භවයේ උගුලද අගුලද මෙයම ය

පංච උපාදානස්කන්ධය තේරුම් ගනිමු

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සත්වයා බැඳුණොත් බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයට. සත්වයා නිදහස්‌ වුණොත් නිදහස්‌ වෙන්නේ පංචඋපාදානස්‌කන්ධයෙන්මය’ කියලා. භවයට සත්ත්වයාව බැඳ තබන පංචඋපාදානස්‌කන්ධය මාරයා හැටියටත්, භවයෙන් නිදහස්‌ වීම පංචඋපාදානස්‌කන්ධ මාරයාගෙන් නිදහස්‌ වීම කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පිංවත් ඔබත්, මමත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌ කල්ප විනාශයන් දස දහස්‌ ගණනක්‌ පසුකරමින් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ අතපසු කොටගනිමින් පැමිණි මේ දීර්ඝ කටුක භව ගමනට ඔබට උපකාරක ධර්මයන් සකස්‌කොට දුන්නේ පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි ඔබ ඇති කොටගත් තෘෂ්ණාව යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි සත්වයා ඇති කොටගන්නා වූ තෘෂ්ණාවේ ඵලය වශයෙන් සත්වයාට ලැබෙන්නේ මමත්වයේ දැඩිභාවය හෙවත් සක්‌කාය දිට්‌ඨියයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහා සාගරයේ ආශ්චර්යමත් කාරණා කිහිපයක්‌ම තිබෙනවාය කියලා. මහා සාගරය වෙරළින් පටන් අරගෙන ක්‍රමානුකූලව ගැඹුරින් ගැඹුරට යැම ඉන් එක්‌ කාරණාවක්‌. මේ උතුම් ධර්ම රත්නයේ ගමන් කරන පිංවතා මුලින්ම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නමැති වෙරළින් තමයි සද්ධර්මය කියන මහා සාගරයට බැසගන්නේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් සද්ධර්ම ශ්‍රවණයත්, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමත් කියන අර්ථයෙන් පිංවත් ඔබ, මා ආර්ය අශ්ටාංගික මාර්ගයට යොමු කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ තුළ වැඩීමේ ඵලය හැටියටයි පිංවත් ඔබ තුළින් කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්‌ඨාන ධර්මයන් වැඩෙන්නේ. සතර සතිපට්‌ඨාන ධර්මයන් ඔබ තුළින් වැඩීමේ ඵලය වශයෙන් සති, ධම්ම විජය, විරිය, ප්‍රීති, පස්‌සද්ධි, සමාධි, උපේක්‍ෂා කියන සප්ත බොඡ්ජංග ධර්මයන් වැඩෙනවා. සම්මා සම්බුද්ධ ශාසනයේ වෙරළ වන කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් පටන්ගෙන සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්‌ඨාන ධර්මයන්, සප්ත බොජ්ඣංග ධර්මයන්… මේ සියලුම ධර්මතාවයන් ඔබ තුළ වැඩෙන්නේ රූපය ඇසුරු කොටගෙන පංච උපාදනස්‌කන්ධයක්‌ වශයෙන්මය. මෙතැනදී පිංවත් ඔබ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් පටන් අරගෙන සප්ත බොජ්ඣංග ධර්මයන් දක්‌වා ඔබ තුළ වැඩෙන ධර්මතාවන්ට බැඳුණොත්, එම ධර්මතාවන් නිත්‍ය වශයෙන් ගත්තොත්, ඔබ ඒ බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයටමය.

මේ කාරණා තුළින් පිංවත් ඔබට වැටහෙනවා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින්, සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින්, නුවණින් මෙනෙහි කිරීම තුළින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළත්, සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළත්, සප්ත බොජ්ඣංග ධර්මයන් තුළත් ඔබ මෙම ධර්මතාවන් නිත්‍ය වශයෙන්, නොවෙනස්‌ වන ස්‌වභාවයෙන් දකිනා මොහොතක්‌ පාසා පංචඋපාදානස්‌කන්ධ මාරයා ඉහත ධර්මතාවන් තුළත් බැසගෙන සිටිනවාය කියන කාරණය.

