සබ්භාසව සූත්‍රය – 7

පිංවත් ඔබ ආහාරයක්‌ නොලැබී යාම විදර්ශනා නුවණින් දකින්න දක්‍ෂවුණොත් ඒ ලබන විදර්ශනා නුවණ නිසාම කුසගින්න ඔබෙන් පලා යනවා.

භික්‍ෂුව දිනක්‌ උදේ පිණ්‌ඩපාතයට අදාළ නිවසට වඩිනවිට දැඩි සුළඟක්‌ සමග ධාරානිපාත වර්ෂාවක්‌ ඇද හැලුනා. ටික දුරක්‌ වඩිනවිට කුඩය ඔසවාගෙන යන්න බැරිතරමටම සුළඟ වැඩිවුණා. මුළු සිරුරත්, පාත්‍රයත් හොඳටම තෙතබරිත වෙලා. වැස්‌සේ අඩුවක්‌ නැහැ. භික්‍ෂුව තීරණය කළා මෙහෙම තෙමිල අදාළ නිවසට වඩින්න බැහැ එම නිසා පිණ්‌ඩපාතය ගමන නවතා නැවත කුටියට වැඩියා. වැස්‌සේම සිවුර හෝදල කුටියෙ ඇතුලේ වැලට දැම්මා. උදේ 8.30 වෙන විට වැස්‌ස නැවතිලා. එදා පිණ්‌ඩපාත දානය හිමි අදාල නිවසේ මහත්මයෙක්‌ භික්‍ෂුව නොවැඩිය නිසා ත්‍රීවිල් රථයක්‌ රැගෙන භික්‍ෂුව එම නිවසට වඩම්වන්න පැමිණියා. භික්‍ෂුව එම මහත්මයාට ප්‍රකාශ කළේ ‘දැන් කාලය ප්‍රමාද වැඩියි. දානය අවශ්‍ය නැහැ’ය කියලා. ඒ වෙලාවේ ඒ මහත්මයා ඇසුවා ‘හාමුදුරුවනේ කුටියට දානය ගෙනත් දෙන්නද?’ කියලා. භික්‍ෂුව කීවා ‘අවශ්‍ය නැහැ මහත්තයෝ’ කියල. එවිට ඒ මහත්මයා කුටියෙන් බැහැරව ගියා. නැවත කුටියට පැමිණියේ නැහැ. එදා දවස භික්‍ෂුව ධාරානිපාත සුළඟ සමග පැමිණි වර්ෂාවත්, පිණ්‌ඩපාතය නොලැබීයාමත්, හේතුඵල ධර්මයන්ට ගලපමින් විදර්ශනා නුවණ ආහාරයක්‌ කරගෙන කායික මානසික පීඩාවකින් තොරව දවස ගෙවා දැම්මා.

පිංවත් ඔබ නුවණින් මෙනෙහි කර බලන්න ශාරීරික වේදනාවන් කැක්‌කුම් නිසා කොපමණ ඔබ ගැටෙන සිත් ඇතිකරගෙන නැති ආස්‍රවයන් ඇතිකොට ගන්නවාද කියල. සමහරක්‌ පිංවතුන්ලා වේදනා කැක්‌කුම් ඇතිවෙනවිට නොසන්සුන් භාවයත්, කේන්ති ගන්නා ස්‌වභාවයත් ඇතිකර ගන්නවා. සතර මහ ධාතුවේ කිපීම්වලට අදාළ වේදනා, කැක්‌කුම් හේතුඵල ධර්මයක්‌මය කියල නුවණින් දකින්නේ නැහැ.

