පිංවත් ඔබ සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළ ශක්‌තිමත්වෙන්න. හේතුඵල ධර්මයන් නිසාම ඔබට ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලයට ඇලෙන්න එපා. ආයුෂ වර්ණය සැපය බලයට ඊර්ෂ්‍යයා කරන්න එපා. ද්වේශ කරන්න එපා. ඒ හේතුවෙන් පළිගන්න එපා. සම්මාදිට්‌ඨියේ අර්ථයන් තුළ සිටිමින්ම ඉහත අර්ථයන් විග්‍රහකරගන්න දක්‍ෂවෙන්න.

මාර්ගඵල ලැබීමට පෙරාතුව මේ ධර්මයන් අපි දැනගත යුතුයි. එසේ නොවුණහොත් මාර්ගඵලත්, ධර්මයත් දෙකම අපට අහිමිවෙනවා. ලෝකය නැවත හටගන්න මුල්කාලයේ පටන් පාලක පන්තියත්, පුජකපක්‍ෂයත්, ව්‍යපාරික, ගොවි, කම්කරු පන්තියත් මේ ලෝකයේ සිටියා. ඒ ඒ පන්තීන්ට පෙර පින සහ පව් නිසා ලැබෙන සැපයේ විවිධත්වය සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළින් දකින්න ඕන. කම්කරු පන්තියේ මහත්මයෙකුට රටක පාලකයෙක්‌ වෙන්න අවශ්‍ය කුසලයේ මාර්ගය උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය තුළයි තිබෙන්නේ. එම නිසා සැපයට කැමති වීමෙන් ඔබ ඔබේ ආරක්‍ෂක ඉලක්‌කය කරගත යුත්තේ සම්මා සම්බුද්ධ ශාසනයයි.

භික්‍ෂුව මේ සටහන ලියන්නේ ලෞකික සම්මා දිට්‌ඨියේ අර්ථයන් ඔබට පැහැදිලිකර දීමටයි. ඒ තුළින් අනතුරු නුවනින් දැකලා ධර්ම මාර්ගය තුළ අප්‍රමාදීභාවය ඇතිකරගන්න. එක රැයකින් හුඟක්‌ දේවල් වෙනස්‌වෙලා යන්න පුළුවන්. විනාශවෙලා යන්න පුළුවන්. කොසොල් රජතුමාගේ දරුවෙක්‌ වූ විරූඬක කුමාරයා ශාක්‍ය වංශය සමග ඇතිකරගත් වෛරයක්‌ නිසා ශාක්‍යවංශයෙන් පළිගන්න හමුදාසේනාවන් අරගෙන කිඹුල්වතට යනවා. මේ කාරණය දිවැසින් දැකලා බුදුරජාණන් වහන්සේ තමන් උපන් ශාක්‍යය වංශය කෙරෙහි කරුණාවෙන් විරූඬක කුමාරයා සේනාව සමග ගමන් කරන අතර මගට වැඩම කරලා මෛත්‍රී ආනිශංස පහදා දීලා විරූඬක කුමාරය සහ සේනාව ආපසු හරවා ඇරියා. නැවත කාලයක්‌ ගියාට පස්‌සේ විරූඩක කුමාරයට පරණ වෛරය මතක්‌වෙලා ශාක්‍ය වංශය විනාශකර දැමීමට සේනාව අරගෙන කිඹුල්වතට යනවා. දෙවැනි වරත් බුදුරජාණන් වහන්සේ අතරමගට වැඩමකරල කුමාරයාට ද්වේශයේ ආදීනව පහදල දීලා ආපසු හරවා යෑවුවා. නැවත කාලයක්‌ ගියාට පස්‌සේ වීරූඬක කුමාරයාට ශාඛ්‍ය වංශය කෙරෙහි පරණ වෛරය මතක්‌වෙලා සේනාව අරගෙන කිඹුල්වතට යනවා. තුන්වැනි වතාවේ බුදුරජාණන්වහන්සේ දිවැසින් බලනවා, දෙවතාවක්‌ම විරූඬක කුමාරයාට අවවාද කරලත් ඇයි මේ විදිහට ඔහු ශාක්‍ය වංශිකයන්ව සමූලඝාතනය කරන්නට යන්නේ කියලා. බුදුරජාණන්වහන්සේ දකිනවා ශාක්‍යයන්ගේ අතීත ප්‍රාණඝාත අකුසල කර්මයක්‌ විපාක දීමටයි සූදානම් වෙන්නේ කියලා. බුදුරජාණන්වහන්සේ හේතුඵල දැකලා තුන්වැනි වතාවේ විරූඬක කුමාරයා නවත්වන්න වැඩියේ නැහැ. විරූඬක කුමාරයා ද්වේශයෙන් මුළු ශාක්‍යවංශයම මරා විනාශකොට දැම්මා.

බුදුරජාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව යන පස්‌මහ බැලුම් බලා උපන් ශාක්‍ය වංශයත්, බුදුරජාණ්‌වහන්සේ ජීවමානව සිටියදීම විනාශවී ගියානම් එතැන තමයි අප ඉගෙනගතයුතු ධර්මය. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයයි. එකම විසඳුම ධර්ම මාර්ගය තුළ අප්‍රමාදීභාවයයි. අප්‍රමාදී නොවුවහොත් අපව විනාශවෙලා යාවී. ඒ දෙසටයි හේතුඵල ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ.

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙද්දී සශ්‍රික දිව්‍යතලයක ජීවත්වන දිව්‍යාංගනාවක්‌ අරමුණුවෙනවා. ඇය සුදෝ සුදු ප්‍රභාශ්වර දිව්‍යාංගනාවක්‌. සුදු පාට හැර වෙන වර්ණයක්‌ ඇගේ දිව්‍ය ශරීරයේ නැහැ. ඇය ප්‍රභාශ්වර සුදු දිලිසෙන වස්‌ත්‍රයකිනුයි සැරසී සිටින්නේ. එය හරියට මඟුල් දිනයට මනාලියන් අඳින දිගු සුදු ගවුමක්‌ වගෙයි. ඇගේ කෙස්‌ කළඹ දනහිසින් පහළට වැටී තිබෙනවා. ඒ කෙස්‌ කළඹ සිනිඳු, දිලිසෙන සුදෝ සුදු කෙස්‌ කළඹක්‌. හිසකෙස්‌වල කළු පැහැයක්‌ නැහැ. ඒත් ඒ කෙස්‌ කළඹේ කාන්තිය, ජීවය පිරිලා. ඇගේ ඇසේ කළු ඉංගිරියාවත් සුදු පැහැතියි. ඇසෙන් ආලෝකය පිටවෙනවා. එයත් සුදුපැහැතියි. ඇය හිරුරැස්‌ සේ දීප්තිමත්, සුදෙන් බබලන දිව්‍යාංගනාවක්‌. පංච කල්‍යාණියක්‌. ඒ දිව්‍යාංගනාව වෙන කව්රුත් නෙමෙයි විහාරමහා දේවියගේ දිව්‍ය උපතයි. ඇය මෙවන් අසිරියක්‌ ලබන්නේ ගැමුණු පුතාට සම්මා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂාකරගන්න දුන් ගුරුහරුකම් නිසාමයි. ආරක්‍ෂාකොටගත් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය ජීවිතයට එකතුකොටගත් නිසාමයි. මේ මොහොතේ සශ්‍රික දිව්‍යථලයක දිව්‍ය සැප අත්විඳින දුටුගැමුණු දිව්‍ය කුමරු, විහාරමහා දේවී සුදෝසුදු දිව්‍යාංගනාව ඔබට පෙන්වන ආදර්ශය වන්නේ සියලු මනුෂ්‍යයන්ට මෛත්‍රිය කරුණාව දක්‌වමින්, ශාසනික අර්ථයන්ද රැකීමේ දක්‍ෂතාවය පිංවත් ඔබටද සශ්‍රික දිව්‍ය සැපයට හේතුවක්‌ වන බවයි. භික්‍ෂුව මේවා ඔබට සටහන් කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් ආරක්‍ෂා කරලා ඔබටත් සශ්‍රික දෙවියන් දිව්‍යාංගනාවන් අතරට යන්න කියලා ආරාධනා කරන්නයි. එසේ නොවී සම්මා සම්බුද්ධ ශාසනය යනු කුමක්‌ද යන්න හරිහැටි නොදන්නාකම හේතුවෙන්ම, පංච නීවරණයන්ට යටවීමෙන් හෝ අප අතින් උතුම් ශාසනික අර්ථයන් දුර්වල වීමට උපක්‍රම, ක්‍රමවේදයන් සකස්‌වුණොත් ඉන් ඔබට සිදුවන හානියත් සුළුපටු නැහැ. භික්‍ෂුවට මැවිලා පෙනෙනවා, මුළු ශරීර අභ්‍යන්තරයම පිච්චෙමින් මතුවෙන, ලොකු කලයක්‌ වැනි ගිනි ජාලාවක්‌, තම කිඹුල් කටක්‌ වැනි කටින් නිරතුරුවම පිටකරමින්, පිච්චීමේ මරණීය වේදනාව, සෑම තත්ත්පරයකදීම අත්විඳින දේවදත්ත නිරිසතා, නිරිදුක්‌ විඳින අවිචිමහා නිරයේ තව ඕනෑතරම් ඉඩකඩ ඉතිරිවී තිබෙනවාය කියන කාරණය.