වේදනානුඵස්‌සනාව – 1

සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වේදනානුපස්‌සනාවට අදාළව වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්නය කියලා. වේදනාව ගැන කතාකරන විට ඵස්‌සය ගැන කතාකරන්නම වෙනවා. ඵස්‌සය ගැන කථාකරද්දී අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් ගැන කතාකරන්නට වෙනවා. මොකද වේදනාව යනු ඉහත ධර්මතාවයන්ගේ ඵලයක්‌ හැටියට සකස්‌වෙන ධර්මතාවයක්‌ නිසා.

ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌වෙන ඵලයයි වේදනාව. ‘ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධෝ’ කියලා බුදුරජාණන් වහනසේ දේශනා කරනවා. රූපයේ අනිත්‍යභාවය නොදැනීම හේතුවෙන් ඵස්‌සය තෘෂ්නාවෙන් තෙත්වුණු තැනදී, ඇලීම් ගැටීම්, උපේක්‍ෂා වශයෙන් වේදනාව සකස්‌වෙනවා. සැප, දුක්‌, උපේක්‍ෂා වේදනාවන් කියලා මේවා හඳුන්වන්න පුළුවන්. ඇලීම් සහ ගැටීම් කියන විඳීම් වලදී පිංවතුන්ලාට බරපතළ වූ කුසල් අකුසල් සංස්‌කාරයන් සකස්‌කොට දෙන්න පුළුවන්. උපේක්‍ෂා සහගත විඳීම, පිංවතුන්ලාට සාමාන්‍ය සංස්‌කාරයන් සකස්‌කොට දෙනවා. ‘යමෙක්‌ විඳින්නේ යමක්‌ද, එයයි හඳුනාගන්නේ. යමෙක්‌ හඳුනාගන්නේ යමක්‌ද එයයි සිතන්නේ. යමෙක්‌ සිතන්නේ යමක්‌ද එයටයි බැඳී යන්නේ’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

බුදුරජාණන් වහන්සේ හය ආකාරයක විඳීමක්‌ ගැන දේශනා කරනවා. ඇසේ ස්‌පර්ශයේ හටගන්නා වූ විඳීම, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ ස්‌පර්ශයෙන් හටගන්නා වූ විඳීම කියලා. පිංවත් ඔබ වේදනාවේ හටගැනීම ඵස්‌සය නිසා සිදුවන බවත්, ඵස්‌සය නිරෝධයෙන් වේදනාව නිරෝධය වන බවත්, වේදනාව නිරෝධය කිරීමේ මාර්ගය, ආර්යඅෂ්ඨාංගික මාර්ගය බවත්, පිංවතුන්ලා අවබෝධයෙන් දකිනවා නම්, පිංවත් ඔබ වේදනාවට බැඳීයන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංසාරයක්‌ පුරාවට වේදනාවට බැඳී යැම නිසාම, මගේ මව, පියා, ඥාතියා, දරුවා, දේපළ වගේම රෝගාබාධ, විපත් අනතුරු හේතුවෙන් මනාප දෙය අහිමිවීම නිසා, අමනාප දේවල් සමඟ එකතුවීම නිසාත්, නෙතින් ගැලූ කඳුළු සප්තමහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වේදනාවේ බැඳී යැම නිසාම, වේදනාව මගේ කොටගත් නිසාම, සකස්‌කරගත් සංස්‌කාර හේතුවෙන් මේ මහපොළොව නැමැති සොහොන් බිම ඔබේ මළකඳන්වලින් පුරවා තිබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පිංවත් ඔබ යමක්‌ දැක්‌ක තැනදී, යමක්‌ ඇසුන තැනදී, යමක්‌ දැනුන තැනදී දැක්‌කා, ඇසුනා, දැනුනා කියන තැන අවබෝධයෙන් යුක්‌තව නවතින්නේ නැතිව, දැක්‌ක දෙය, ඇසුණු දෙය, දැනුණු දෙය තෘෂ්ණාවෙන් තෙත් කිරීම නිසා, මොනතරම් විඳීම් ඇතිකර ගන්නවාද. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන, මනසින් ඔබේ පෙර ජීවිතයට යන්න. ඔබ පෙර ජීවිතයේ මනුෂ්‍යයෙක්‌ය කියලා හිතන්නකෝ. ඔබ එම මනුෂ්‍ය ජීවිතයෙන් වයෝවෘධභාවයට පත්වෙලා මැරෙන මොහොතේ, ඔබ තුළ ඇතිවුණු අවසාන පංච උපාදනස්‌කන්ධය දෙස නුවනින් බලන්න. ඔබ ඒ මොහොතේ, ඔබේ ආධ්‍යාත්මික රූපයත්, අරමුණු වූ බාහිර රූපයත්, විඤ්ඤාණයට බැඳී යැම නිසාම, හටගත් ඵස්‌සයට ඔබ බැඳී යනවා. ඵස්‌සය නිත්‍යභාවයෙන් ගන්නවා. ඒ නිසාම විඳීම සකස්‌කොට ගන්නවා. විඳීමට අදාළව සංස්‌කාර, විඤ්ඤාණය සකස්‌වෙනවා. යම් හෙයකින් පිංවත් ඔබ, එදා අවසාන චුති සිතේදී ඵස්‌සය අනිත්‍යය වශයෙන් දැක්‌කා නම්, විඳීමක්‌ සකස්‌ වෙන්නේ නැහැ. ඒ නිසාම විඤ්ඤාණය නිරෝධය වෙනවා. විඳීමට බැඳීගිය තැනදී අපි භවය සකස්‌කොට ගන්නවා.

පිංවතුන්ලා පැයක්‌ දෙකක්‌ එරමිනියා ගොතාගෙන භාවනා කරලා, මේ කය ඇසුරෙන් සිතට දැනෙන සැප, දුක්‌, උපේක්‍ෂා විඳීම් පමණක්‌ අනිත්‍ය වශයෙන් දැකලා, එසේ නැතිනම් දණහිසේ, පිටකොන්දේ වේදනාවට සිත යොමු කරලා, කායික වේදනාවේ අනිත්‍යභාවය දැකලා පමණක්‌ වේදනාවේ ස්‌වභාවය අවබෝධකරගත හැකියැයි භික්‍ෂුව විශ්වාස කරන්නේ නැහැ. අතීත, වර්තමාන, අනාගත වශයෙන් ඔබ වේදනාවේ අනිත්‍යභාවය දකින්න දක්‍ෂ වෙන්න. අතීතය කියලා කියන කොට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක්‌ ඈතට ඔබේ මනසිකාරය යොමු කරන්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා, බුදුරජාණන් වහන්සේලා මුණගැසිලා, මහරහතන් වහන්සේලා මුණගැසිලා, සද්ධර්මය ශ්‍රවණය කරලා, දන් පැන් පූජා කරලා, මොනතරම් නම් සැප වේදනාවන් ලබන්න ඇතිද? රජවරු සිටුවරු දෙවිවරු වෙලා, සශ්‍රීක සැපයන් ලබන කොට, අපි කොයිතරම් නම් සැප වේදනාවන් ලබන්න ඇතිද? නොපතන දෙය සිදුවෙන කොට මොනතරම් නම් දුක්‌ වේදනාවන් ලබන්නට ඇතිද? අම්මලා, තාත්තලා ලෙස ඉපදිලා, දරුවන් නිසා මොනතරම් නම් සැප, දුක්‌ වේදනාවන් විඳින්නට ඇතිද? සතර අපායට වැටිලා, කල්ප විනාශයන්ට කොටුවෙලා, කොයිතරම් දුක්‌ වේදනාවන් ලබන්නට ඇතිද? කල්ප විනාශයන්හිදී ඉරවල් හතකට පිච්චෙමින් මැරෙමින් ඉපදෙමින් දුකම විඳීම කොටගෙන, භවදුකේ පතුල, දුකේ අගාධය ජීවිතය කොටගත් හැටි නුවනින් දකින්න. ලොහොකුඹු නිරයේ ලෝදිය වතුරට පිච්චි පිච්චි අවුරුදු කල්ප ගණන් දුක්‌ වේදනාවන් විඳීමේදී, නැඟුණු වියරු වේදනාවේ විලාපයන් නුවණින් දකින්න. තිරිසන් කුලවල ඉපදිලා, මිනිස්‌සු අපේ බෙල්ල අමු අමුවේ කපාගෙන, මරාගෙන කනකොට, ලොකු සතුනට ගොදුරුවෙලා, ඔබ පණ ගැහි ගැහී හිඳිද්දී ඔබව අමු අමුවේ මරාගෙන කනකොට, ඒ අතීත දුක්‌වේදනා නුවනින් මෙනෙහි කරන්න. අස්‌ථිර වූ, අනිත්‍ය වූ, අනාත්ම වූ, දුක්‌ඛම වූ, අතීත වේදනාවන්ගේ යථා ස්‌වභාවය නුවණින් දකින්න. මහා සාගරය දකින මොහොතක්‌ පාසා, නැති නම් මහා සාගරය නුවනින් සිහි කරමින් සංසාරයක්‌ පුරාවට ඇලීම් ගැටීම උපේක්‍ෂාවන් නිසා දෑසින් ගලාගිය කඳුළු සාගරය දකින්න.