චිත්තානුපස්‌සනාව – 3

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙනකොට උන්වහන්සේ දකිනවා, කාම අපරාධයක්‌ සිද්ධ කරපු අසත්පුරුෂ මනුෂ්‍යයෙක්‌, මරණාසන්න මොහොතේදී, අකුසලය හේතුවෙන්ම, ඒ මනුෂ්‍යයා තුළ සකස්‌ වෙන අවසාන චුති සිත.

පිංවත් ඔබ සිතන්න මනුෂ්‍යයෙක්‌ ශරීරයේ පෙට්‍රල් තවරාගෙන ගිනිගොඩක්‌ අසලින් ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ. එක්‌ ක්‍ෂණයකින් මේ මනුෂ්‍යයාගේ මුළු ශරීරයම ගිනිගන්නවා. ඉහත කාම අපරාධයන් සිදුකළ, මරණාසන්න මොහොතේ පසුවන ඔහුගේ අවසන් සිතිවිලි කිහිපයට අරමුණු වෙන්නේ ඔහුගේ මුළු ශරීරයම හිසේ සිට දෙපතුළ දක්‌වා ගිනිගන්නවා. හරියට ශරීරයේ පෙට්‍රල් තවරාගත් මනුෂ්‍යයාව ගිනිගන්නවා වාගේ. ඔහු මරණාසන්නව රෝහලේ ලෙඩ ඇඳේ ළතෝනි දෙමින් කෑගහනවා ‘මාව පිච්චෙනවෝ…. මාව ගිනිගන්නවෝ…. මාව බේරගන්න කවුරුත් නැතිදෝ….’ කියලා. ඒ මරණාසන්නව ලෙඩ ඇඳේ හිඳිමින් පිච්චෙනවා යෑයි කෑගසන මනුෂ්‍යයා දැකලා ඔබට සිතාගන්න බැහැ මොකක්‌ද මේ වෙන්නේ කියලා. මොකද මේ මරණාසන්න මනුෂ්‍යයා ගිනිගන්නවා බාහිර කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඔබ එම කෑගසන මරණාසන්න මනුෂ්‍යයාට වතුර දෙනවා. මුහුණට වතුර ඉසිනවා. ඔබ සිතනවා ඒ මරණාසන්න මනුෂ්‍යයාට ඔබ උපකාරයක්‌, උපස්‌ථානයක්‌ කළාය කියලා. මාව පිච්චෙනවා යෑයි කෑගසමින් එම මනුෂ්‍යයා මානසිකව සිය ශරීරය ගිනිගනිද්දී, ගිනිනිරයට වැටෙනවා.

කළාවූ බලවත් අකුසල් හේතුවෙන් සකස්‌වුණ අවසන් පංචඋපාදානස්‌කන්ධය ඊළඟ ප්‍රතිසන්ධි විඤාණයේ රුවයි, මේ මනුෂ්‍යයා තුළින් මරණාසන්න මොහොතේ මතුකොට පෙන්වූයේ. කාම සිතත්, අසත්පුරුෂ සිතත් අනිත්‍ය වශයෙන් දැකීමට ඇති අදක්‍ෂභාවය නිසාම දීර්ඝකාලීන දුකකට වැටෙනවා.

වර්තමාන සමාජය තුළ මනුෂ්‍යයා මොනතරම් බලය, මිල මුදල්, පැවැත්ම උදෙසා අකුසල් සිදුකර ගන්නවාද? භාවනාවේ නාමයෙන් සමාජය මොනතරම් සිතිවිලිවලට බැඳී යනවාද? ආශ්වාදයට බැඳී යනවාද?

කෙටි දැක්‌මක්‌ තුළින් ඉක්‌මන් අවබෝධයක්‌ ලබන්න පෙළගැසෙන අසාර්ථක ලෝකයක්‌ තුළ දිගුදැක්‌මක්‌ තුළින් පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යාවබෝධය මතුකොටගැනීමට අප දක්‍ෂ විය යුතුයි.

භික්‍ෂුවගේ ගිහි ජීවිතය තුළ සිතේ අනිත්‍යභාවය දැකීම අපහසු කාරණයක්‌ වුණා. මොකද මම උපතින්ම කාමයන්ට ප්‍රිය චරිතයක්‌. නමුත් සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම තුළින් වැඩුණු ඉන්ද්‍රිය ධර්මයන් නිසා මාව මාර ධර්මයන් ඉදිරියේ උපක්‍රමශීලී භාවයට පත්කළා. එය මා සංසාරයේ පුහුණු කළාවූ ධර්මතාවක්‌ වෙන්න පුළුවන්. මම අතීතයේ සද්ධර්මය ශ්‍රවණය කරමින් සිටියදී, ගෞරවනීය පානදුරේ අරියධම්ම ස්‌වාමීන්වහන්සේ තම වැඩසටහන් වලදී මෙහෙම ධර්මයක්‌ දේශනා කරනවා ඇසුවා. ‘ඔබ ළඟට වැඩම කරලා, ඔබේ සැඟවුණු ඉන්ද්‍රිය ධර්මයන් මතුකොට දෙන්න, වර්තමානයේ බුදුරජාණන්වහන්සේ නමක්‌ ජීවමානව නැහැ. ඒ නිසා ඔබමයි, ඔබ තුළ සැඟවුණු ඉන්ද්‍රිය ධර්මයන් මතුකොටගත යුත්තේ’ කියලා. මෙය මට හොඳ ගුරු උපදේශයක්‌ වුණා, මා තුළින්ම ධර්මය මතු කොට ගන්න.

ගිහි ජීවිතයේදී කාම සිතක්‌, රාග සිතක්‌ සකස්‌වෙලා, ඒ සිත් දිගින් දිගටම විතර්කයන් සකස්‌කොට දෙනකොට, විදර්ශනා සිතින්ම අත්දැකීම් ලබමින් කාමයේ, රාගයේ නිස්‌සාර බව නුවණින් දැක්‌කා. රෝහල් ආශ්‍රිතව උපක්‍රමශීලීව ඇසුරුකරමින්, රූපය කෙරෙහි, තෘෂ්ණාව හීනකොට ගත්තා. මාගේ සතුට, මා ලබන සෑම අවස්‌ථාවකදීම අනුන්ගේ සතුට උදෙසා කැපකළා. මේ කාරණා තුළින් භික්‍ෂුවගේ කුසල් ශක්‌තිය මතුකොට දුන්නා. කුසල් ශක්‌තිය වශයෙන් භික්‍ෂුව හැඳින්වූයේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්‌තියයි. මේ උපක්‍රමය නිසා දෙවැනුව, මා තුළින් සිතේ අනිත්‍යභාවය දැකීමට ශක්‌තිය මට ලැබුණා. නමුත් මම මුල් ක්‍රමය උපයෝගී කරගත්තේ නැතිනම්, මට දෙවැනි ක්‍රමය මතුකොටගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මාර ධර්මයන්, උපක්‍රමශීලීව උපයෝගී කොටගනිමින්, මාර ධර්මයන්ටම පහරදීමේ ක්‍රමවේදයක්‌ මට ගිහි ජීවිතයේදීම තිබුණා. තෙරුවන් කෙරෙහි තිබූ විශ්වාසය නිසාම, මා අනතුර තුළට කිඳාබැහැලා අනතුරින් මිදීමේ මාවත මතුකොටගත්තා. මා කුසලයට හෝ අකුසලයට බියවුණේ නැහැ. අකුසලයට බියවෙලා කුසලයට කැමැති වුණා නම්, මට මේ කාරණය කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද මාරයා, ඔබ ලණුවේ එක්‌ කොනක්‌ අල්ලාගෙන සිටිනවිට අනිත් කොන අතහරිනවා. මම මාරයා රැවැට්‌ටුවේ, අකුසලය නමැති කොන අල්ලාගැනීමෙන්. මා අකුසලයේ කොන අල්ලාගනිද්දී, මාරයා කුසලයේ කොන අතහැරියා. මා අකුසලයේ කොන අල්ලාගත් නිසා මාරයා සිතුවා මා විනාශය කරායි යන්නේ කියලා. මම දක්‍ෂ වුණා මාර ධර්මයන්ගේ ඇස්‌ වහලා, අකුසලය විදර්ශනා නුවණින් දැකලා, මුලින්ම කුසලය ශක්‌තිමත්ව මතුකොටගෙන, දෙවැනුව කුසලයත් අකුසලයත් දෙකම විදර්ශනා නුවණින් දකින්න.