කෙලෙස් එක්දහස් පන්සියය

Feb 22, 2015 Comments Off on කෙලෙස් එක්දහස් පන්සියය by

ස්මරණශක්තිය ඥානශක්තිය ඉන්ද්‍රීයශක්තිය ශරීර ශක්තිය යන මේවා වයස් ගත වීමෙන් පිරිහෙන්නේය. ඒ ශක්තීන් පිරිහුණු මහලූ අයට පොත් ලිවීම අපහසුය. අමාරුවෙන් ලියුවද ඒවායේ ද දුබල බව සිටින්නේ ය. අපි ද දැන් මහලූ වියෙහි සිටින්නෙමු. දැන් අපගේ ශක්තිය බොහෝ හීන ය. එබැවින් පොත් ලිවීම නවත්වා විවේකීව කල් යැවීම ආරම්භ කළෙමු. එහෙත් අපගේ පොත් කියවීමෙන් සතුටට පත්, අප වෙත පැමිණෙන අපට මුණ ගැසෙන බොහෝ ගිහි පැවිදි පින්වත්හු පොත් ගැන ම කථා කළහ. බොහෝ දෙනා අලූත් පොත් ගැන විමසූහ. ඇතැම්හු දැනට ලියන පොත කුමක්දැයි ඇසූහ. ඇතැම්හු පොත් නැත්තේ ඇයිද? දැන් පොත් නො ලියන්නේ ඇයිදැයි ඇසූහ. ඇතැම්හු අලූත් පොත් ලිවීම සදහා නොයෙක් මාතෘකා ඉදිරිපත් කළහ. ඇතැම්හු තවත් පොත් ලියන ලෙස ඇරයුම් කළහ. ඇතැම්හු අපගේ පොත් කලක් නො නැසී පවතිනු පිණිස තල්පත්වල හෝ තඹපත්වල ලියා තැබීමටද යෝජනා කළහ. මේ කරුණු අනුව අප විසින් සම්පාදනය කරන දහම් පොත් කියවීමට ආශාව ඇති විශාල පිරිසක් ඇති බව පෙනී ගියෙන් නැවතත් පොතක් ලිවීමේ අදහස අපට ඇති විය.

‘කෙලෙස් එක් දහස් පන්සියය’ යනු නොයෙක් විට ධර්මකථිකයන් වහන්සේලාගේ මුවින් නිකුත්වන බෞද්ධයන්ට නිතර ඇසෙන වචනයෙකි. එහෙත් කෙලෙස් එක් දහස් පන්සියය දන්නවුන් දුලබ නිසි එය වචනමාත‍්‍රයක් වී ඇති බැවින් (කෙලෙස් එක් දහස් පන්සියය) ඒ ගැන පොතක් කවරෙකු විසින් හෝ ලියුව හොත් මැනව යන අදහස අප තුළ බොහෝ කලක පටන් පැවතිණ. කෙලෙස් ගිනි දල්වන කෙලෙස් වඩන පොත් කොතෙකුත් බිහිවුණා මිස, කෙලෙස් ගිනි නිවීමට උපකාර වන පරිදි කෙලෙස් එක් දහස් පන්සියය ගැන පොතක් නො බිහි විය. එබැවින් බෞද්ධ ග‍්‍රන්ථමාලාවට අඩුවක්ව පවතින ග‍්‍රන්ථයක් වන මේ කෙලෙස් එක් දහස් පන්සියය නමැති ග‍්‍රන්ථය ලිවීම ආරම්භ කරන ලදී.

මෙය අප විසින් ආරම්භ කරන ලද්දේ අවසානය තෙක් ලියමිය යන ස්ථිර බලාපොරොත්තුවකින් නොව අපහසුකමක් නො වුව හොත් අවසානය තෙක් ලිවීමේ අදහසිනි. ඒ අතර යම් යම් අපහසු කම් ඇති වුව ද ලිවීම ආරම්භ කළ දිනයේ පටන් සෑම දිනයක ම පොතින් පේලි කීපයක් හෝ ලිවිය හැකි විය. තෙමසක් පමණ ලිවීමෙන් පොත සම්පූර්ණ විය.

