ධම්මානුපස්‌සනාව – 1

සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධම්මානුපස්‌සනාවට අදාළ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්නට කියල. සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්‌සනාවට අදාළව කායනුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්‌සනාවක්‌ හැටියටයි.

ධම්මානුපස්‌සනාව ගැන සිහිවෙනකොට භික්‍ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින් බුද්ධත්වයට පත්වෙනවාය කියලා නියත වියරණ ලබාදුන්නාද එය ධර්මතාවක්‌. දසපාරමී ධර්මයන් පූර්ණකොට ගෙන පැමිණි දීර්ඝ භවගමනක්‌ වේද එය ධර්මතාවක්‌. මේ දීර්ඝ භවගමනේදී යශෝධරාවත් රාහුලත් ඥාතිත්වයෙන් බැඳී පැමිණියාද එයත් ධර්මතාවක්‌. මේ ධර්මතාවන් දෙස ඔබ මොහොතක්‌ දෑස්‌ පියාගෙන මෙනෙහි කරන්න. ඔබ අත්දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණක්‌මයි.

දඹදිව සමාජය මිථ්‍යාදෘෂ්ටීන් 62 කින් පෝෂණය වී තිබූ සමයක, මනුෂ්‍යයා සංකීර්ණ වූ ලෝක ධර්මයන්ට එරෙහිව විසඳුමක්‌ සොයමින් සිටිය සමයක, පස්‌මහ බැලුම් බලා බෝධිසත්ත්වයන් ලෝකයට පහළවෙන්නේ ධර්මතාවක්‌ නිසාමයි. බෝධිසත්ත්වයන් මහාමායාවගේ මවුකුසට බැසගන්න මොහොතේ වූ බෝසත් මවුතුමිය දැනුවත්වමයි බෝධිසත්ත්වයන් මවු කුස පිළිසිඳ ගන්නේ. මවුකුස පිළිසිඳ ගන්නා රන්වන් බෝධිසත්ත්ව කළලය මවුකුසේ වැඩෙන ස්‌වභාවය මවුකුසින් බාහිරට දර්ශනය වෙනවා එය ධර්මතාවක්‌. බෝධිසත්ත්වයන් මවුකුස පිළිසිඳ ගත් මොහොතේ පටන් බෝසත් මෑණියන්ට තම ස්‌වාමි පුරුෂයා නිසාවත් කාම සිතුවිල්ලක්‌ ඇතිවෙන්නේ නැහැ. එය ධර්මතාවක්‌. බෝධිසත්ත්වයන් ලෝකයට බිහිවන මොහොතේ බෝසත් දරුවා බිහිවෙන්නේ බෝසත් මව සිටගෙන සිටින ඉරියව්වෙන් එයත් ධර්මතාවක්‌. මවු කුසෙන් බිහිවෙන එම බෝධිසත්ත්වයන් දෝතට පිළිගන්නේ සතරවරම් දෙවියන්. එයත් ධර්මතාවක්‌. ලෝකයට බිහිවෙන බෝසත් දරුවාගේ ශරීරයේ කිසිම ලේ, සැරව තැවරීමක්‌ සිදු නොවීමත් ධර්මතාවක්‌. උණුපැන් වැස්‌සක්‌ සහ සිසිල් පැන් වැස්‌සක්‌ මල්වැස්‌සක්‌ සේ වැටෙමින් බෝසත් දරුවා නහවනවා එයත් ධර්මතාවයක්‌. බෝධිසත්ත්වයන් උපත ලද මොහොතේම පියවර සතක්‌ තබමින් සත්වන පියවරේදී සිංහනාදයක්‌ කරනවා එයත් ධර්මතාවක්‌. බෝසත් දරුවා ප්‍රසූතියෙන් සත්වන දිනයේදී බෝසත් මව කලුරිය කරනවා එයත් ධර්මතාවක්‌. සෑම බෝධිසත්ත්වයෙක්‌ම සම්මා සම්බුද්ධත්වය සඳහා උප්පත්තිය ලබන්නේ දඹදිවමයි. එයත් ධර්මතාවක්‌. මේ සෑම ක්‍රියාවක්‌ම සෑම බුදුරජාණන් වහන්සේ නමකටම පොදු ධර්මතාවක්‌. දැන් පිංවත් ඔබ දෑස්‌ දෙක පියාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේට උරුමවු ඉහත ධර්මතාවන්ගේ ස්‌වභාවය නුවණින් දකින්න. කුමක්‌ද ඔබට වැටහෙන්නේ මේ සෑම ධර්මතාවක්‌ම අනිත්‍යයි කියන කාරණයයි. ඒ අනිත්‍යභාවය නුවණින් දකිමින් ජීවත්වෙන්න.

