පංච උපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළව පිංවත් ඔබ ඇසෙන් රූපයක්‌ දකිනවා, කනෙන් ශබ්දයක්‌ අසනවා, දිවගට රසයක්‌ දැනෙනවා, දැක්‌ක දෙයට, ඇසුණු දෙයට, දැනුණු දෙයට ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුණු ගැටුණු උපේක්‍ෂා සහගත වු දෙය ඔබ හඳුනාගන්නවා. හඳුනාගන්නා වූ දෙය ගැන ඔබ සිතනවා. සිතනවා කියල කියන්නේ සංස්‌කාර සකස්‌ වෙනවා. සංඥාව හේතුවෙන් සංස්‌කාර සකස්‌ වෙනවා. ‘සංඥා නිරෝධා සංස්‌කාර නිරෝධා’ සංඥාව නිසා සකස්‌ වෙන ඵලයයි, සංස්‌කාර කියලා පංච උපාදානස්‌කන්ධ ධර්මයේදී අර්ථවත් වෙන්නේ. සත්වයා දෙයාකාරයක සංස්‌කාරයන් නිරතුරුවම රැස්‌කරනවා. ඒවා කුසල් සහ අකුසල් සංස්‌කාරයි.

දැන් පිංවත් ඔබ මේ ක්‍රියාවලිය හොඳින් නුවණින් දකින්න. ඔබ ඇසෙන් රූපයක්‌ දකිනවා. කනෙන් ශබ්දයක්‌ අසනවා. දැක්‌ක දෙයට ඇසුණු දෙයට ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුණු, ගැටුණු, උපේක්‍ෂා සහගත වෙච්ච දෙය ඔබ හඳුනාගන්නවා. හඳුනා ගත්තා වූ දෙය ගැන ඔබ සිතනවා. ඔබ සිතනකොට කුමක්‌ද වෙන්නේ. කුසල් අකුසල් සංස්‌කාරයන් රැස්‌වෙනවා. පිංවත් ඔබ සිතන සිතුවිල්ලක්‌ පාසා කුසල් හෝ අකුසල් සංස්‌කාරයන් රැස්‌කරගන්නවා. ඒ කියන්නේ ඔබ සිතන සෑම සිතුවිල්ලක්‌ පාසාම අනාගතයේ සුගතියට හෝ දුගතියට අදාළ සංස්‌කාරයන් රැස්‌කර ගන්නවා.

පිංවත් ඔබ ඇසෙන් රූපයක්‌ දැකලා එම රූපයට ඇලෙනවා. එම රූපය හඳුනාගන්නවා. දැන් ඔබ හඳුනාගත් රූපය ගැන සිතනවා. තරුණයි, ලස්‌සනයි…. අන්න දැක්‌කා වූ රූපය නිසා ලෝභ සිතක්‌ අකුසල් සංස්‌කාරයක්‌ ඇතිවුණා. ඔබ තවත් රූපයක්‌ දකිනවා. දැක්‌ක රූපය ගැන සිතනවා. ‘එයා මාත් සමඟ සිනාසුණේ නැහැ, හරි ආඩම්බරයි. මමත් එයාව ගණන් ගත්තේ නැහැ’. අන්න දැක්‌කා වූ රූපය නිසා ද්වේශ සිතක්‌ අකුසල් සංස්‌කාරයක්‌ ඇතිවුණා. ඔබ තවත් රූපයක්‌ දකිනවා. දැක්‌කා වූ රූපය ගැන සිතනවා. එයාට මම උපකාරකයක්‌ කරනවා. එයාට යහපතක්‌ම වේවා. අන්න දැක්‌කා වූ රූපය නිසා අලෝභ, අද්වේශ සිතක්‌ කුසල් සංස්‌කාරයන් ඇතිවුණා. ඉහත ආකාරය ඔබ නුවණින් දකින්න. ඔබ සිතන සෑම සිතුවිල්ලක්‌ පාසාම අනාගතයේ විපාකයට අදාළව කුසල් හෝ අකුසල් සංස්‌කාරයන් රැස්‌කර දෙනවා. හඳුනා ගැනීම නිත්‍ය වශයෙන් ගන්නා මොහොතක්‌ පාසා ඔබ හඳුනාගන්නා වූ දෙය ගැන සිතනවා. සිතන මොහොතක්‌ පාසා විතර්ක ඇතිවෙනවා. විතර්ක ඇතිවෙන මොහොතක්‌ පාසා සංස්‌කාර සකස්‌ වෙනවා.

භික්‍ෂුව වැඩ සිටින කුටියට පැමිණි තරුණ ස්‌වාමීන් වහන්සේ නමක්‌ බොහෝම කණස්‌සල්ලෙන් තමන්ගේ ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළා. ස්‌වාමීන් වහන්ස මම මේ දවස්‌වල වැඩසිටින කුටියේ සිට පිණ්‌ඩපාත වඩින්නට තිබෙන්නේ නිතරම වාහන, ජනතාව ගැවසෙන පාරකින්. එම නිසා වාහන, ජනතාව දකින විට මගේ සිත නිරතුරුවම විසිරෙනවා. මේ විසිරෙන සිත මට හරිම පළිබෝධකයක්‌. මේ ප්‍රශ්නයට විසඳුමක්‌ කියන්න කියලයි එම ස්‌වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.

භික්‍ෂුව උන්වහන්සේට මතක්‌ කළේ ‘ඔබ වහන්සේ කුටියෙන් එළියට වඩින විට බිම බලාගෙන සියලු සත්වයෝ සුවපත් වේවා කියන සංඥාවෙන් වඩින්න. කුමන හෝ සිතුවිල්ලක්‌ පහළ වුණොත් එම සිතුවිල්ල ගැන සිතන්න යන්න එපා. මෛත්‍රී සංඥාව සිතට ගන්න. ‘මෙන්න මනුෂ්‍යයෙක්‌. මෙන්න වාහනයක්‌’ කියල හඳුනාගන්න මොහොතේම ඒ හඳුනා ගැනීම ගැන සිතන්න එපා. මෛත්‍රී සංඥාව නැතිනම් අනිත්‍ය සංඥාව සිතට ගන්න. ඔබ හඳුනාගත්තා වූ දෙය ගැන සිතන්න ගියොත් සිත විසිරෙනවා. ඒ කියන්නේ ගැටෙන සිතුවිලි නිසා අකුසලයන්ට අදාළ සංස්‌කාර රැස්‌වෙනවා. හැකිතාක්‌ සිතීම අඩුකරන්න. සිතීම අඩුකරන ප්‍රමාණයට සංස්‌කාර රැස්‌වෙන ප්‍රමාණය අඩුවෙනවා. යමක්‌ දැක්‌කාද ‘දැක්‌කා’ය කියන තැන නවතිනවා. එවිට හඳුනා ගැනීමත්, සංස්‌කාරත් ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ.

දැන් ඒ තරුණ ස්‌වාමීන් වහන්සේ තමන් වඩින පාරේ වාහන තිබුණාද ජනතාව ගැවසුණාද ඒවා ගැන සිතන්න යන්නේ නැහැ. ඒ නිසාම විතර්ක සකස්‌ වෙන්නේ නැහැ. මෛත්‍රී සංඥාවෙන්ම තම පිණ්‌ඩපාත චාරිකාව අවසන් කර කුටියට වඩිනවා. පිංවත් ඔබ ඔබේ ජීවිතයේ ආපස්‌සට සිත යොමුකරල බලන්න අපි ජීවිතයේ වැඩියෙන්ම කරන්නෙ මොකක්‌ද? දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ දෙයට ඇලිල ගැටිල ඇලුණු ගැටුණු දෙය හඳුනාගෙන හඳුනාගත්ත දෙය ගැන සිතනවා. මේ සිතීමේ පුරුද්ද නිසා මොනතරම් සංස්‌කාරයන් අපි සකස්‌ කර ගන්නවාද?