උතුම් පැවිදි ජීවිතය ගතකරන අපි, පාංශුකූල චීවරය, පිණ්‌ඩපාතයෙන් යැපීම, කැළයේම හුදෙකලාව ජීවත්වීම, එකවේලක්‌ යැපීම කියන කාරනා නිවන් මාර්ගය මෝදුකොටගැනීමට, සත්තිස්‌ බෝධිපාර්ශ්වික ධර්මයන් වැඩීමට උපකාරක ධර්මයන් බවටයි පත්කොට ගත යුත්තේ. එසේ නැතිව එම උපකාරක ධර්මයන් නිවන් මාර්ගයේ ඵලයක්‌ හැටියට ගැනීමට නොවෙයි. මොකද භික්‍ෂුව දැකලා තිබෙනවා, සමහර පිංවත් ස්‌වාමීන්වහන්සේලා එකවේලක්‌ පිණ්‌ඩපාතයෙන් යැපීම නිසා තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය කියලා සතුටු වෙනවා. පාංශුකූල චීවරය දැරීම තුළින් තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුනාය කියලා සතුටුවෙනවා. වනයේ හුදෙකලාව වැඩසිටීමෙන් තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය කියලා සතුටුවෙනවා. මේ සියලුම කාරණා උතුම් නිවන් මාර්ගයට, නිවන් අවබෝධයට මග පෙන්වන උපකාරක ධර්මයන් පමණය කියන කාරණය අපි දකින්න ඕනේ.

නිවන් මාර්ගයට අවශ්‍ය කරන උපකාරක ධර්මයන් හෙවත් හේතූන්, ඵලය හැටියට ගත්තොත් පිංවත් ඔබ සකුළුදායි තරුණයා සිටිය තැනයි සිටින්නේ (පෙර පළවූ ලිපියේ ඒ ගැන සඳහන් විය)

භික්‍ෂුවට මේ මොහොතේ, වර්තමානයේ සිට ඒ අතීත භික්‍ෂු ජීවිතය දෙස ආවර්ජනාත්මකව බැලීමේදී භික්‍ෂුවට පෙනෙන්නේ කිසිම සැලසුම් කිරීමකින් තොර ගමනක්‌, ඉතාමත් හොඳ සැලැස්‌මක්‌ ඇතිව ඇවිත් තිබෙන ස්‌වභාවයයි. මා සැලසුම් නොකළ මේ ගමන, සැලසුම් කරනු ලැබුවේ මගේ සංස්‌කාර ධර්මයන් විසින්මයි. සංස්‌කාරයන්ට පුදුමාකාර ශක්‌තියක්‌, හැකියාවක්‌ තිබෙනවා, ගමනක්‌ වැරදි හෝ නිවැරදි දිශාවට සැලසුම්කර දෙන්න. දුරුකළ යුතු දේ දුරුකරමින්, සමීපකර ගතයුතුදෙය සමීපකර ගනිමින්, දුරුකළ දෙයත්, සමීපකොටගත් දෙයත් කෙරෙහි තෘෂ්ණාව හීනකොටගෙන පැමිණි ගමනේ අතීතය දෙස ආපහු හැරී බැලීමේදී භික්‍ෂුව දකින්නේ හිස්‌වූ ජීවිතයක්‌ මිස, කටුසටහන්වලින් යුත් මතක සටහන් ගොන්නක්‌ නොවේ. මොකද භික්‍ෂුව ජීවිතය ජයගත්තා හෝ පරාජය වූවා නොව, තරගයෙන් ඉවත්වූවා පමණි. ජයත් පරාජයත් යන දෙකම ලෝකයට විවෘත වූ ධර්මතාවයන්ය.

වේලාව සවස 5.00ට විතර ඇති. භික්‍ෂුව වැඩසිටින කඳුකර ප්‍රදේශයට වේගයෙන් සුළඟ හමනවා. කඩින් කඩ වැසිත් ඇතිවෙනවා. පරිසරය අඳුරු කරලා තිබෙන්නේ. ලොකු වැස්‌සක පෙරනිමිති පේනවා. මේ වැස්‌සට ගම්වැසියෝ කියන්නේ මහියංගන පෙරහැර වැස්‌ස කියලා.

