනය කරන්නවුන්ට කරදරයක් බැවින් අප විසින් වාක්‍යය වශයෙන් දේශිත නීති නොගෙන ධාරණයට පහසු වූ ගාථා වශයෙන් දේශිත නීති පමණක් එක් කොට භාවසන්නයක්ද ලියා මේ ග‍්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙහි දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ජාතක පාළිය, ධම්ම පදය, උදානය, ඉතිවුත්තකය, සුත්ත නිපාතය යන පොත් වලින් උපුටා ගන්නා ලද ගාථා (550) පන්සිය පනසක් ඇත්තේය. මේ ග‍්‍රන්ථය භාවිත කරන තැනැත්තා හට සෑම කටයුත්තකදීම බුදුන් වහන්සේගේ උපදෙස් ලැබිය හැකි වනු ඇත. මෙය බෞද්ධයනට හස්තසාර වස්තුවක් වශයෙන් නිතර ළග තබා ගෙන කියවීමට සුදුසු ග‍්‍රන්ථයකි. ධර්ම කථිකයන් වහන්සේලාට හා අන්‍ය කථිකයන්ට ද ගුරුවරුන්ට ද ඉතා ප‍්‍රයෝජනවත් පොතකි. පිරිවෙන්වල හා පාසල්වල උගැන්වීමටද යෝග්‍ය පොතකි.

බුදුන් වහන්සේ විසින් එකල පැවති ව්‍යවහාර ක‍්‍රමයට අනුව දේශිත මේ ගාථා වල ව්‍යවහාර ක‍්‍රමය අපේ භාෂා ව්‍යවහාර ක‍්‍රමයට බොහෝ වෙනස්ය. එබැවින් කාරණය පහසුවෙන් තේරෙන සැටියට ඒවාට අපේ භාෂාවෙන් අර්ථ දීමට ඉතා දුෂ්කරය. ගාථාවට අයත් වචන වල සැටියටම අර්ථ දුන හොත් සමහර ගාථා වලින් කියන කාරණය තේරුම් ගැනීමට අපහසු වන්නේය. ගාථාවේ වචන ගැන නොසලකා කාරණය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන සැටියට ගාථාවට අර්ථ දුනහොත් අර්ථ වාක්‍යය, ගාථාවේ වචන වලට බොහෝ දුර වන්නේය. ඇතැම් ගාථා වලින් කියවෙන කාරණය පහසුවෙන් තේරුම් ගත හැකි වනුයේ ගාථාවට අයත් සමහර වචන අතහැර අර්ථ දුන් කල්හි ය. සමහර ගාථා වලින් කියවෙන කාරනය තේරුම් ගැනීමට පහසු වන්නේ ගාථාවේ නැති තවත් වචනත් එක් කොට එයට අර්ථ දුන් කල්හිය. මේ හැම කරුණක්ම සලකා බලා එක්තරා මධ්‍යම ක‍්‍රමයකට අප විසින් මේ භාවසන්නය සම්පාදනය කරන ලදී. සමහරවිට මෙහි සදොස් තැන් ද තිබිය හැකිය. මතු මුද්‍රණය කරන වාරයකදී සකස් කිරීම සදහා මෙහි යම්කිසි දෝෂස්ථානයක් දුට හොත් අපට දන්වන ලෙස උගතුන්ගෙන් ඉල්ලමි.

මීට – ලෝකශාසනාර්ථකාමී,
රේරුකානේ චන්දවිමල ස්ථවිර

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet