වේදනානුඵස්‌සනාව – 4

භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්‌, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්‌. අනුන්ගේ සැප දුක්‌ බලෙන් ගත්ත කෙනෙක්‌. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක්‌ වේදනාවන් ප්‍රතික්‍ෂේප කරමින් යනවිට, භික්‍ෂුව සැප දුක්‌ වේදනා සොයාගිය කෙනෙක්‌. භික්‍ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්‌සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය දැක්‌කේ, රූපය ඇසුරින් දුක්‌ සැප වේදනාවන් තුළට කිඳාබැසලාමයි. රූපයට කිඳාබසිමින්, අත්දැකීමෙන්ම මතුකරගත් වේදනාවේ අනිත්‍යභාවය මට කවදාවත් පාර වැරැද්දුවේ නැහැ.

මම කෙනෙක්‌ සිනහවෙනවා දකින්න කැමතිවුණා වගේම, අඬනවා දකිද්දිත් අහක නොබලා ඒ දෙස බලා සිටියා. වචන වලින් කථා කරනවා වගේ නොවේ සිනහව කථාකරනකොට. සිනහව කථාකරනවා වගේ නොවේ කඳුලක්‌ කථාකරන කොට. එය හරිම සංවේදියි. සිනහවෙන් කිසිවෙකුට එදා මාව හඬවන්න පුළුවන්කමක්‌ ලැබුණේ නැහැ. ඒත් හඬන කෙනෙකුට මාව හඬවන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා මම සිනහවට වඩා කඳුලට බියවුනා. සැපයට වඩා මම දුකට බියවුණා. එහෙම වෙන්න හේතුවක්‌ තිබුණා. ඊට හේතුවුනේ මම සංසාරයේ මෛත්‍රිය, කරුණාව උපරිමයෙන් වඩලා ඇතිබව මා තුළින්ම මා මතුකොට දැකගත්ත නිසා. ඒ නිසාම දුක ඉදිරියේ මගේ සංවේදීභාවය වැඩිවුණා. මේ සංවේදීභාවය සකස්‌කොටදෙන්නේ තෘෂ්ණාවේ ත්‍රිව්රභාවය නිසාමයි. මම කෙනෙක්‌ සතුටුවෙනවා පමණක්‌ දකින්න කැමතිවුනානම්, දුක, කඳුල විසින් මාව කොටුකරගන්නවා. ඒ නිසාම දුකට හඬන කෙනාව, මොහොතක්‌ සතුටු කරලා, අනුන්ගේ සිනහවත් කඳුලත් තුළින්ම වේදනාවේ අනිත්‍යභාවය මතුකොටගන්න මම දක්‍ෂවුණා.

භික්‍ෂුව ගිහි ජීවිතයේදී, උපේක්‍ෂා විඳීමට එතරම් කැමතිවුනේ නැහැ. මට එදා තේරුණා උපේක්‍ෂාව මාව රවට්‌ටනවා කියලා. හොඳ පුතෙක්‌ වෙන්න, හොඳ මහත්මයෙක්‌ වෙන්න, හොඳ සැමියෙක්‌ වෙන්න, හොඳ පුරවැසියෙක්‌ වෙන්න…. උපේක්‍ෂාවේ නාමයෙන් මට ඇමතූ, මාර හඬවල් මගේ දෙසවන් අතර තවමත් දෝංකාර දෙනවා. මට අවශ්‍යවුනේ මගේ අම්මා තාත්තාට හොඳ දරුවකුවී එතැන නතරවෙන්න නොවේ, සමාජයට හොඳ මහත්මයකු වී එතැන නතරවෙන්න නොවේ, බිරිඳකට හොඳ ස්‌වාමිපුරුෂයකු වීමට නොවේ, උපන් රටේ සංවර්ධනයට උරදෙන හොඳ පුරවැසියකු වීමට නොවේ. ඉහත හොඳ කාරණාවන් සියල්ලම ක්‍රිස්‌තියානි, මුස්‌ලිම්, හින්දු පිංවතුන්ලා තුළත් තිබෙනවා. මෙන්න මේ උපේක්‍ෂා විඳීමේ රැවටිලිදායක තත්ත්වය ගැන තේරුම් ගැනීමේ නුවන, අතීත කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තිය නිසාම ගිහි ජීවිතයේදී මට ලැබී තිබුණා.

මගේ අම්මා තාත්තාට මම හොඳ කීකරු පුතෙක්‌ නොවුනාට, සමාජයට හොඳ මහත්මයෙක්‌ නොවුනාට, උපන් රටට ධනය උපයාදෙන හොඳ පුරවැසියෙක්‌ නොවුනාට, භික්‍ෂුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අතිජාත පුතෙක්‌ වුණේ, සංඝ සමාජයට හොඳ භික්‍ෂුවක්‌ වුණේ, සම්මා සම්බුද්ධ ශාසනයට ශක්‌තියක්‌ වුණේ, සැප වේදනා, දුක්‌ වේදනා වගේම උපේක්‍ෂා වේදනාවන් තුළ සැඟවී තිබූ මාරධර්මයන් හඳුනාගැනීම නිසාමයි.

පිංවත් ඔබ අතීත වේදනාවන්ගේ අනිත්‍යභාවය දකිමින්, වර්තමානයේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසට යමක්‌ දැක්‌ක, ඇසුණු, දැනුණු මොහොතේදීම හොඳින්, අවධානයෙන් පසුවෙන්න. දැක්‌කා, ඇසුනා, දැනුනා කියන තැනදීම ඵස්‌සයේ අනිත්‍යභාවය දකින්න. එතැනදී ඔබ දක්‍ෂවුනේ නැතිනම්, ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්වීම නිසා, සකස්‌වෙන දුක්‌ සැප උපේක්‍ෂා විඳීම්වලට බැඳීයන්නේ නැතිව, එම වේදනාවන්ගේ අනිත්‍යභාවය, වෙනස්‌වෙන ස්‌වභාවය, මෙනෙහි කරමින්, අතීත අත්දැකීම් ඔස්‌සේ වර්තමාන වේදනාවන්ගේ අනිත්‍යභාවය දකින්න. අනාගත විඳීම් කෙරෙහිද කලකිරීම ඇතිකරගන්න. පිංවත් ඔබ තුළ සකස්‌ වෙන වේදනාවන්ගේ අනිත්‍යභාවය වගේම, අන්‍යයන්ගේ ජීවිතත් වේදනානුපස්‌සනාවෙන් දකින්න. මෙතෙක්‌ භික්‍ෂුව සටහන් තැබුවේ සතර සතිපට්‌ඨාන ධර්මයට අදාළව වේදනානුඵස්‌සනා භාවනාවයි.