භික්‍ෂුව ධර්මදේශනා පවත්වන දිනවල උදරයේ ඇතිවු රෝගීතත්වයක්‌ හේතුවෙන් පර්යේෂණයක්‌ කළ යුතු බව දොස්‌තර මහත්මයා දැනුම්දුන්නා. නමුත් රෝහල්ගතව එම පර්යේෂණය කරගන්න විවේකයක්‌ තිබුණේ නැහැ. මොකද දවසක්‌ හැර දවසක්‌ ධර්මදේශනාවලට දින වෙන් කර තිබු නිසා. රෝගී තත්වය වැඩිවූ නිසා පෙරදින රාත්‍රී ධර්මදේශනාවක්‌ නිමාකර කුටියට පැමිණිය. දහවල් 12.00 සිට සවස 5.00 දක්‌වා වරින් වර උදරය විරේක කළා. ඊට අදාළ ඖෂධ පාවිච්චි කරල පෙර දින දහවල් 12.00 සිට පසුවදා උදේ 9.00 දක්‌වා කිසිදු ගිලන්පසක්‌, දානයක්‌ නොමැතිව උදරය විරේකකොට උදේ 9.00 ට කළුබෝවිල රෝහලේදී එම පර්යේෂනණය සිදුකළා. උදරයට අදාළව කිසිදු රෝගයක්‌ තිබුණේ නැහැ. පර්යේෂනයෙන් අනතුරුව දානය ගත්තා. එදිනම සවස හතරට පැවති ධර්මදේශණයේදී පැය 3 ක්‌ ධර්මය දේශණනා කර අනෙක්‌ වැඩ සදහා තවත් පැය දෙකක්‌ එහි ගතකර රාත්‍රී 10.00 ට කුටියට වැඩියා. වේදනා කැක්‌කුම් ධර්මයට ගලපල දකිනවිට, වේදනා කැක්‌කුම් හිස්‌ දෙයක්‌, හේතුඵල ධර්මයක්‌ හැටියටයි අපි දකින්නේ. මේ තත්ත්වය ඇතිකර ගැනීමට නම් වීර්යයත් ඉවසීමත් පුරුදු කළ යුතුම වෙනවා. ඔබ තුළ වීර්යයත්, ඉවසීමත් නැතිනම් වේදනා කැක්‌කුම් නිසාම නැති ආස්‍රවයන් ඇතිකර ගන්නවා. ඇති ආස්‍රවයන් වර්ධනය කරගන්නවා.

ඒ වගේමයි මැසි මදුරුවන්ගෙන්, සර්පයන්ගෙන් වන බාධාවන් වීර්යයෙන් යුතුව ඉවසීමට දක්‍ෂභාවය ඇතිකරගත යුතු වෙනවා. පිංවත් ඔබ සිතන්න එදිනෙදා ජීවිතයේදී මැසි මදුරුවන්, කැරපොත්තන්, කූඹීන් නිසා ඔබ කොයිතරම් ආස්‍රවයන් ඇතිකර ගන්නවාද? එම සතුන් මැරීම නිසා, එම සතුන්ගෙන් බාධාවන් සිදුවීම් නිසා, එම සතුන්ට හිංසා වීම නිසා ඔබ මොනතරම් ආස්‍රවයන් ඇතිකර ගන්නවාද? බුද්ධ වන්දනාව කරන විට මදුරුවන් නිසා, බුද්ධ පූජාව තියනවිට කූඹීන් නිසා මොනතරම් ගැටෙන සිත් ඇතිකරගන්නවාද?

දිනක්‌ භික්‍ෂුව පිණ්‌ඩපාතය කරගෙන පෙරළා කුටියට වැඩමකොට ආහාර සහිත පාත්‍රය මේසය මත තබා කුටියේ සහ අවට පිරිසිදු කිරීමේ කටයුතු අහවරකොට පැන් පහසුවී පාත්‍රය අතට ගෙන බලනවිට පාත්‍රයේ ආහාරවලට රතු පාට ලොකු කූඹි ඇවිල්ලා. පාත්‍රය ඇතුලේ සිටි කූඹි එම ආහාර කොටස්‌ සමග ඉවත් කරලා ඉතිරි දානය වැළඳුවා. කූඹීන්ට බණින්න ගියේ නැහැ. තිරිසන් සතුන් නිසා අපි නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එය උතුම් මනුෂ්‍ය ජීවිතයටත් අගෞරවයක්‌ වෙනවා. වීර්යයෙන් යුතුව ඉවසීමෙන් හේතුඵල ධර්මයන්ට අනුව දකිමින් ජීවත්වෙන්න ඔබ පුරුදු විය යුතු වෙනවා.

