පිංවත් ගිහි පින්වතුන්ලා තේරුම් ගත යුතුයි. අතීතයේ සිදුවූ යම් සිල්පදයන්ගේ දුර්වලතාවයන් වෙතොත්, අනිත්‍ය සංඥව තුළින් එම බිඳුණ සිල්පදය විනිවිද දකින්න. එවිට ඔබ බිඳුණු සිල්පදය උපයෝගී කොටගෙන සංසාර බිය අවම කරගත් දක්‍ෂයෙක්‌ වෙනවා. ඉකුත් සටහනේ සඳහන් කළා උපසම්පදා භික්‍ෂුවකට ගසක කොළයක්‌ කැඩීම වරදක්‌ය කියලා. මෙතැනදී ගසක කොළයක්‌ කැඩීම වරදක්‌ය කියලා පනවන්නේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේලාට පමණයි. ගිහි පිංවතුන්ලාට මෙය අදාළ නැහැ. ඔබ ඉදිරියේ තිබෙන සෑම ලොකු කුඩා ගසකටම අධිගෘහිත දෙවියෙක්‌, රුක්‌ දෙවියෙක්‌, ප්‍රේතයෙක්‌ සිටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගසක මුලට අධිගෘහිත දෙවියන් සිටිනවා. ගසේ කඳට, පොත්තට, ගසේ අතු කොළ වලට, මල් ඵලවලට අධිගෘහිත දෙවියන් සිටිනවා. ගස්‌වල මුල් ජීවිකාව කරගෙන කොච්චර මනුෂ්‍යයෝ ජීවත් වෙනවාද? ගසේ පොත්ත, අරටුව, මල්, ඵල, ජීවිකාව කරගෙන කොපමණ මනුෂ්‍යයෝ ජීවත් වෙනවාද? මේ අය මැරෙන මොහොතේ තමාට ජීවත් වීමට උපකාර වූ ගසේ උපාදානය ඇතිවුවහොත් ගසම උපාදානය කොට නැවත ඉපදෙනවා.

මේ දෙවියන් ඇතුළු කොටස්‌ ගස මගේ කොටගෙන ජීවත්වෙන්නේ. මේ මොහොතේ භික්‍ෂුව වැඩසිටින කුටියේ ලොකු හූනන් දෙදෙනෙක්‌ සිටිනවා. මේ දෙදෙනා මෙම කුටිය ඒ අයගේ නිවස කරගෙනයි ජීවත් වෙන්නේ. සමහර කුටිවල ගෙම්බෝ සිටිනවා. ඒ අයව කොච්චර එළියට දැම්මත් කුටිය ඇතුළටමයි ඒ අය එන්නේ. මොකද එම සතා කුටිය එයාගේ නිවස කරගෙනයි ජීවත්වෙන්නේ. ඔබ, ඔබේ නිවස, ඔබේ කරගෙන ජීවත් වෙනවා වගේ, මේ ගස්‌වලට අධිගෘහිත දෙවිවරුන්, ඇතුළු අමනුෂ්‍ය පිරිස්‌, ගස මගේ කොටගෙනයි ජීවත් වෙන්නේ. ඒ අය මගේ කොටගෙන ජීවත් වෙන ගස කවුරු හෝ මනුෂ්‍යයෙක්‌ කපා කොටා, අතු අහින කොට, කොළ කඩනකොට, ඒ අය කේන්ති ගන්නවා. ගැටෙනවා, බියට පත්වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක්‌තරා භික්‍ෂුවක්‌ කැලයේ ගසක්‌ කැපීම නිසා එම ගස තම වාසභවනය කොටගෙන සිටි දේවතාවියක්‌, බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා ඔබවහන්සේගේ ශ්‍රාවකයන් කැලයේ ගස්‌ විනාශ කරනවා, මගේ වාසභවනය මට අහිමි කළා කියලා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ විනය කාරණාවක්‌ පණවනවා. ගසකට එහි කොළයකට හානි කරන්න එපාය කියලා.

පිංවත් ඔබත් ඕනෑවට වඩා, ගස්‌වලට, මල්ගස්‌වලට, ආශාකළොත්, එම ගසේම, එම මල් පෝච්චියේම පුංචි දෙවියෙක්‌ දිව්‍යාංගනාවක්‌, රුක්‌ දෙවියෙක්‌ වෙලා උපදින්න පුළුවන්. එහෙම ඉපදිලා කවුරුහරි එම මල්ගස කපනකොට මල් කඩනකොට, පුංචි දිව්‍ය සිතේ ද්වේශය ඇතිවෙලා නිරයට වැටෙන්නත් පුළුවන්.

