ධම්මානුපස්‌සනාව – 4

පිංවත් ඔබට මහේශාක්‍ය ජීවිතයක්‌, උසස්‌ අධ්‍යාපනයක්‌, උසස්‌ වෘත්තියක්‌, ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. භවයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌, බ්‍රහ්මයෙක්‌, පසුව සතර අපායේ සත්වයෙක්‌ ලෙස ඉපදුණේ අතීත සංස්‌කාරයන්ට අදාළව උපාදාන පච්චයා භවය කියන ධර්මතාවන්ට අනුවයි. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයයි. සංස්‌කාර නිරෝධය නොකළ සෑම සත්වයෙක්‌ම මරණයෙන් පසුව නැවත ඉපදීම ධර්මතාවයක්‌. නමුත් ඒ ධර්මතාවත් අනිත්‍යයි. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කළ පිංවතුන් උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵලයන් සාක්‌ෂාත් කොට ගැනීම ධර්මතාවයක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධකළ උත්තමයා පිරිනිවන්පෑම ධර්මතාවයක්‌. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයි. අතීතයේ පිරිනිවී ගිය සාරිපුත්ත මහරහතන්වහන්සේ කියන්නේ මේ මොහොතේ අනිත්‍ය වූ ධර්මතාවයක්‌ පමණක්‌මයි.

කාම, රූප, අරූප ලෝකවල උපතත්, මරණයත්, දුකත්, සැපත් ධර්මතාවක්‌ වූ කල ධම්මානුපස්‌සනාවට අදාළ කමටහන් ලෝකයක්‌ තුළයි, පිංවත් ඔබ ජීවත්වෙන්නේ. මේ මුළු කමටහන් ලෝකයම පිංවත් ඔබ පංචඋපාදානස්‌කන්ධය අනිත්‍යයි කියල අවබෝධ කරන එකම ධර්මතාවකින් නිෂේධ කිරීමට ධම්මානුපස්‌සනාව තුළින් බුදුරජාණන් වහන්සේ පිංවත් ඔබට මාර්ගය කියාදෙනවා. නිවීමේ මාර්ගයට පිංවත් ඔබට උපකාරක ධර්මයක්‌ වූ කායානුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව, විදර්ශනා සිතින් ධම්මානුපස්‌සනාවට යොමු කරලා නුවණින් දකින්න. එවිට පිංවත් ඔබ ධම්මානුපස්‌සනාව තුළින් පංචඋපාදානස්‌කන්ධයට නොඇලෙන නිස්‌සරණය මතුකර ගන්නවා.

පිංවත් ඔබ මේ උතුම් මොහොතේදී ධර්ම මාර්ගයේදී ප්‍රමාදී භාවයට පත්වුණොත් ධර්මාවබෝධයෙන් ඔබ බැහැරට යනවා. එයත් ධර්මතාවක්‌. උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ආරක්‍ෂා කරගෙන වැඩසිටින අවසාන උපසම්පදා ස්‌වාමීන්වහන්සේ අපවත්වෙන මොහොතේ ශාසන අර්ථයන්ගේ අතුරුදන්වීම සිදු වෙනවා. එයත් ධර්මතාවයක්‌. නමුත් මේ ධර්මතාවත් අනිත්‍ය වූ ධර්මතාවක්‌මයි. ශාසන අර්ථයන් අතුරුදන් වී ගිය පසු මහාසංඝරත්නය නියෝජනය කිරීම සඳහා කාශායකණ්‌ඨකලාගේ පහළවීම ධර්මතාවයක්‌. ඒ ධර්මතාවයත් අනිත්‍යයයි. කාශායකන්ඨකලාගෙන් පසුව දුශ්ශීල මනුෂ්‍ය සමාජ තුළින් මෘග සංඥාව මතුවී මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10 වීමද ධර්මතාවයක්‌මයි. නමුත් ඒ ධර්මතාවන් අනිත්‍යයි. මනුෂ්‍යයාගේ දුශ්ශීල භාවයෙන් මනුෂ්‍යයා තුළ මෘග සංඥාව සකස්‌වී එකිනෙකා ඇනකොටා ගෙන මහපොළව රුධිරයෙන් තෙත්වීම ධර්මතාවක්‌. ඒ ධර්මතාවත් අනිත්‍යයි. දුශ්ශීලභාවය නිසා මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10 ට අඩුවී, නැවත සමාජය තුළ ඇතිවන සිල්වත්භාවය නිසා, මනුෂ්‍යයාගේ පරමායුෂ නැවත අවුරුදු අසූදාහක්‌ වීමද ධර්මතාවක්‌මයි.

මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු අසූදහසක්‌ වන කාලයේදී කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන පස්‌මහ බැලුම් බලා, මෛත්‍රී බෝධිසත්වයන් දඹදිව පහළවීමද ධර්මතාවක්‌මයි. නමුත් ඒ ධර්මතාවත් අනිත්‍යයි. මෛත්‍රී බුදුරජාණන්වහන්සේ පිරිනිවී යනවා. මෛත්‍රී බුදුරජාණන්වහන්සේගේ ශාසනයත් අතුරුදන් වී යනවා. එයත් ධර්මාතාවක්‌. ඒ ධර්මතාවත් අනිත්‍යයි. මෛත්‍රී බුදුරජාණන්වහන්සේගේ ශාසනය අතුරුදහන් වී ගිය පසු, කල්ප විනාශය සිදුවී මේ ලෝකධාතූව අළු දූවිලි ගොඩක්‌ වීමද ධර්මතාවක්‌මයි. වැස්‌ස නොමැති වීමෙන්, පෘථිවියේ උෂ්ණත්වය ඉහළ ගොස්‌, ඉරවල් හතක්‌ පායා, ඉරවල් හතේම දැඩි උෂ්ණත්වයෙන් මුළු මනුෂ්‍ය ප්‍රජාවම විනාශය කරා ගොස්‌, ඉහළ උෂ්ණත්වය තුළ පිච්චි පිච්චී මැරෙමින් ඉපදෙන ප්‍රේතයින්, නිරිසතුන්, කෘමීන් ලෙස සත්වයාට අවුරුදු දසදහස්‌ ගණනක්‌ මේ ලෝක ධාතුවේ සත්වයින් අත්විඳින කටුක දුක්‌ ගොඩ විඳීමට සිදු වීමද ධර්මතාවක්‌මයි.

යොදුන් 168,000ක්‌ විශාල මහාමේරුවේ ගිනිගැනීමෙන් අළුදූවිලි වන ලෝකය නැවත බිහිවීමද ධර්මතාවක්‌මයි. එයින් පැහැදිළි වෙන්නේ මෙතරම් රුදුරු, වියරු දුක්‌ සහගත කල්ප විනාශයේ ප්‍රතිඵලද අනිත්‍ය වූ ධර්මතාවක්‌ම බවයි. පිංවත් ඔබ ඉහත සටහන කියවා නිත්‍ය වූ කිසිවක්‌ නැති කෙටි ආශ්වාදයක්‌, දීර්ඝ ආදීනවයක්‌ පමණක්‌ උරුම පංච උපාදානස්‌කන්ධය නැවත ලෝකය මමය, මගේය, මගේ ආත්මය කොට නොගෙන අනිත්‍යයි කියන අර්ථයේ දැක්‌ම තුළින් ධම්මානුපස්‌සනාව ජීවිතයට එකතුකොට ගන්න.

රූපය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවක්‌. වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවන්. ඉහත ධර්මතාවන් අනිත්‍ය වශයෙන් දැක්‌කාවූ සිතත්, අනිත්‍ය වූ ධර්මතාවක්‌ පමණයි. සියල්ලම අනිත්‍ය වශයෙන් දැකලා, අවසානයේ පිංවත් ඔබ දැක්‌කා වූ සිතට බැඳී ගියොත්, එතැනදී ඔබ ‘මාරානුපස්‌සනාවට’ යොමුවුණා වෙනවා. ධම්මානුපස්‌සනාව තුළින් පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යය අවබෝධ කොටගත් උත්තමයා, නැවත කවදාවත් තමන් විකුණන්නේවත්, විකිණෙන්නේවත් නැති කෙනෙක්‌ බවට පත්වෙනවා. මොකද ඔහු අවබෝධයෙන්ම දන්නවා, අනිත්‍ය වූ පංචඋපාදානස්‌කන්ධයකට වටිනාකමක්‌ නැහැ කියලා. ඔහු වටිනාකම හිස්‌ කරපු කෙනෙක්‌ බවටයි පත්වන්නේ.