සබ්භාසව සූත්‍රය – 4

පංචඋපාදානස්කන්ධය අනිත්‍යය වශයෙන් නුවණින් මෙනෙහි නොකරන පුද්ගලයා නිරතුරුවම ආත්මීය සංඥාව නිසාම නැති ආශ‍්‍රවයන් ඇති කර ගන්නවා වගේම ඇති ආශ‍්‍රවයන් වර්ධනය කරගන්නවා. පිංවත් ඔබ නිරතුරුවම පංචඋපාදානස්කන්ධයේ ක‍්‍රියාකාරිත්වය පහත ආකාරයට දකිමින් ජීවත් වෙන්න. ආධයාත්මික රූපයත්, භාහිර රූපයත්, විඥාණයත් හේතුවෙන් ඵස්සය හටගන්නවා. ථස්සය කියල කියන්නේ දැක්කා, ඇසුණා, දැනුණා කියන අර්ථයට. ඔබට යමක්ද ඇසෙන්නේ, යමක්ද දැනෙන්නේ, යමක්ද දකින්නේ එයට ඇලීම, ගැටීම, අපේක්ෂාවන් ඇති කර ගන්නවා. ඒ කියන්නේ විඳීම් සකස් කර ගන්නවා. ඔබ යමක් විඳින්නේ නම් ඒ ගැන හඳුනාගැනීමක් සකස් කරගන්නවා. ඔබ යමක් හඳුනාගන්නේ නම් හඳුනාගන්නා දේ ගැන සිතනවා. ඔබ කුමක්ද සිතන්නේ ඒ සිතන දේ ගැන දැනීමක් ඇති කර ගන්නවා. දැන් පිංවත් ඔබ නුවණින් විමසා බලන්න ඔබ සෑම නිමේශයක් තුළදීම ඉහත ක‍්‍රියා පටිපාටිය තුළ නේද ජීවත් වෙන්නේ. මේ ක‍්‍රියා පටිපාටියයි පංචඋපාදානස්කන්ධය කියලා කියන්නේ. මේ ක‍්‍රියා පටිපාටියේ අනිත්‍යය භාවය, හිස්භාවය හේතුඵල ධර්මතාවය දැකිම සක්කායදිට්ඨිය සිඳගැනීමේ මූලිකම කමටහන වෙනවා. විවේකයක් ලද සෑම නිමේශයකදීම ජීවිතය තුළින් ඇතිකරගත් විඳීම් හඳුනාගැනීම්, සිතීම්, දැකීම්වල අනිත්‍යයභාවය නුවණින් දකින්න දක්ෂ වෙන්න. ඕනෑම මනුශ්‍යයකුගේ ඕනෑම සත්වයෙක්ගේ වචනයක්, ක‍්‍රියාවක්, ඉරියව්වක් අනිත්‍ය වන පංචඋපාදානස්කන්ධයක් වශයෙන් දකින්න. ඔබේ ජීවිතයටත් එම ධර්මතාවයන් ගලපා බලමින් ජීවත් වෙන්න. සතුටින්, විනෝදයෙන්, දුකින්, පීඩනයෙන් ජීවත් වෙන මනුශ්‍යයින් දෙස බලන්නකෝ… එම පිංවතුන් පංචඋපාදානස්කන්ධයටම බැඳිලයි ජීවත් වෙන්නේ. ඔය සැම දුකක්ම, සැපක්ම අනිත්‍යවූ පංචඋපාදානස්කන්ධයක්ය කියලා දකින්න දක්ෂ වෙන්න. එවිට පිංවත් ඔබ තුළ මමය කියලා ගත්තාවූ දෘෂ්ටිය ක‍්‍රමානුකූලව හීනවී යනවා. ඉහතින් භික්ෂුව සටහන් කළේ සබ්භාසව සූත‍්‍රයට අදාළව දර්ශනයෙන් ප‍්‍රහීනය කළ යුතු ආශ‍්‍රවයන් ගැනයි.