එක පිංවත් මහත්මයෙක්‌ සිටියා, මහත්මයා පරලොවගැන එතරම්, නොසිතපු මහත්මයෙක්‌. සිල්සමාදන් වූයේ නැහැ. පිංකම් කළෙත් නැහැ. නරක වැඩ කළෙත් නැහැ. බිරිඳ දරුවන්ට හොඳින් සැලකුවා. මේ මහත්මයා වගාවට බොහෝම කැමැති කෙනෙක්‌. මල්ගස්‌ පලතුරු ගස්‌ ඉඩමේ නිතරම සිටෙව්වා. මේ මහත්තයා අවුරුදු 70 ක්‌ පමණ ජීවත් වෙලා මිය පරලොව යනවා. භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් අරමුණුකොට බලනවා. මේ මනුෂ්‍යයා නැවත කොතැනක උපත ලැබුවාද කියලා. ඒ වෙලාවේ භික්‍ෂුවට අරමුණු වෙන්නේ කහපාට මලක්‌. ඒකෙන් පැහැදිලි වෙන්නේ මලකට අධිගෘහිත දෙවියෙක්‌ හෝ අමනුෂ්‍යයෙක්‌ හැටියට ඉපදිලා. මේ ආත්මභවයත් බොහෝම දුර්වලයි. මලක්‌, මල් පැළයක්‌ උපදානය කොට ගෙන ඉපදුන කෙනා, එම මල කඩනකොට, මල පරවෙනකොට, ගැටීම නිසා වෙනස්‌ භවයකට චුත වෙන්න පුළුවන්. පිංවත් ඔබත් මල් ගස්‌වලට, මල් පෝච්චිවලට ආදරය කරන්නේ බොහෝම පරිස්‌සමෙන්. සමහර නෝනලා කියනවා ඇසිලා තිබෙනවා මගේ ජීවිතයට වඩා මගේ මල් ගස්‌ ටික මට වටිනවා කියලා. මෙවැනි තෘෂ්ණාවන්ගෙන් අපි බැහැර වෙන්න ඕනේ. ජීවිතය, ධර්මයෙන් තොර නිසාම, ජීවිතයේ වටිනාකම දකින්නේ නැහැ. ජීවිතයට වඩා මල් ගස්‌ ටික වටිනවා කියලා දකිනවා.

භික්‍ෂුව දන්න එක්‌තරා මහත්මයෙක්‌ හදිසි අනතුරකින් මියගියා. විවාහක දරුවන් සිටින තාත්තා කෙනෙක්‌. මේ මහත්මයා මියගියාට පස්‌සේ, භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන්, අරමුණු කොට, බලල තිබෙනවා, මේ මහත්මයා නැවත උපත ලැබුවේ කොහේද කියලා. ඒ වෙලාවේ එම භික්‍ෂුවට දර්ශනය වෙන්නේ වෙරළු ගසක්‌ එම වෙරළු ගසේ සිට යමෙක්‌ කියනවා. “මම සිටින්නේ වෙරළු ගසේ” ය කියලා. ඒ කයන්නේ රුක්‌ දෙවියෙක්‌ බවට පත්වෙලා. ඔහු වෙරළු ගසේ ඉපදිලා. මේ වෙරළු ගස තිබෙන්නේ තම දරුවා ජීවත් වෙන නිවස ඉදිරිපිට. මොහු නිවස ඉදිරිපිට තිබෙන වෙරළු ගසට වෙලා තම දරුවා ව උපාදානය කර ගෙන බලා සිටිනවා. බලන්න, භවයේ කොතරම් නම් නවාතැන් පලවල් තිබෙනවාද කියලා. අපිට පෙනෙන්නේ අපේ නිවසත් අහල පහළ නිවාසත් පමණයි. අපිට පෙනෙන නිවාසවලට අමතරව, අවට පරිසරයේ ගහකොළවල කොතෙක්‌ නම් ජනාවාස, වාසභූමි තිබෙනවාද? මේ වාසභූමිවල සත්වයන්ගේ ජනගහනය ගැන බලනකොට, මිනිස්‌ ජනගහනය කොයිතරම් නම්, ප්‍රමාණාත්මකව අඩුද? මෙම කාරණාවන් අලුතින් දකිමින් පිංවත් ඔබත් සංසාර බිය ඇතිකොට ගන්න.