සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා සිටිනවා. ඒ අය හොඳින් සිල් පද පහ ආරක්‍ෂා කරනවා. නමුත් මේ අය ප්‍රකාශ කරන්නේ අපට නොපෙනෙන අනෙක්‌ ග්‍රහලෝකවල මේ මොහොතේත් බුදුරජාණන්වහන්සේලා වැඩ සිටිනවා කියලා. මේ මොහොතේත් කොහේ හෝ ග්‍රහලෝකයක බුදුරජාණන් වහන්සේ නමක්‌ සද්ධර්මය දේශනා කරනවා කියලා. අපි සියලු දෙනාම යම් දවසක නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලාය කියලා. ඒ නිසාම අපි සියල්ලෝම බෝධිසත්වයෝය කියලා. මෙවැනි විකාර ධර්මයක්‌ බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැහැ. ඇයි මෙවැනි අදහස්‌ සමාජය තුළ පැතිරෙන්නේ එම පිංවතුන්ලා ශීලයෙහි පරිපූර්ණ වුවත් එම ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වී නැති නිසා. එම නිසාම චිත්ත විශුද්ධිය ප්‍රඥා විශුද්ධිය වැඩිලා නැහැ. එම පිංවතුන් මරණීන් මතු දුකට වැටේය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා සිටිනවා ඒ අය හොඳින් ශිල්පද පහ ආරක්‍ෂා කරනවා. නමුත් තමන්ගේ අම්මාට තාත්තට සලකන්නේ නැහැ. ගෙදර නොවටිනා කාමරයක නොවටිනා පහසුකම් සහිතව තමයි දෙමාපියන් ජීවත් වන්නේ. එහෙම නැතිනම් මහළු නිවෙසක, නේවාසිකාගාරයක මුදල් දී නවත්වනවා. නැතිනම් සේවකයන් හැටියට දෙමාපියන්ට සලකනවා. අම්මා තාත්තා කියන කුසල් නිධිය සුවසේ හාරගන්න දක්‍ෂ නැහැ. නමුත් මේ පිංවතුන් ශීලයෙන් පරිපූර්ණ පිංවතුන්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. තමාගේ ශීලය සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම චිත්තවිශුද්ධිය ප්‍රඥා විශුද්ධිය දුර්වලයි. මෙවැනි අය මරණින් මතු දුකට වැටීමේ අවධානම තිබෙනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

තවත් සමහර පිංවතුන්ලා සිටිනවා එම පිංවතුන් සිල්පද පහ හොඳින් ආරක්‌ෂාකරන බෞද්ධ පිංවතුන්. නමුත් මේ අය කථාකළොත් උපන් මව්බිමට බනිනවා. මව්බිමේ දුර්වලතාවයන්මයි දකින්නේ. අගුණයක්‌මයි කියන්නේ. මේ උතුම් මව්බිමේ ස්‌ථාපිතව තිබෙන සද්ධර්මයේ අර්ථය දකින්නේ නැහැ. උපන් මව්බිමේ දුර්වලතාවයන් දකිමින් කොහේ හෝ වෙනත් රටක්‌ වර්ණනා කරනවා. භික්‌ෂුවට මතකයි වරක්‌ එක්‌ බෞද්ධ තරුණයෙක්‌ රටේ යුද්ධය පැවති අවස්‌ථාවේ කිව්වා මේ රටෙන් බටහිර රටකට පැනගන්න තිබෙනවා නම් ඒක තමයි මම බලාපොරොත්තු වන නිවන කියලා. මේ තරුණයා සිල්පද ආරක්‌ෂා කරගන්න තරුණයෙක්‌. මේ ලෝක ධාතුව තුළ යම් උතුම් පුණ්‍ය බිම්කඩක්‌ තිබෙනවා නම් ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයමයි. ජීවමාන බුදුරජාණන්වහන්සේ හැටියට වන්දනා කරන්න, දැකබලා පින් රැස්‌කොට ගන්න උතුම් පූජාවස්‌තූන්ගෙන් යුත් බිම්කඩක්‌ මේ ලෝකධාතුව තුළ තිබේනම් ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයමයි. දිව්‍යතල, බ්‍රහ්මතලවල ජීවත්වන සම්මාදිට්‌ඨියට පත් දෙවියන්, බ්‍රහ්මයන් නිතිපතා දොහොත්මුදුන් තබා වන්දනා කරන උතුම් බිම්කඩක්‌ මේ ලෝක ධාතුව තුළ තිබේනම් ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයමයි. දිව්‍යතලවල පින පිරිහී, දිව්‍ය ආයුෂ පිරිහීයන දෙවිවරු දිව්‍යාංගනාවන් නැවත පින් කිරීමට උපත ලැබීමට ප්‍රාර්ථනා කරන උතුම් බිම්කඩක්‌ මේ ලෝක ධාතුව තුළ තිබේ නම් ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයමයි. මෙවන් උතුම් පිංබිමක උපත ලබලා මව්බිමේ වටිනාකම නොදැක ලෝකයේ වෙනත් රටවල් ගොඩක්‌ වර්ණනා කරනවා. ඒ පිංවතුන් වර්ණනාකරන සමහර රටවල ධර්මයේ නිවැරැදි අර්ථයන් නැහැ. මහායාන ක්‍රමවේදයන්ගෙන් පෝෂණය වුණ මිථ්‍යාදෘෂ්ඨික ලක්‌ෂණයි සමහරක්‌ රටවල බහුලව දක්‌නට ලැබෙන්නේ. මෙවැනි රටවලට ප්‍රත්‍යන්ත දේශයක්‌, ධර්මයේ අර්ථයන් නොපිහිටන දේශයන් හැටියටයි බුදුරජාණන්වහන්සේ හඳුන්වන්නේ.

රැකියාවන් සඳහා විදේශ රටවල සේවය කිරීම කියන කාරණය මෙයට අදාල වෙන්නේ නැහැ. මව්බිමේ අගුණයන් දකිමින්, ලෝකයේ අනෙක්‌ රටවල ගුණයන් දකින පිංවතුන්ලා හොඳින් සිල්පද පහ ආරක්‌ෂාකරන පිංවතුන්ලා. ඇයි මෙහෙම වෙලා තිබෙන්නේ? තමන් රකින ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥ විශුද්ධිය දුර්වලයි. මෙවැනි අය මරණයෙන් මතු දුකට වැටෙයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා. විදේශගතව සේවය කරන පිංවතුන්ලා තමන් ජීවත්වන ආගන්තුක රටේ සිටිමින්, උපන් බිමේ උතුම්භාවය නිරතුරුවම නුවනින් දකින්න මේ ලෝකධාතුවේ මනුෂ්‍යයකුට ලබන්න තිබෙන ශ්‍රේෂ්ඨම සැපයක්‌ වන සම්මාදිට්‌ඨියට පත්වීම නැමැති සැපය විදේශ රටක සිටිමින් වුවද එවිට ඔබට ලැබිය හැකිවෙනු ඇත.

සමාජයේ ජීවත්වන සමහරක්‌ පිංවතුන්ලා සිටිනවා එම පිංවතුන් හොඳින් සිල්පද පහ ආරක්‌ෂාකරනවා. නමුත් මේ අය ජ්‍යෙතිෂ, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලිතොවිල්, දේවාල සරණ කොට ගෙනයි ජීවත්වන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? මේ පිංවතුන්ලා ආරක්‌ෂාකරන සීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥ විශුද්ධිය දුර්වලයි. මෙවැනි අය මරණින් මතු දුකට පත්වෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

භික්‌ෂුව මේ වස්‌ සමයේ වැඩසිටින කුටියේ කැපකරුගේ කුඹුරේ අද ගොයම් කපනවා. කළුවර වැටෙන්න ආසන්න මොහොතේ ගොයම් පාගන මීහරකුන්ට කෑගසන හඬ ගම්මානය දෙසින් යාන්තමට ඇසෙනවා. මේ ගම්මානවල තවමත් මීහරකුන්ට ගොවිතැන් කටයුතුවලදී වටිනාකමක්‌ තිබෙනවා. පසුගිය කන්නය අවසානයේදී ගමේ ගෙදරක හදපු මීහරකෙක්‌ විකුණලා මීහරකා ලොරියට පටවනකොට එයාගේ ඇස්‌වලට කඳුළු ආවලු. මස්‌ කඩේ මුදලාලි මීහරකට රුපියල් හැටදාහක්‌ම ගෙවලා. අකුසලයට කොච්චරනම් වටිනාකමක්‌ තිබෙනවාද. කුඹුරේ පස පෙරළලා, කුඹුර මඩකරලා, ගොයම පාගලා අවුරුද්දක්‌ කන්න වී ටික ගෙදරට ඇදලා දිලා අවසානයේදී එම සතා මසට විකිණෙනවානම්, පිංවතුන්ලා අකුසලයට කොච්චරනම් බියවෙන්න ඕනේද.

ඉහත සටහන පුරාවට සම්මාදිට්‌ඨියේ දුර්වලතාවයෙන් ඇතිවෙන විශ්වාසයන් ගැනයි සටහන් කෙළේ. යමෙක්‌ සීලයෙන් පරිපූර්ණ වුවද ඔහු චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥ විශුද්ධියෙන් දුර්වලනම් මරණින් මතු දුකට වැටෙයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා. මෙම කාරණයේදී මරණින් මතු දුකට වැටෙනවාය කියන්නේ එක්‌කෝ සතර අපායයට වැටෙනවා, නැතිනම් මිථ්‍යාදෘෂ්ඨික, දිව්‍ය මනුෂ්‍ය ජීවිත ලබනවා. එහෙමත් නැතිනම් කුලහීන භාවයට, අල්පේශාඛ්‍යභාවයට, නූගත් භාවයට පත්වෙනවා. එහෙමත් නැත්නම් අඳ, ගොළු, බිහිරිභාවයට, විරූපිභාවයට, මන්දබුද්ධිකභාවයට පත්ව දුප්පත්, පොහොසත් පවුල්වල ඉපදෙන්න පුළුවන්.