මීළඟට බුදුරජාණන්වහන්සේ සබ්භාසව සූත‍්‍රයට අදාළව දේශනා කරනවා සංවරයෙන් ප‍්‍රහීනය කළ යුතු ආශ‍්‍රවයන් කියලා. රූපය කියන්නේ සතර මහා ධාතුවක්. සතර මහා ධාතුවක් කියන්නේ වේගයක්. සතර මහා ධාතුවට බැසගත් විඥාණය කියන්නේ වේගයක්. වේගයන් දෙකක් එක්වුණ තැනදී ඇතිවන කැළඹීමේ ස්වභාවයයි, චංචල ස්වභාවයයි, ඉන්ද්‍රිය අසංවරය කියන්නේ. කුමක්ද ඔබ සංවර කරගන්නේ? ඇසෙන් රූපයක් දැකලා දැක්කාවූ රූපය ගැන සිතලා සිත අසංවර කරගන්නේ නැහැ. කනෙන් ශබ්දයක් අහල ඇසුණාවූ ශබ්දය ගැන සිතලා සිත අසංවර කරගන්නේ නැහැ. නාසයෙන් ගඳ සුවඳත්, දිවෙන් රසයත්, ශරීරයෙන් ස්පර්ශයත්, මනසිත් සිතිවිල්ලත් නිසා මේවා ගැන සිතලා සිත අසංවර කරගන්නේ නැහැ. පිංවත් ඔබ නිරතුරුවම දකින්න ඕන ඇස, කණ, නාසය කියන්නේ සතර මහා ධාතුවක් පමණක්මයි. රූපයේත්, විඥාණයේත්, ඵස්සයේත් සකස්වෙන නාමධර්මයනුයි ඔබව අසංවර කරන්නේ කියලා. එම නිසා ඇසෙන් රූපයක් දකින තැන, කනෙන් ශබ්දයක් ඇසෙන තැන, මනසට සිතුවිල්ලක් දැනෙන තැන හොඳින් අවධියෙන් සිටින්න. දැක්කාය කියන තැන ඔබ නැවතුනොත් ඇස, කන, නාසය නිසා ඔබ කවදාකවත් ඉන්ද්‍රිය අසංවරය ඇති කරගන්නේ නැහැ. පිංවතෙක් භික්ෂුවගෙන් ඇසුවා දිනපතා පුරුදු කළ හැකි හොඳ පුරුද්දක් කියා දෙන්න කියලා. භික්ෂුව ඔහුට කිව්වේ… පිංවත් ඔබ ඇසෙන් රූපයක් දකින මොහොතේම එම රූපට අනිත්‍යයි කියලා දකින්න. කනෙන් ශබ්දයක් ඇසෙන මොහොතේම එම ශබ්දය අනිත්‍යයි කියලා දකින්න. මුලින්ම එය කාරණා දෙක පුරුදු වෙන්නය කියලා. පිංවත් ඔබ සමාජයේ ජීවත්වෙන අසංවර ජීවිත දෙස හේතුඵල ධර්මයන්ට යටත්ව නුවණින් දකින්නේ නැහැ. ඒ නිසා අනුන්ගේ අසංවර භාවය නිසා ඔබ නැති කෙළෙස් උපද්දවා ගන්නවා. ඇති කෙළෙස් වැඩි කර ගන්නවා. කතාබහෙන්, හැසිරීමෙන්, අසංවර මනුශ්‍යයන් නිසා ඇඳුමෙන් පැළඳුමෙන් අසංවර මනුශ්‍යයන් නිසා ඔබ මොන තරම් ඔබේ සිතුවිලි අසංවර කර ගන්නවා ද?