පිංවත් ඔබ තම ගෙදර කුටිය පිරිසිදුව පිළිවෙලට තබාගන්න. ඇඳුම්, පොත්පත් අනෙකුත් භාණ්‌ඩ පිළිවෙලකට තබාගන්න වීර්යය කියන කාරණය අත්‍යවශ්‍ය වෙනවා. ඉහත කාරණාවන් සිදුකරගැනීමට ඔබ තුළ වීර්යය නොතිබුණොත් අපිරිසිදුභාවය නිසාම අපිළිවෙල නිසාම විසිරුණු සිතක උරුමයයි ඔබට හිමිවෙන්නේ. ඒ නිසාම ඔබේ සිතේ ධර්මයන් වැඩෙන්නේ නැහැ. අපිරිසිදුභාවයන්ට අදාළව අමනුෂ්‍ය කොටස්‌වල ග්‍රහණයන්ට ඔබව මැදිවෙනවා. එවැනි පරිසරයක්‌ හේතුවෙන් ඔබ තුළ නැති ආස්‍රවයන් වැඩෙනවා. භික්‍ෂුව අත්දැකීමෙන්ම දැකලා තිබෙනවා භාවනා කරන සමහරක්‌ පිංවතුන්ලාගේ නිවස, කාමරය, කුටිය අපිළිවෙලට අපිරිසිදුවයි තිබෙන්නේ. අවශ්‍ය අනවශ්‍ය දේවල් වලින් කාමරය පිරිලා. ඉවත දැමිය යුතු දේවල් තැන්පත් කර ගැනීමටයි උත්සහ ගන්නේ. මෙවැනි හේතුන් සකස්‌ වෙන්නේ සබ්බාවස්‍රව සුත්‍රයට අදාළව සමථ විදර්ශනාවට පෙර කළයුතු පූර්වකෘතිවලින් පරිපූර්ණ නොවීම නිසාමයි.

මීළඟට පිංවත් ඔබ සමාජයෙන් නැගෙන තියුණු චෝදනා, විවේචන, නරක වචන, නපුරු ඉරියව් වීර්යයෙන් යුතුව ඉවසීමට පුරුදු විය යුතුයි. සමාජය තුළ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් වැඩි වශයෙන් වඩනවිට චෝදනා, විවේචන, නරක වචන, නපුරු ඉරියව් සමාජය තුළ වැඩිවෙනවා.

භික්‍ෂුවට මතකයි භික්‍ෂුවට එක්‌තරා ගමක පිණ්‌ඩපාතය වඩිනවිට වෙච්ච සිද්ධියක්‌. එදා භික්‍ෂුවගේ හිස රුවුල් වැවිලයි තිබුණේ. දැඩි අව්රශ්මියේ දහදිය දමාගෙන පෙරළා කුටියට වඩින භික්‍ෂුව දැකලා පාරේ එහා පැත්තෙන් සිටිය සද්ධාව අඩු මහත්මයෙක්‌ අනෙක්‌ කෙනාට කියනවා දැන් අපේ ගමට හිඟන්නො එනව වැඩියි කියලා. ඒ මහත්මයාගේ ඒ නපුරු වචන ඇසෙනවිට භික්‍ෂුව හදවතින් සිනාසුනා පමණක්‌මයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිංහනාදයක්‌ කරනවා. මම උදේට පාත්‍රය අරගෙන පිණ්‌ඩපාතයට කුටියෙන් එළියට බහින්නේ රොඩී රැහැක රොඩී දරුවෙක්‌ පොල්කට්‌ටක්‌ අරගෙන සිඟමන් බලාපොරොත්තුවෙන් රොඩී රැහැනෙන් එළියට බහිනවා වගේ කියල. පාරේ අයිනේ සිටිය අදාළ මහත්මයා භික්‍ෂුවට සිඟන්නෙක්‌ කියල කියනවිට භික්‍ෂුවට සිතුනේ භික්‍ෂුව වෙනුවෙන් ඒ මහත්මයා සිංහනාදයක්‌ කළාය කියලයි. අද වෙනවිට එම පිංවත් මහත්මයා භික්‍ෂුවට බොහෝම ගෞරවයෙන් දන් පූජා කරන මහත්මයෙක්‌.

