පංචඋපාදානස්‌කන්ධය – 4

පිංවත් ඔබ සමාජය දෙසට මොහොතක්‌ හැරී බලන්න. මනුෂ්‍යයාගේ මමත්වයේ දැඩිභාවය නිසා මමය කියලා ගන්නාවූ දැඩි දෘෂ්ඨිය නිසා මනුෂ්‍යයා නිරතුරුවම මොනතරම් අකුසල් මූලයන් ඇතිකොට ගන්නවාද. පිංකමක්‌ සිදුකළත්, දානයක්‌ පූජාකළත්, සිල් සමාදන් වුණත්, භාවනාවක්‌ කළත් මේ සෑම ක්‍රියාවක්‌ම මමත්වයේ දැඩිභාවයෙන් ගැනීම නිසාම සමාජය නැවත නැවත අකුසල් මූලයන්ම සකස්‌කොට ගන්නවා. ශීලය තුළ මම සිටිනාවය කියලා දකිනවා. මා තුළ ශීලය තිබෙනවාය කියලා දකිනවා. මම පිරිසිදුයි, අනුන් අපිරිසිදුයි කියලා දකිනවා. ශීලය නමැති ආත්මය මා සුවපත්කරනවාය කියලා දකිමින් ශීලයේ නාමයෙන් දානයේ නාමයෙන් , භාවනාවේ නාමයෙන් සක්‌කාය දිට්‌ඨිය වර්ධනයකොට ගන්නවා. ශීලයෙන් දානයෙන් ලැබුණාවූ සංස්‌කාර සහ ශීලයෙන් දානයෙන් ලැබෙන්නාවූ සංස්‌කාර අනිත්‍ය බව නුවනින් දකින්නේ නැහැ. පෙර ශීලය නිසාම, දානය නිසාම, පිංකම් නිසාම තමන්ට ලැබුණ ආයුෂ, වර්ණය, සැපය, බලය, උගත්කම, හැකියාව, ජනප්‍රියභාවය, දක්‍ෂභාවය නිසා මේ ධර්මතාවයන් මමත්වයේ දැඩිභාවයෙන් ගැනීම නිසාම පෙර පිනට ඔබට ඔබට ලැබුණු ධර්මතාවයන් ඔබ උපයෝගීකොට ගන්නේ නැවත නැවත ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් වර්ධනය උදෙසාමයි.

දැන් පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා පංචඋපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය නොදැකීම සක්‌කාය දිට්‌ඨිය සිඳ නොදැමීම, සෝවාන් ඵලයට පත්නොවීම යන අර්ථයන් සත්ත්වයන්ගේ ජීවිතවලට මොනතරම් බියකරු, නපුරු, විෂම ප්‍රතිඵලයන් ඇතිකොට දෙනවාද කියන කාරණය. පිංවත් ඔබ දක්‍ෂවෙන්න මේ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතයේදී අර්ථවත්ව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන්කොට පංචඋපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දැක, උතුම් සෝවාන් ඵල අවබෝධය සාක්‍ෂාත්කොට ගන්න.

”රූපය”

පංචඋපාදානස්‌කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මතාවයන් පහට. ඉහත කාරණා පහ ඵස්‌ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර වශයෙනුත් ගන්න පුළුවන්. පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි ඇතිකොටගන්නාවූ තෘෂ්ණාවයි සත්ත්වයාට දුක සකස්‌කොට දෙන්නේ. දුකින් මිදීමේ මාර්ගයට අවතීර්ණව සිටින පිංවත් ඔබ, ඉහත කාරණා පහ වෙන් වෙන් වශයෙන් නුවනින් දකිමින් මෙම ධර්මතාවයන්ගේ යථාර්තය වන, අනිත්‍යභාවය දකින්න පුහුණුවෙන්න ඕනේ. වර්තමාන පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකලා පමණක්‌ම පිංවතුන්ලාට පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි, තෘෂ්ණාවෙන් මිදෙන්න බැහැය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. කල්ප සියක්‌කෝටි, ප්‍රකෝටි ගණනක්‌ ඈත අතීතයේ සිට, පටිච්ඡසමුප්පන්නව පංචඋපාදානස්‌කන්ධය මමත්වයේ දැඩිභාවයෙන් ගැනීම නිසාම, තදංග වශයෙන් පෝෂණය වූ සක්‌කාය දිට්‌ඨිය පටිච්ඡසමුප්පන්නව ගලාගෙන එන, සංස්‌කාර පච්ඡයා විඤ්ඤාන කියන ධර්මතාවය තුළ මුහුවී තිබෙනවා. එම නිසා පංචඋපාදනස්‌කන්ධය අතීත, වර්තමාන, අනාගත වශයෙන් අනිත්‍ය දකින්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.

රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව හේතුවෙන් සකස්‌වෙන උපාදානය රූප උපාදානස්‌කන්ධයි. පිංවත් ඔබ මුළින්ම වර්තමාන රූපයේ අනිත්‍යභාය දකින්න. රහතන්වහන්සේ නමකටත්, ඇස, කන, නාසය, දිව, ශරීරය මනස කියන රූපය, ආයතන හය තිබෙනවා. නමුත් රහතන්වහන්සේ රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කර ඇති නිසා, රහතන්වහන්සේට රූප උපාදනස්‌කන්ධයක්‌ සකස්‌වෙන්නේ නැහැ. ඒ නිසා රහතන්වහන්සේ දරාගෙන සිටින්නේ පංචස්‌කන්ධයක්‌. මොකද අන් සෑම සත්ත්වයෙක්‌ම තම පංචස්‌කන්ධය තෘෂ්ණාවෙන් තෙත් කොට පංචඋපාදානස්‌කන්ධයක්‌ බවට පත්කොට ගන්නවා.

වර්තතමාන රූපස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවත් ඔබ, මුලින්ම රූපය කියන්නේ කුමක්‌ද කියලා හඳුනාගන්න ඕනේ. ඇසත්, කනත්, නාසයත්, දිවත්, ශරීරයත්, මනසත් මේවාට අරමුණුවෙන සියලුම බාහිර රූපයනුත් රූපය වශයෙන් හඳුන්වනවා. ඒ සෑම රූපයක්‌ම සැදිලා තිබෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධර්මතාවයන් හතර වන සතරමහා ධාතුවෙන්. සතරමහා ධාතුවේ ස්‌වභාවය අනිත්‍යයි. පිංවත් ඔබ දෑස්‌දෙක පියාගෙන ඇසට, කනට, නාසයට, දිවට ශරීරයට මනසට සිත යොමුකරලා, තද ස්‌වභාවයෙන්, දියර ස්‌වභාවයෙන්, උෂ්ණ ස්‌වභාවයෙන්, වායු ස්‌වභාවයෙන් සෑදුණු රූපයේ අනිත්‍යභාවය නුවනින් දකින්න. ආයතන හයක්‌ වශයෙන් දෙතිස්‌ කුණපයක්‌ වශයෙන් නිතරතුරුවම මරණයට පත්වෙන මරණානුස්‌සතියක්‌ වශයෙන් රූපය දකින්න.

වර්තමාන, ඔබේ අධ්‍යාත්මික රූපයේ අනිත්‍යභාවය දකිනවා වගේම, ඔබට අරමුණුවන සෑම බාහිර රූපයක්‌මත් අනිත්‍ය වශයෙන් දකින්න. ඇසට බාහිර රූපයක්‌ ඵස්‌සයවන මොහොතේම ඇස ඉපදෙන හැටිත්, රූපය ගැන සිතීමේදී ඇස මැරී මනස උපදින හැටිත් නුවනින් දකින්න. නිරතුරුවම ආයතන හයක මරණානුස්‌සතිය නුවනින් දකිමින් වර්තමාන රූපස්‌කන්ධය කෙරෙහි කලකිරීම ඇතිකර ගන්න.