දිනක් අනුරුද්ධ මහ රහතන් වහන්සේ චාරිකාවේ වඩින විට සවස් වී අඳුර වැටුනා. උන්වහන්සේ රාත‍්‍රිය ගත කිරීමට තැනක් සොයමිනුයි සිටියේ. ළඟපාතක ආරණ්‍යයක්, කුටියක් තිබුණේ නැහැ. අසල නිවසකට යාබදව තිබුණ කාමරයක එම නිවැසි කාන්තාවගේ අවසරයෙන් අනුරුද්ධ මහ රහතන් වහන්සේ රාත‍්‍රිය ගත කිරීම සඳහා තෝරා ගන්නවා. මේ වෙලාවේ නවාතැන් සොයාගෙන යන තවත් ආජීවකයෙක් ගෙහිමි කාන්තාවගේ අවසරයෙන් මේ කාමරයේම නවාතැන් ගන්නවා. මේ වෙලාවේ නිවැසි රූමත් කාන්තාව අනුරුද්ධ මහ රහතන් වහන්සේට කියනවා ඔය කාමරයේ දෙදෙනෙකුට රාත‍්‍රිය ගත කිරීමට ඉඩ නැහැ. එම නිසා ගෙදර ඇතුළු කාමරයක් හිස්ව තිබෙනවා එයට වඩින්න කියලා. අනුරුද්ධ මහ රහතන් වහන්සේට නිවැසි කාන්තාව ගැන කිසි සැකයක් ඇතිවුණේ නැහැ. උන්වහන්සේ ඇයව දැක්කේ ශ‍්‍රද්ධාවන්ත කාන්තාවක් හැටියට. ඒ නිසාම උන්වහන්සේ ගෙදර ඇතුළු කාමරයේ වැඩ සිටියා. රාත‍්‍රිය එළඹෙද්දී මේ නිවැසි රූමත් කාන්තාව අනුරුද්ධ මහ රහතන් වහන්සේ වැඩසිටින කාමරයට පැමිණ නටන්ට පටන් ගත්තා. ස්වාමින් වහන්සේ ඇස් බිමට යොමාගෙන වැඩ සිටියා. මේ කාන්තාව නැටුමෙන් ස්වාමින් වහන්සේව අසංවර කරන්න බැරිවුන තැනදී ඇඳුම් උනා දමා අඩ නිරුවතින් නැටුවා. එයිනුත් ස්වාමින් වහන්සේගේ හිත අසංවර කරන්න බැරිවුණ තැනදී ඇය නිරුවතින් නැටුවා. ඒ මොහොතේත් අනුරුද්ධ මහ රහතන් වහන්සේ බිමට යොමුකරගත් දෑසිනුයි වැඩ සිටියේ. ඉන්ද්‍රිය අසංවර භාවයට අදාළ ධර්මයන් ප‍්‍රහීනය කර සිටි අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ සංවර හැසිරීම දැකලා එම කාන්තාව බියට පත්වුණා. ඇය අවසානයේදී ඉන්ද්‍රිය අසංවරබාවය නිසා සිදුකළ මෝඩ ක‍්‍රියාව ගැන ස්වාමින් වහන්සේගෙන් සමාව ඉල්ලුවා. ඉහත සිද්ධිය වන විට උපසම්පදා ස්වාමින් වහන්සේ නමකට කාන්තාවක් හුදකලාව සිටින නිවසක වැඩ සිටීම අකැපයි විනය කාරණාවක් පනවා තිබුණේ නැහැ. ඉහත සිද්ධිය අනුරුද්ධ මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සැලකිරීමෙන් පසුවයි කාන්තාවක් හුදකලාව සිටින නිවසක උපසම්පදා භික්ෂුවකට වැඩසිටීම තහනම් කර විනය කාරණාවක් උතුම් ප‍්‍රාතිමෝක්ෂයට එකතු වෙන්නේ. පිංවත් ඔබ ඔබේ ඉන්ද්‍රිය අසංවර වන සෑම මොහොතකම ඉන්ද්‍රිය අසංවරය නිසා සකස් වෙන අකුසල් නුවණින් දකිමින් ඔබේ ජීවිතය තුළින් ඉන්ද්‍රිය අසංවරය නිසා සකස්වුණ අකුසල් දැක බිය ඇති කරගන්න. අසංවර සිත යනු අකුසල් සංස්කාරයන් බව නුවණින් දකින්න.