පිංවත් ඔබ අදක්‍ෂ නම්, ඔබ තුළ වැඩෙන ධර්මතාවන්ට බැඳෙනවා නම්, ආශ්වාදයට යටවෙනවා නම්, පංචඋපාදානස්‌කන්ධ මාරයා බැසගෙන සිටිනවාය කියන කාරණය, සද්ධර්ම ශ්‍රවණය තුළින්, පිංවත් ඔබ තේරුම්ගත යුතුයි. ඔබ අදක්‍ෂ නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළත් පංචඋපාදානස්‌කන්ධ මාරයා බැසගෙන සිටිනවා.

බුදුරජාණන් වහන්සේ කියන අති උතුම් කල්‍යාණ මිත්‍රයා අනිත්‍ය භාවයට පත්වුණා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අනාගතයේ යම් දවසක අතුරුදන් වී යනවා. බුදුරජාණන් වහන්සේ තුළ වැඩුණු ආර්ය අශ්ටාංගික මාර්ගය, සතර සතිපට්‌ඨාන ධර්මයන්, සප්ත බොජ්ඣංග ධර්මයන් අනිත්‍ය භාවයට පත්වුණා. පිංවත් ඔබ අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ ඉපදිලා මොන තරම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයන් ලබන්නට ඇතිද. බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා යන මේ ලෝක ධාතුවේ දුර්ලභම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඔබ ලබලා තිබෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරලා තිබෙනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරලා තිබෙනවා. නමුත් මේ සෑම අතීත ධර්මතාවක්‌ම අනිත්‍යවූ සංස්‌කාරයන් පමණක්‌මයි. මේ සංස්‌කාරයන් නිත්‍ය වශයෙන් ඔබ ගත්ත නිසාම, ආශ්වාදයක්‌ කරගත්ත නිසාම, එම සංස්‌කාරයන් වෙනස්‌ වුණා, පිරිහුණා, අනිත්‍ය වී ගියා. සංසාරයේ ඔබ මොනතරම් ආර්ය අශ්ටාංගික මාර්ගය පුහුණු වෙලා ඇතිද? භාවනා පංති ලක්‍ෂ කීයකට සහභාගිවෙලා, සතර සතිපට්‌ඨාන ධර්මයන් පුහුණු වෙන්නට ඇතිද? අතීතයේ සමථ භාවනාවන් පුහුණුවෙලා, සප්ත බොජ්ඣංග ධර්මයන්වල ආශ්වාදය ජීවිතයට මොනතරම් ලබන්නට ඇතිද?

නමුත් මේ සෑම ධර්මතාවක්‌ම වෙනස්‌වී ගියා. පිරිහී ගියා, අහිමිවී ගියා, අනිත්‍ය දෙය අනිත්‍ය වශයෙන් නොදැක්‌ක නිසාම, දුක දෙය දුක වශයෙන්, අනාත්ම දෙය අනාත්ම වශයෙන්, අසුබ දෙය අසුබ වශයෙන් නොදැක්‌ක නිසාම පිංවත් ඔබ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේදීත්, සද්ධර්ම ශ්‍රවණයේදීත්, නුවණින් මෙනෙහි කිරීමේදීත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්‌ඨාන ධර්මය, සප්ත බොජ්ඣංග ධර්මයන් වැඩීමේදීත්, එම ධර්මයන් තමා තුළින් මෝදුවෙද්දීත්, පංචඋපාදානස්‌කන්ධ මාරයා පිංවත් ඔබව මේ සෑම ධර්මතාවක්‌ම, ආශ්වාදයේ නිත්‍ය වූ සැපයක්‌ බවට පෙන්වා, මෙම ධර්මතාවන් තුළින්ම මමත්වයේ දැඩිභාවය වර්ධනය කොට ඔබව නැවත භවයේම කොටස්‌කරුවෙක්‌ බවට පත්කොට තිබෙනවා. එමනිසා පිංවත් ඔබ දක්‍ෂ වෙන්න ඕනේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, ශ්‍රවණය කළාවූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරමින් මේ ධර්මතාවන්ගේ අනිත්‍ය භාවය දකින්න.