මේ ක්ලේශයෝ වනාහි මැටිකැට ගල්කැට පොල් ගෙඩි කොස් ගෙඩි ආදිය මෙන් පැහැයක් නැති සටහනක් නැති ප‍්‍රමාණයක් නැති ශරීරයක් නැති ඇසට නොපෙනෙන අතට අසු නො වන සිතෙහි ඇති වන අරූපී ධර්ම කොට්ඨාසයෙකි. ඒවා තේරුම් කිරීමට උපයෝගී කර ගැනීමට ඇති එකම දෙයත් වචනය ම ය. ඇසට පෙනෙන අතින් ගත හැකි මැටිකැටයක ගල් කැටයක සැටි පවා වචනයෙන් හරියටම තේරුම් කළ නො හැකි ය. පුද්ගලයන් හා වස්තූන් තේරුම් කිරීමට ඡායාරූප උපයෝගී කර ගන්නේ එැබවිනි. වචනයට වඩා බලයක් ඡායාරූපයට තිබේ. ශරීරයක් නැති කෙලෙසුන්ගේ ඡායාරූප ගැනීමක් නො කළ හැකි ය. ඒවා කෙසේ හෝ වචන වලින් ම තේරුම් කළ යුතු ය. අරූපී ධර්මයන් වචනවලින් තේරුම් කිරීම පහසු නො වන බැවින් අභිධර්ම ග‍්‍රන්ථයන්හි එක් එක් ක්ලේශයක් තේරුම් කිරීමට බොහෝ වචන උපයෝගී කර ගෙන ඇත්තේ ය. ලෝභය දැක්වීමට වචන සියයක් ද, ද්වේෂය දැක්වීමට වචන සවිස්සක් ද, මෝහය දැක්වීමට වචන පස්විස්සක් ද ගෙන තිබේ. පාළි භාෂාව නොදත් සිංහල ජනයාට ඒ වචන වලින් කාරණය තේරුම් කළ නො හෙන බැවින් ඔවුනට තේරෙන්නට සිංහල වචනවලින් අමුතු ආකාරයකින් කෙලෙසුන් විස්තර කළ යුතු ය. එය දුෂ්කර කාර්යයෙකි. එය අපේ ශක්තියේ සැටියට කරන ලදී. කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ප‍්‍රසිද්ධ සිංහල වචනම යොදා මේ ග‍්‍රන්ථය ලියන ලදී. අපට දැනට ස්මරණ ශක්තිය ගිලිහී ගොස් ද ඇත. ලියන ලද දෙය ඉක්මනින් අමතක වී යන බැවින් මෙහි ඇතැම් තැනක පුනරුත්තයන් ද තිබිය හැකිය. කෙලෙසුන් බෙහෙවින් වැඩෙන්නේ ආර්ය ධර්මය නො දත් ආර්ය ධර්මයෙන් නො හික්මවන ලද කෙලෙසුන් නො හඳුනන අන්ධ පෘථග්ජනයන් ගේ සිත්වලය. ඔවුන් ගේ සිත් කෙලෙස් නමැති විස ගස්වලට සරුබිම් ය. මේ පොත කියවා කෙලෙසුන් ගැන දැනීමක් ඇති කර ගැනීම තමන්ගේ සිත් පිරිිසදු කර ගනු කැමති ගිහි පැවිදි සියලූ පින්වතුන්ට ඉතා ප‍්‍රයෝජන වනු ඇත.

මේ පොත මුද්‍රණය කරවීමේ දී ශෝධ්‍ය පත‍්‍ර බැලීම් ආදි සියල්ල අපගේ ශිෂ්‍ය ශාස්ත‍්‍රාචාර්ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්ථවිරයන් කිරිඔරුවේ ධම්මානන්ද භික්ෂු නමගේ සහාය ඇතිව කරන ලදී. මේ පොත ඉක්මණින් මුද්‍රණය කර දුන් පන්නිපිටියේ තිලක් මුද්‍රණාලයේ ඇම්. ජේ. පෙරේරා මහතා ප‍්‍රමුඛ සේවක පිරිසට ද පින් සිදුවේවා.

අභිධර්මාර්ථ සංග්‍රහය ආදී පොත්වලින් අභිධර්මය උගන්නා වූ ද, උගත්තා වූ ද, අභිධර්මය උගන්වන්නා වූ ද කාහටත් මෙයින් මහත් ප්‍රයෝජනයක් වනු ඇතය යනු අපගේ විශ්වාසය ය.

මිට – ශාසනස්ථිතිකාමී,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර.

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet