කායානුපස්‌සනාව – 12

තරුණ කාලයේ අනුන්ගේ ඉරියව් අපේ කරගෙන, අපි කොච්චර නම් සිහින මාලිගා මවලා තිබෙනවද? එවැනි ඉරියව් කයක්‌ අයිතිකොටගන්න මොන තරම් සැලසුම් කරලා තිබෙනවද? පිංවත් ඔබ ළඟ සිටින ඔබේ බිරිඳ, සැමියා අතීතයේ ඉරියව් කයක්‌ දැකලා, ඉරියව් කෙරෙහි තෘෂ්ණාවෙන් ඇතිකොටගත් බැඳීමක්‌ නේද?

අතීතයේ අනිත්‍ය වූ ඉරියව් කෙරෙහි බැඳුණා වූ ඒ බැඳීම, සංසාරය තව කොතෙක්‌ නම් දීර්ඝ කරයිද? අතීතයේ ඔබ සක්‌විති රජු වෙලා ඉපදුණු වෙලාවේ ඔබේ ඉරියව් මොනතරම් පෞරුෂවත්, ගාම්භීර, ප්‍රසන්න බවකින් යුක්‌ත වන්නට ඇති ද? අතීතයේ ඔබ දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ වෙලා ඉපදුණු වෙලාවේ ඔබේ ඉරියව් කය මොනතරම් රිද්මයක්‌, ලාලිත්‍යයක්‌, මටසිළුටු බවක්‌. ප්‍රසන්න බවක්‌ තිබෙන්නට ඇතිද?

අතීතයේ ඔබ තිරිසන් සතෙක්‌ වෙලා ඉපදුණු අවස්‌ථාවේ ඔබේ ඉරියව් කය මොනතරම් වේගවත්ව ක්‍රියාත්මක වන්න ඇතිද? ඔබ ප්‍රේතයෙක්‌ව ඉපදුණු අවස්‌ථාවේ ඔබගේ ඉරියව් කය මොනතරම් අප්‍රසන්න, අපුල වෙන්න ඇතිද? අනිත්‍ය වූ ඉරියව් කයක්‌ නිසා ඔබත් අනුනුත් මොන තරම් ඇලීම් ගැටීම් ඇති කොටගන්න ඇතිද?

ඉරියව්වක්‌ නිත්‍යභාවයෙන් ගැනීම තුළ, දුකෙන් පිරි භවයක්‌ නිර්මාණය කොට ගැනීමේ ශක්‌තිය තිබෙන බව නුවණින් දකින්න. කෙනෙකු ඇඟිල්ලක්‌ දිගු කොට කථා කළා කියලා, කෙනෙක්‌ ඔරවා බැලුවා කියලා එම අනුනගේ ඉරියව්ව කෙරෙහි ගැටී, මීනීමරාගන්න, බන්ධනාගාරගත වෙන, එල්ලුම් ගස්‌ යන මනුෂ්‍යයෝ කොපමණක්‌ නම් සමාජයේ සිටිනවාද? පුංචි ඉරියව්වක්‌ විසින් දුක්‌ ගොඩාක්‌ අපට උරුමකොට දෙනවා.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌, දස පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමේ ශක්‌තියෙන්, දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් පරිපූර්ණ වූ බුදුරජාණන් වහන්සේගේ ඉරියව් කය මොන තරම් නම් සුන්දර, ශාන්ත නිවුණා වූ නික්‌ලේශී ඉරියව් කයක්‌ද. බුදුරජාණන්වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කොටගෙන සුද්ධෝදන රජතුමාගේ ආරාධනයෙන්, ප්‍රථම වතාවට කිඹුල්වත් නුවරට වඩින අවස්‌ථාවේදී, බුදුරජාණන්වහන්සේ නගරය දෙසට වඩිනවා දැකලා රාජපුරුෂයන් රජතුමාට සැළකරනවා ‘රජතුමනි, දෙවියෙක්‌ ද නොවන, බ්‍රහ්මයෙක්‌ ද නොවන, මනුෂ්‍යයෙක්‌ ද නොවන, ගාන්ධර්වයෙක්‌ ද නොවන, අමුතුම සත්ත්වයෙක්‌ කිඹුල්වතට පාගමනින් පැමිණෙනවා’ කියලා. දැක්‌කා, ඇසුණා, දැනුණා කියන නැවතී නිවුණු සිතින්, නිවුණු ඉරියව් පැවැත්වූ බුදුරජාණන් වහන්සේගේ සංසිඳුණු ඉරියව් කය දෙස මොහොතක්‌ නුවණින් බලන්න. එලෙස සංසිඳුනා වූ ඉරියව් කයකුත් අනිත්‍ය වී ගියහැටි නුවණින් දකින්න. එලෙස අනිත්‍යභාවයට පත්වූ බුදුරජාණන්වහන්සේගේ ඉරියව් කය, නිත්‍යභාවයෙන් ගැනීම නිසා අපි තවමත් භවය උදෙසා කුසල් සංස්‌කාරයන් රැස්‌කරන හැටි නුවණින් දකින්න. බුදුරජාණන්වහන්සේගේ නික්‌ලේශී ඉරියව් කයට ගැටී තව කෙනෙක්‌ අකුසල් රැස්‌කරගන්නා ආකාරය නුවණින් දකින්න. දේවදත්ත හාමුදුරුවන්ගේ තෘෂ්ණාවෙන් පෝෂණය වුණු ඉරියව් කය ඔහුටත්, අනුන්ටත් මොනතරම් අකුසල් රැස්‌කොට දුන්නාද? දේවදත්ත හාමුදුරුවන්ගේ තෘෂ්ණාවෙන් තෙත්වුණු ඉරියව් කයට රැවටුණු අජාසත්ත රජතුමා, නිරයට වැටෙනවා. අනුන්ගේ ඉරියව් කයක්‌ මගේ කරගැනීම නිසා අජාසත්ත රජු විනාශයට පත්වුණා. ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම හේතුවෙන් සකස්‌ වෙන පංචඋපාදානස්‌කන්ධය වේගවත් වෙනකොට මනුෂ්‍යයාගේ ඉරියව් කයද වේගවත් වෙනවා.

දෑස්‌ පියාගෙන මොහොතක්‌ මෙනෙහි කරන්න. දවස පුරාවට ඔබ මොකක්‌ද කරමින් සිටින්නේ. තමන්ගේ අනිත්‍යභාවයට පත්වන ඉරියව් කයක්‌, අනුන්ගේ අනිත්‍යභාවයට පත්වෙන ඉරියව් කයක්‌ නිසා ආශ්වාදයට බැඳීම නේද? ඒ බැඳීයන සෑම ආශ්වාදයකටම පසුපසින් ආදීනවයන් තිබෙනවා නේද? සංවර වූ, හික්‌මුණා වූ ඉරියව් කය, චිත්ත සමාධියට ඖෂධයක්‌ම වෙනවා.

පිංවත් ඔබ, ඔබේ ඉරියව් පැවැත්වීම දෙස හොඳින් සිහියෙන් සිටින්න. ඇවිදිනකොට, හාන්සි වෙනකොට, නිදාගන්නකොට, ගෙදර වැඩකරනකොට, සිටගෙන සිටිනකොට, නිරතුරුවම ඉරියව් ගැන සිහියෙන් සිටින්න. එම ඉරියව් අනිත්‍ය වන බව නුවණින් දකින්න. උදේ සිට රාත්‍රිය වන විට ඔබ මොනතරම් ඉරියව් පවත්වන්නට ඇතිද? ඒ සෑම ඉරියව්වක්‌ම මොහොතකින් අනිත්‍යභාවයට පත්වුණා. අනිත්‍ය වී ගිය ඉරියව් කය දෙස නැවත නැවත නුවණින් දකින්න. පිංවත් ඔබගේ ඉරියව් වගේම, අන්‍යයන්ගේ ඉරියව් කයත් අනිත්‍ය වන හැටි නුවණින් දකින්න.

වටපිට බලනකොට, අතපය දිගහරිනකොට, ආහාර අනුභව කරනකොට, වැසිකිළි කැසිකිළි කරනකොට, හොඳ සිහියෙන් යුතුව, කරනදෙය දකිමින් සිදුකරන්න. ඉරියව්වල අනිත්‍යභාවය දකිමින් සිහියෙන් ජීවත්වෙනකොට, බාහිර අරමුණු සිතට පැමිණීමේ ඉඩකඩ ඇහිරී යනවා. ඒ නිසා කෙළෙස්‌ ඉපදීම අඩු වෙනවා. ඒ හේතුවෙන් සමාධිමත් සිතක්‌ ඇතිවෙනවා. ඒ සමාධිමත් සිත, මේ කය නිරතුරුවම වෙනස්‌වෙන ඉරියව් කයක්‌ය කියන කාරණය පිළිබඳ විදර්ශනා නුවණ ඇති කර දෙනවා.

සමහර පිංවතුන් ඉරියව් වෙනස්‌ කරනකොට ‘මම නැඟිටිනවා’ ‘මම හාන්සිවෙනවා’ ‘මම ආහාර ගන්නවා’ වශයෙන් දකිනවා. මෙතැනදි පිංවත් ඔබ මේ ‘මම’ කියන දැකීමෙන් බැහැරවෙන්න ඕනේ. ‘මම’ කියන සංඥාව වැඩුණොත්, ‘මම’ කියන ආත්මීය සංඥාව ඔබ තුළ වැඩෙනවා. ඒ නිසා සෑම මොහොතකම, අනිත්‍යවූ ඉරියව්වක්‌, ‘අනිත්‍යවූ ඉරියව් කයක්‌ය’ වශයෙන් දකින්න දක්‍ෂ වෙන්න. ‘මම’ කියලා සිතුවිල්ලක්‌ සකස්‌ වෙන මොහොතේම, එම සිත අනිත්‍ය වශයෙන් දකින්න.

කායානුපස්‌සනාවට අදාළව රූපය විදර්ශනාවට ලක්‌ කරන ආකාරයයි, භික්‍ෂුව සතර සතිපට්‌ඨාන ධර්මයට අදාළව ඉහතින් සටහන් කළේ. රූපය දෙතිස්‌ කුණපයක්‌, සතර මහා ධාතුවක්‌, ආයතන හයක්‌, මරණයක්‌, ඉරියව් කයක්‌ හැටියට විදර්ශනා නුවණින් දකින්න සෑම මොහොතකම උත්සාහ ගන්න. ඉහත භාවනාවන් සිදුකිරීමට එරමිණියා ගොතාගෙන ඉන්නම අවශ්‍ය නැහැ. එසේ පුළුවන් නම් එය වඩාත් හොඳයි. ඔබට සුදුසු ඉරියව්වක සිටිමින්, ඉහත කාරණාවන් ඔබේ රූපයට අදාළව නුවණින් මෙනෙහි කරන්න. පිංවත් ඔබ ලබන විවේකය විදර්ශනා සිතක්‌ උදෙසා ආයෝජනය කරන්න. කායානුපස්‌සනාවට අදාළව රූපය දකින කෙනා, රූපය ආත්මයක්‌ කොටගන්නේ නැහැ. රූපය තම වසඟයේ පවත්වාගත හැකි දෙයක්‌ කරගන්නේ නැහැ. මා තුළ රූපය හෝ රූපය තුළ මම, රූපය තුළ ආත්මයක්‌, ආත්මය තුළ මම, සිටිනවාය කියලා දකින්නේ නැහැ. රූපයක්‌ තිබුණොත් එතැන මාරයා සිටිනවා. පටිච්චසමුප්පන්නව මැරෙන කෙනෙක්‌ එහෙම නැතිනම් මරවන කෙනෙක්‌ සිටිනවා. එම නිසා රූපය, ලස්‌සන, රසයක්‌, සැපයක්‌ වශයෙන් නොව, රෝගයක්‌, සැරව ගෙඩියක්‌, හුලක්‌, පීඩාවක්‌, සර්පයෙක්‌, අසූචිකළයක්‌ ලෙසින් දකින්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ ආකාරයෙන් පිංවත් ඔබ රූපය දකීනම්, රූපය කෙරෙහි මැනවින් කලකිරීම ඇතිවෙනවා. කලකිරීම හේතුවෙන් අතහැරීම ඇතිවෙනවා. අවබෝධයෙන් අතහැරීම හේතුවෙන් රූපයෙන් නිදහස්‌ වීම සිද්ධ වෙනවා.