මගේ මළකඳ තුළිනුත් ඔබ ධර්මයම දකින්නේ නම්

සංස්කාර

පිංවත් ඔබ, දෑස්‌ පියාගෙන අතීතයේ නිතිපතා අකුසල් කඳු නිසා කල්ප විනාශයන්ට මැදිවී, ඔබත් මමත් පිච්චි, පිච්චී මියගිය තැන නුවනින් දකින්න. එදාට සත්ත්වයාගේ ආයුෂය වන්නේ එක සිතිවිල්ලක්‌ සකස්‌වෙන කාලයයි. සංස්‌කාරයන් පිංවත් ඔබට කරන මේ තියුණු විනාශය නුවනින් දකිමින් සංස්‌කාරයෝ අනිත්‍යයි, අනිත්‍යයි… වශයෙන් මෙනෙහි කරන්න. සත්ත්වයාගේ අවිද්‍යාව නිසාම, අනිත්‍ය වූ සංස්‌කාර විසින් ලෝකය පාලනය කරනවා. සංස්‌කාර විසින් යම් දවසක අවීචි මහා නිරයට ඇද දමන සත්ත්වයාව, සංස්‌කාර විසින්ම යම් දවසක පසේ බුදුරජාණන්වහන්සේ නමක්‌ බවට පත්කරනවා (දේවදත්ත චරිතය උදාහරණයකට ගන්න) සංස්‌කාරයන්ගේ වියරුභාවය දකිමින් පිංවත් ඔබ නිවැරදි වෙන්න. ආදර්ශමත් වෙන්න.

ඔබට වැරදුනොත්, ඔබේ පූර්වාදර්ශයන් ඔස්‌සේ තව ගොඩාක්‌ දෙනා වරද්දවා ගන්නවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි පිංන්වතුන්ලා සතුටින් විනෝදයෙන් ජීවත්වෙනවා දකින්න මම අකමැති නැහැ. ඒත් මේ ලෝභ, ද්වේෂ, මෝහ සංස්‌කාරයන් විසින් සත්ත්වයා බලවත් වූ අනතුරුවලට ඇද දමනවා. එම නිසා පිංවත් ඔබ ජීවිතයේ සෑම ක්‍රියාවකදීම සිතුවිල්ලෙන් සිතිවිල්ලට, ක්‍රියාවෙන් ක්‍රියාවට සතිය පිහිටුවාගන්න. එළවළුවක්‌ මාළුවක්‌ ඖෂධයක්‌ තෝරාගැනීමේදී නීරෝගීභාවය පිළිබඳ සකස්‌වන ලෝභ සිතක්‌ ඇතිවුණොත්, ඒ මොහොතේම රෝගීභාවයත්, නීරෝගීභාවයත් අනිත්‍යක්‌ම බව සිතන්න. ඇඳුමක්‌ පැළඳුමක්‌ පරිහරණය කරනකොට, ගේදොර පරිහරණය කරනකොට, ශරීරය ලස්‌සන කරනකොට, රුපය ගැන ලෝභ සිතිවිල්ලක්‌ ඇතිවන මොහොතේදී, ලස්‌සනත් අවලස්‌සනත් අනිත්‍ය බව නුවනින් දකින්න. මේ ඔබ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවයයි නුවනින් දකින්නේ.

පිංවත් ඔබ දක්‍ෂ නම්, සුපිරි වෙළඳසළකට ගිහිල්ල, ගමේ කඩේට ගිහිල්ල එළවළුවක්‌ මිලදී ගන්නකොටත් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ජීවිතයට එකතුකොටගන්න පුළුවන්.

පිංවත් ඔබ කැමති දේ මිලදී ගන්න. කැමති දෙය ලස්‌සනට අඳින්න පළඳින්න. ඒවා කෙරෙහි නිත්‍යභාවයක්‌ දකින්න එපා. රූපයේ නීරෝගීභාවය, පිරිසිදුභාවය කෙරෙහි තෘෂ්ණාව ඇතිකොට ගන්න එපා. පිංවත් ඔබ දානමය, ශීලමය, ධර්ම දේශනාමය, පිංකමක්‌ සිදුකිරීමේදී ද දක්‍ෂවෙන්න, ඔබ රැස්‌කොටගත් සංස්‌කාරයන් ගැන සතුටුවෙනවා වගේම, එම සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. භික්‍ෂුවට මේ මොහොතේ යම් පිංවතෙක්‌ පිරිකරක්‌ පූජා කළොත්, මේ මොහොතේම එය සිතෙන් අයින්කරනවා. සංඝයා උදෙසා පූජා කරන දෙය සංඝයාට අයිති දෙයක්‌ බව දැකලා, භික්‍ෂුව එසේ කරන්නේ අකුසලයෙන් බැහැරවී කුසලයේ පරිපූර්ණ වීමට නොවේ. මේ වියරු සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය පිළිබඳව පිංවත් ඔබට ආදර්ශයක්‌ දෙන්නයි. පිංවතුන්ලා ශ්‍රද්ධාවෙන් පිරිකර පූජාකොට සුගතියට යද්දී, පිරිකර හිමිකරගත් පිංවතුන් දුගතියට ගිය අවස්‌ථා ගොඩාක්‌ තිබෙනවා. පිංවත් ඔබ සංස්‌කාරයන් කෙරෙහි වැට බැඳීමට නම්, රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්නට වෙනවා.

ගිහි ජීවිතයේදී භික්‍ෂුව පංච උපාධානස්‌කන්ධය අනිත්‍යයි කියන වචනයවත් එතරම් අහලා තිබුණේ නැහැ. නමුත් එහි අර්ථය එදා ජීවිතය තුළ තිබුණ බව භික්‍ෂුව වර්තමානයේ දන්නවා. ගිහි ජීවිතයේදී මට ලැබුණු අවස්‌ථා හුඟාක්‌, අනුන්ගේ සතුට උදෙසා මම අහිමිකොටගෙන තිබෙනවා. වර්තමානයේ ඒ ක්‍රියාවන් දෙස අතීතාවර්ජනයක යෙදෙන විට, එදා මා තුළ රූපයේ අනිත්‍යභාවය සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය පිළිබඳ දැනීම අතීත පුහුණුවක්‌ නිසාම සැඟවී තිබුණ බව හොඳටම ප්‍රකට වෙනනවා. මේවා ගැන කොපමණ සටහන් තැබුවත්, මේ තබන සටහන්ද අතීත සංස්‌කාරයන්ගේ ඵලයක්‌මයි. මේ සටහන් කියවීම තුළින් ඔබ රැස්‌කොටගන්නා වූ සංස්‌කාරයනුත් අනිත්‍යභාවයට පත්වෙන සංස්‌කාරයන්මයි.

මේ සටහන් ලිවීමට හේතුවූ අතීත කුසල් සංස්‌කාරයන් ද, යම් මොහොතක අනිත්‍යවෙලා යනවා. එදාට පිංවත් ඔබ මෙම සටහන් තැබූ භික්‍ෂුවගේ මළකඳ ළඟට ඇවිල්ලා සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියලා, භික්‍ෂුවගේ මළකඳ තුළිනුත් ධර්මය දකින්න දක්‍ෂනම් මේ ලිපිපෙළ පරිශීලනය කිරීම තුළිනුත් ඔබ රැස්‌කළාවූ සංස්‌කාරයන් සැබෑ ලෙස ඔබේ අවබෝධඥානය තුළ තැන්පත්කොට ගත්තා වෙනවා. එසේ නොවී ඔබ භික්‍ෂුවගේ මළකඳ දැකලා කනගාටු වුවහොත්, වැළපුණහොත් ඔබ මළකඳක්‌ තුළින් මළකඳක්‌ම, අධර්මයක්‌ම දැක්‌ක අවාසනාවන්තයෙක්‌ම වෙනවා.