භික්‌ෂුව ගම්මානයකක වැඩ සිටිනකොට, එම ගමේ එක්‌ කණ්‌ඩායමක්‌ කිසිම දිනක පිණ්‌ඩපාත මඩුවට පිණ්‌ඩපාතය ගෙනාවේ නැහැ. ඒ ගැන ගමේ කැපකරුගෙන් විමසනකොට ඒ මහත්තයා කියනවා ‘හාමුදුරුවෝ ගමේ කුළයෙන් අඩු අයගේ පිණ්‌ඩපාතය පිළිගන්න නිසා ඒ අය පිණ්‌ඩපාතය පූජාකරන්නේ නැහැ’ කියලා. මේ කණ්‌ඩායමට කුළයෙන් උසස්‌ අය කියලයි කියන්නේ. මේ කණ්‌ඩායම ගමේ පන්සලට දානෙ පුජාකරන්නෙත් නැහැ. ගමෙන් පිට, නගරයේ තෝරාගත් පන්සලකට තමයි දානය පූජා කරන්නේ. නමුත් මේ පිංවතුන්ලා ශිල්පද පහ හොඳින් ආරක්‍ෂාකරගන්නා පිංවතුන්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. තම ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම සම්මා සංකප්පයන් වැඩිලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය වැඩිලා නැහැ. මෙවැනි අය මරණින් මතු දුකට වැටේය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

සමහර පිංවතුන් සිටිනවා, ඒ අය ශිල්පද පහ ආරක්‍ෂාකරගන්නවා. බෞද්ධ පිංවතුන්. නමුත් ඒ අය මහා සංඝරත්නයට දානය පූජාකරන්නේ නැහැ. මහාසංඝරත්නය උදෙසා පූජාකරන දානයේ ආනිසංශ පක්‍ෂය දන්නේ නැහැ. සමහර පිංවතුන්ලා ස්‌වාමීන්වහන්සේලාව අඩු තක්‌සේරුවට ලක්‌කරනවා. එම පිංවතුන්ලා මහළු නිවාස වලට, ළමා නිවාස වලට, රෝහල්වල රෝගීන්ට, දුගී මගී අයට තමයි දන්දෙන්නේ. මේ අයට දන්දෙන්න එපාය කියන එක නෙවෙයි මේ කියන්නේ. මහා සංඝරත්නය අරමුණුකොට පූජාකරන දානයේ අග්‍රභාවය අපි දකින්න අවශ්‍යයි. වර්තමාන සංඝ සමාජයේ යම් ස්‌වාමීන්වහන්සේනමකගේ දුර්වලතාවයක්‌ තිබුණොත්, මහා සංඝරත්නය අරමුණුකොට එම හිස්‌තැන් පුරවාගැනීමට අපි දක්‍ෂවෙන්න ඕනේ. නමුත් එසේ නොවන්නේ මේ පිංවතුන්ගේ ශීලය සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැති නිසා. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විමුක්‌තිය වැඩිලා නැහැ. මේ අය මරණින් මතු දුකට වැටීමේ අවධානම තිබෙනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන්ලා හොඳින් ශිල්පද ආරක්‍ෂා කරනවා, දන්දෙනවා, අනුනට කරදරයක්‌ නොවී යහපත් ජීවිත ගතකරනවා. ඉහත කාරණා තුළින් පමණක්‌ තමන් ධර්මය තුළ සිටිනවාය කියලා සතුටු වෙනවා. එම පිංවතුන් ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අර්ථයන් ගැන දන්නේ නැහැ. සම්මා දිට්‌ඨිය කියන්නේ මොකක්‌ද කියලා ඇහුවොත් ‘දන්නේ නැහැ’ කියනවා. සම්මා වායාමෝ කියන්නේ කුමකටද කියලා ඇහුවොත් ‘දිනපතා ව්‍යායාම කිරීම’ කියලයි කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, යමෙක්‌ ශිල්පද පහ ආරක්‍ෂා කරගත්තාය කියලා, දන් දුන්නාය කියලා, ඔහු බෞද්ධයෙක්‌ වෙන්නේ නැහැය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ බෞද්ධයා කියන්නේ, ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අර්ථයන් ජීවිතයට එකතුකොටගෙන, මාර්ගයේ ගමන්කරන පිංවතාය කියලා. ඇයි ඉහත සඳහන් කළ තත්ත්වයන්ට පිංවතුන්ලා පත්වෙන්නේ. තමන්ගේ ශීලය සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැති නිසා. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වලයි. මේ අය මරණින් මතු දුකට වැටේය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

සමහරක්‌ පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන් හොඳින් ශිල්පද පහ ආරක්‍ෂා කරනවා. නමුත් ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන උනන්දුවක්‌ දක්‌වන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්ය කාන්ත ශීලය, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය ගැන උනන්දුවක්‌ දක්‌වන්නේ නැහැ. මේ පිංවතුන් සතියකින් දෙකකින් මාසයකින් යුත් පාඨමාලාවකින් අනුනට ලිඛිත සහතිකයකින් සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය ප්‍රදානය කරනවා. ඇයි සමාජය තුළ මෙහෙම වෙන්නේ? එම පිංවතුන් ශීලයෙන් පරිපූර්ණ වුවත් එම ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂනය වෙලා නැහැ. ඒ නිසාම එම පිංවතුන් තුළ චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වලයි. මෙවැනි අය මරණින් මතු දුකට වැටීමේ අවදානම තිබෙනවා කියලා බුදුරජාණන්ව වහන්සේ දේශනා කරනවා.