අතුරුභෝග කුඹුරුවල වගාකරලා තිබෙන, ගමේ ගොවි මහත්වරුන්ට මේ වැස්‌ස බලාපොරොත්තු ඉහළ නංවනවා. වැස්‌ස ගැන කථාකරනකොට මතකයට එන්නේ වැස්‌සවලාහක දෙවියන්ව. වැස්‌සවලාහක දෙවියන්ට ලස්‌සන දූවරු දෙදෙනෙක්‌ ඉන්නවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ලොකු දුවගේ නම කෝකන්දා, පොඩි දුවගේ නම චුල්ල කෝකන්දා. මේ දිව්‍ය දියණියන් දෙදෙනා එයාලගෙ පිරිවර දිව්‍ය යෙහෙළියන් පිරිවරාගෙන වළාකුළු මත සෙල්ලම් කරනවා. කාමච්ඡන්දයන් විඳිනවා. මේ වැස්‌සවලාහක දූවරු දෙදෙනා පිංකම්වලට ගොඩක්‌ කැමතියි. මනුෂ්‍ය ලෝකයේ සිල්වත් ස්‌වාමීන්වහන්සේලා ධර්මදේශනා කරනකොට, මේ අය කාමච්ඡන්දයන් විඳලා වැසි වස්‌සන්නේ නැහැ. නමුත් මේ අයට පාලනය කරන්න බැරි වැසි තිබෙනවා. ඒවා ඇතිවන්නේ සතර මහා ධාතුවේ කිපීම් නිසා. අකුණු ගහලා, ගොරවලා, සුළඟ හමලා ඇතිවෙන ධාරාණිපාත වාර්ෂාවන් සතර මහා ධාතුවේ කිපීම් නිසා ඇතිවන වැසි. මේවා පාලනය කරන්න වැස්‌ස වලාහක දෙවියන්ට හෝ ඔහුගේ දූවරු දෙදෙනාට බැහැ. එමනිසා ඔබ කරන පිංකම් ධර්මදේශනා අසාර්ථක කරමින් ලොකු වර්ෂාවන් වහිනකොට, ඔබ වැස්‌ස වලාහක දෙවියන්ට, එම දිව්‍ය දියණියන්ට බනින්න එපා. ඒ අය අහිංසකයි. පිංවත් ඔබලා පිංකමක්‌ කරනකොට පුංචි පුංචි මල්වැසි වස්‌සලා එම පිංකම්වලට ආශිර්වාද කරන්නේ එම පිංවත් දිව්‍ය දියණියන්මයි.

භික්‍ෂුව මේ මොහොතේ වැඩසිටින කුටිය පිහිටි දුප්පත් ගම්මානයේ ගම්වැසියන්ට භික්‍ෂුව නිතරම කියනවා, ධර්මයට සම්බන්ධ යම් ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් පිණ්‌ඩපාත වේලාවෙදි අහන්න කියලා. ඒ පිංවතුන් අසන්නේ දානයේ ලුණු ඇඹුල් බලන්න හොඳද නැද්ද කියලා. බුද්ධ පූජාව පූජාකළාට පස්‌සේ එය විසිකරන්න හොඳද නැද්ද කියලා. ඉන් එහා ප්‍රශ්නයක්‌ එම පිංවතුන් අසන්නේ නැහැ. එම නිසාම සංසාර බියට අදාළව බණ ටිකක්‌ ඒ අයට කියලා දෙනවා. මේ අයට සංසාරය තව කොතෙක්‌ දීර්ඝ වෙයි ද? තවත් කල්ප විනාශ කිහිපයකට මේ අය මුහුණදෙයි ද? භික්‍ෂුව නැවතිලා සිටිනවා. ලෝකය ගලාගෙන යනවා. ගලාගෙන යනවා කියන්නේ සංස්‌කාර රැස්‌වෙනවා. නැවතී සිටින තැන සිට ලෝකය දෙස බලනකොට කරුණාවක්‌මයි සකස්‌වෙන්නේ. එම නිසා භික්‍ෂුව මෙලෙස සටහන් ලියනවා. බණ කියනවා. නමුත් ජීවිතය නැවතිලා. විපාකය පිණිස සකස්‌වෙන අතීත සංස්‌කාර හරි හරියට විපාක දෙනවා. කෙනෙකුට සංස්‌කාර විපාක දෙනකොට, තවකෙනෙක්‌ හරිහරියට සංස්‌කාර රැස්‌කරගන්නවා. කෙනෙක්‌ නැවතුනත්, තවකෙනෙක්‌ ඔහු නිසා හරි හරියට දුවනවා. ලෝකය ඒ සුපුරුදු ආකාරයෙන් ගලාගෙන යනවා. නමුත් නැවතී සිටින භික්‍ෂුව එය දකිනවා. ජීවිතය කියන්නේ ප්‍රශ්නාවලියක්‌. එම ප්‍රශ්නාවලිය කථාකරලා විසඳගන්න බැහැ. උපත නිරෝධය කිරීමෙන්මයි, ප්‍රශ්නාවලිය අවසන්කොට ගත හැක්‌කේ.