දිනක්‌ භික්‍ෂුව පිණ්‌ඩපාතය කරගෙන ප්‍රධාන මාර්ගයේ පෙරලා කුටියට පැමිණෙනවිට පිංවතුන් තුන්දෙනෙක්‌ පාපැදිවලින් භික්‍ෂුව පසුකරගෙන විරුද්ධ දිශාවට ගියා. ටික දුරක්‌ ගියාට පස්‌සේ මේ පිංවතුන් තුන්දෙනා එකටම තට්‌ටයෝ කියලා හයියෙන් කෑ ගැහුවා. මේ කාරණය ලියනවිටත් භික්‍ෂුවට සිනා යනවා. මේ සිනාවමයි එදා භික්‍ෂුවට තට්‌ටයා කියල කෑ ගසනවිටත් ඇතිවුණේ. මනුෂ්‍ය සමාජයේ තිබෙන ලොකුම දුර්වලකම තමයි අනුනගේ දෙය මගේ කරගැනීම. අනුන් තුළත් පුද්ගල සංඥාවන් දකිනවා. තමා තුළත් මම සිටිනවාය කියල දකිනවා. සක්‌කාය දිට්‌ඨිය කියන්නේ ඔය දුර්වලතාවයටයි. යම් පිංවතෙක්‌ ඔබට චෝදනාවක්‌, අගෞරවයක්‌, පීඩාවක්‌ කරනවා නම් එය ඔබ සංසාරයේ කරන ලද අකුසල් සංස්‌කාරයක විපාකයක්‌ වශයෙන් දකිමින් එම ක්‍රියාව කර්මය කර්මඵල විශ්වාසයට භාරදෙන්න. අනුනගේ වැරදි ක්‍රියාවන් ඔබ මගේ කරගෙන අකුසල් දෙසට ගමන් කරන්න එපා. මේ ලෝකයේ සාධාරණම විනිශ්චය ලබාදෙන්නේ සංස්‌කාර ධර්මයන් තුළින් සකස්‌වන කර්මය, කර්මඵල විසිනුයි.

දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන්වහන්සේට දැඩි ආකාරයෙන් චෝදනා, විවේචන, පීඩා එල්ල කරනකොට බුදුරජාණන්වහන්සේ ඒවා උපේක්‍ෂාවෙන් යුතුව ඉවසුවේ කර්මය, කර්මඵල විශ්වාසයට අදාළව දේවදත්ත ලබන අවීචියේ දණ්‌ඩනය නුවණින් දකින ගමනුයි. අනුන් ඔබට කරන වැරදි වලට ඔබ දඬුවම් දෙන්න යන්න එපා. ඒවා වීර්යයෙන් ඉවසන්න. එවිට අනුන් නිසා ඔබ දඬුවමට ලක්‌වන්නේ නැහැ. ඒ නිසා ඔබ තුළ නැති ආස්‍රවයන් හටගන්නේ නැහැ. ඇති ආස්‍රවයන් වර්ධනය වෙන්නේ නැහැ.