බුදුරජාණන් වහන්සේගේ උපත, සම්මා සම්බුද්ධත්වය පිරිනිවීම ධර්මතාවක්‌. බුදුරජාණන් වහන්සේ ධම්මචක්‌කපවත්වන සූත්‍රය දේශනා කිරීම ධර්මතාවක්‌. එම උතුම් සූත්‍ර දේශනාවෙන් අනතුරුව උතුම් ධර්ම රත්නයත්, සංඝරත්නයත් ලෝකයේ පහළවීම ධර්මතාවක්‌. මේ සෑම යථාර්ථයක්‌ම පිංවත් ඔබ මොහොතක්‌ දෑස්‌ පියාගෙන ආවර්ජනය කරන්න. ඔබ දකින්නේ අනිත්‍යය යෑයි කියන අර්ථයයි. මේ මොහොතේ ජීවමානව පවතින, ධර්මරත්නයත්, සංඝරත්නයත් අනාගතයේ යම් දවසක අතුරුදන්ව යනවා. එයත් ධර්මතාවක්‌මයි

බුදුරජාණන්වහනසේ අවබෝධ කොට වදාළේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. එම චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය දුක කියන කාරණය, හේතූන් නිසාම හටගන්නක්‌. දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි. එයත් ධර්මතාවක්‌. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වෙනවා. එයත් ධර්මතාවක්‌. දුක නිරෝධය කරපු උත්තමයෙක්‌, දුකත්, තෘෂ්ණාවත් නැවත ආවර්ජනය කරද්දී ඔහු දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණමයි. දුක නිරෝධය කරන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එයත් ධර්මතාවක්‌. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කොට, සම්මා ඥාණ, සම්මා විමුක්‌තිය සාක්‍ෂාත් කරගත් උත්තමයා, තමන්ට නිවීම සාක්‍ෂාත් කර දුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙස ආපසු හැරී බැලීමේදී, ඔහු දකින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අනිත්‍ය වූ ධර්මතාවක්‌ය කියලයි.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ඔබ දුක නමැති සයුරෙන් එතෙර වුණාට පසුව, සයුරෙන් එතෙර වීමට උපකාරී වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති පවුර, කර තබාගෙන යායුතු දෙයක්‌ නොව, අතහැරදමා යායුතු දෙයක්‌ය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනිත්‍ය වූ ධර්මතාවක්‌මයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මතුකොට ගැනීමට නම්, කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය සාධකයක්‌ වෙනවා. මේ සාධකයත් අවසානයේ අනිත්‍ය වූ ධර්මතාවක්‌මයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමේදී ඔබ තුළ සතර සතිපට්‌ඨාන ධර්මයන් වැඩෙනවා. එයත් ධර්මතාවක්‌. සතර සතිපට්‌ඨාන ධර්මයන් බහුල වශයෙන් පුහුණු කරලා, කාය, චිත්ත, ධම්ම, වේදනා කියන ධර්මතාවන්ද අනිත්‍යයි කියලා අවබෝධකරගත් තැනදී, සතර සතිපට්‌ඨාන ධර්මයන් කෙරෙහි ඇති තෘෂ්ණාවද, ඔබ අවබෝධයෙන් අතහරිනවා. එයත් ධර්මතාවක්‌. සතර සතිපට්‌ඨාන ධර්මයන් අනිත්‍ය වශයෙන් අවබෝධ කරගත් අරිහත් උත්තමයා, තමන්ට උපකාර ධර්මයක්‌ වූ සතර සතිපට්‌ඨාන ධර්මයන් දෙස ආපසු හැරී බලද්දී ඔහු දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණමයි.

සතර සතිපට්‌ඨාන ධර්මයන් ඔබ තුළ වැඩීම නිසා, ඔබ තුළින් සති, ධම්මවිජය, වීර්යය, ප්‍රීති, පස්‌සද්ධි, සමාධි, උපේක්‍ෂා සප්තබොජ්ඣංග ධර්මයන් මතුවීම ධර්මතාවක්‌. සප්තබොජ්ඣංග ධර්මයන්, නිවීමට උපකාර ධර්මයන් ලෙස ප්‍රයෝජනයට ගෙන, නිර්වාණාවබෝධය සාක්‍ෂාත් කරගත් උත්තමයා, තමන්ට උපකාරී වූ සප්තබොජ්ඣංග ධර්මයන් දෙස, අතීතාවර්ජනයක යෙදීමේදී, ඔහු දකින්නේ අනිත්‍යයි කියන ධර්මය පමණක්‌මයි. එයත් ධර්මතාවක්‌මයි. නිවීම සාක්‍ෂාත් කරගත් උත්තමයා, සතර සතිපට්‌ඨාන ධර්මයනුත්, සප්තබොජ්ඣංග ධර්මයනුත්, අනිත්‍ය වශයෙන් අවබෝධ කොටගත් තැනදී ඔහු අවසානයේ අවබෝධ කොටගත්තේ පංචඋපාදානස්‌කන්ධය අනිත්‍යයි කියන අර්ථයයි. එයත් ධර්මතාවක්‌. සතර සතිපට්‌ඨාන ධර්මයනුත්, සප්තබොජ්ඣංග ධර්මයනුත් තමා තුළ වැඩෙන්නේ රූපය ඇසුරින්, පංච උපාදානස්‌කන්ධයක්‌ ලෙසින්මයි. එයත් ධර්මතාවක්‌. නිවීම සාක්‍ෂාත් කොටගත් අරිහත් උත්තමයා තමන් අවබෝධ කොටගත් පංච උපාදානස්‌කන්ධය දෙස අතීතාවර්ජනයක යෙදීමේදී ඔහු දකින්නේ අනිත්‍යයි කියන ධර්මතාව පමණක්‌මයි.

පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය අවබෝධ කොටගත් උත්තමයා නුවණින් මෙනෙහි කරනවා, ජාති, ජරා,ව්‍යාධි, මරණ වලින් තමන් නිදහස්‌ වුණේ, ඉපදීම නිරුද්ධ කරපු නිසා, එය ධර්මතාවක්‌. ඉපදීම නිරෝධය වුණේ භවය නිරෝධය කරපු නිසා. එයත් ධර්මතාවක්‌. භවය නිරෝධය වුණේ, උපාදානය නිරෝධය වුණු නිසා. එයත් ධර්මතාවක්‌. උපාදානය නිරෝධය වුණේ තෘෂ්ණාව නිරෝධය වුණු නිසා. තෘෂ්ණාව නිරෝධය වුණේ විඳීම නිරෝධය වුණු නිසා. විඳීම නිරෝධය වුණේ, ඵස්‌සය නිරෝධය වූ නිසා. ඵස්‌සය නිරෝධය වුණේ සලායතන නිරෝධය වූ නිසා. සලායතන නිරෝධය වුණේ නාමරූප නිරෝධය වූ නිසා. නාමරූප නිරෝධය වුණේ විඤ්ඤාණය නිරෝධය වූ නිසා. විඤ්ඤාණය නිරෝධය වුණේ සංස්‌කාර නිරෝධය නිසා. සංස්‌කාර නිරෝධය වුණේ අවිද්‍යාව නිරෝධය කළ නිසා. මේ සියල්ලම ධර්මතාවන්.

කල්ප සියක්‌ කොටි ප්‍රකෝටි ගණනක්‌, මැරෙමින් ඉපදෙමින් පැමිණි භවගමනේ, ක්‍රියාත්මක ධර්මය වූ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කොටගැනීමෙන්, චතුරාර්යසත්‍ය ධර්මයන් අවබෝධ කොටගැනීමෙන්, නිරෝධය වීම ධර්මතාවක්‌. පට්‌ච්චසමුප්පාද ක්‍රියාවලිය නිරෝධය කළ අරිහත් උත්තමයා, තමා නිරෝධය කළ පට්‌ච්චසමුප්පාද ක්‍රියාවලිය දෙස අතීත ආවර්ජනයක යෙදුනොත්, ඔහු දකින්නේ අනිත්‍යයේ අර්ථය පමණක්‌මයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ජ කුක්‌කුච්ඡ, විචිකිච්ඡා, පංචනීවරණ ධර්මයන්, පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නිරෝධය කිරීමේ මාර්ගය අවහිර කිරීමද ධර්මතාවක්‌මයි.