සබ්භාසව සූත්‍රය – 8

මීළඟට සබ්භාසව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන් කියලා. කුමක්‌ද ඔබ ප්‍රත්‍යාවේක්‍ෂා කරන්නේ. ඔබ ගන්නා වූ ආහාරය, ඇඳුම් පැළඳුම්, ඖෂධ, නිවාස හෝ කුටිය. මේවා පරිහරණය කිරීමේදී සිහිනුවණින් පරිහරණය කරනවා. ආහාරයක්‌, ගිලන්පසක්‌, ඖෂධයක්‌, නිවාස පරිහරණය කිරීමේදී මේවා කෙරෙහි තෘෂ්ණාවක්‌ ඇතිකොට ගතහොත්, ඒවා කෙරෙහි සුබ නිත්‍ය සංඥාවන් ඇතිකොට ගතහොත් ඔබ තුළ නැති ආශ්‍රවයන් වැඩෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා. ආහාරයත්, ගිලන්පසත්, ඖෂධත් ඔබ පරිහරණය කළ යුත්තේ මේ ශරීරයේ ජවය, මදය, අලංකාරය පිණිස සිතිවිලි ඇතිකොටගෙන නොවේ. අනිත්‍යභාවයට පත්වන ආයුෂ, වර්ණ, සැපය, බලය පිළිබඳ දැක්‌මක්‌ ඇතිකොටගෙනය. ආහාරයක්‌ ගැන සිතන මොහොතේ, ආහාරයක්‌ සකස්‌කරන මොහොතේ, ආහාරයක්‌ අනුභව කරන මොහොතේ ආහාරය කෙරෙහි ඇතිවන රස, ගුණ පිළිබඳ සිතිවිලි අනිත්‍ය වශයෙන් දකින්න ඔබ දක්‍ෂ නම් එතැන අර්ථවත් ප්‍රත්‍යාවේක්‍ෂාවක්‌ තිබෙනවා. සංසාරයක්‌ පුරාවට ඔබ ආහාර ටොන් කී ලක්‍ෂයක්‌ ගිල දමන්නට ඇතිද? රජ, සිටු, ඇමැතිවරු වෙලා රාජ භෝජන කොතෙක්‌ ගිල දමන්නට ඇතිද? සශ්‍රික දෙවිවරු වෙලා දිව්‍ය භෝජන කොතෙක්‌ වළඳන්න ඇතිද? තිරිසන් සතුන් වෙලා තණකොළ, පුන්නක්‌කු කොතෙක්‌ ගිලදමන්නට ඇතිද? ප්‍රේතයෙක්‌ ප්‍රේතියක්‌ වෙලා සෙම් සොටු මොනතරම් ආහාරය කොට ගන්න ඇතිද? යක්‍ෂයින් වෙලා භූත සත්ත්වයන් මොන තරම් මරාගෙන කන්න ඇතිද? මේ හැම භවයක්‌ම, මේ සෑම ආහාරයක්‌ම අනිත්‍ය බව නුවණින් දකිමින් වර්තමාන කෑම මේසයේ කෑම පිඟාන භූක්‌ති විඳින්න. ඔබ භුක්‌ති විඳින කෑම පිඟානේ රසයත්, ගුණයත් පිළිබඳ සිතුවිලි අපවිත්‍රභාවයට සෙම්, සොටු, රුධිරය, මුත්‍රා, වමනය අසූචි වශයෙන් නොගැටෙන සිතෙන්, සංසන්දනාත්මකව නුවණින් දකින්න. ඉහත කාරණයේදී ඔබේ සිතේ ගැටීමක්‌ ඇතිවෙනවා නම් එම ගැටෙන සිතත් අනිත්‍ය වශයෙන් දකින්න. ආහාරය තුළ ඕපපාතිකව ඇතිවන පණුවෙක්‌, ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් තොරව ආහාර ගැනීමේ ඵලයක්‌ බව නුවණින් දකින්න. අනුභව කරන බත් කටට වඩා, දන් දෙන බත්කට වටිනා බවත්, දන්දෙන බත්කටට වඩා, ප්‍රත්‍යාවේක්‍ෂා කොට අනුභව කරන බත්කට ශ්‍රේෂ්ඨ බවත් සිහිපත් කරගන්න.

ආහාර ප්‍රත්‍යාවේක්‍ෂාව ගැන සටහන තබනකොට, අතීතයේ වැඩ සිටිය ස්‌වාමීන් වහන්සේ නමක්‌ මතකයට පැමිණියා. මේ ස්‌වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්‌. නමුත් අනිත් ස්‌වාමීන් වහන්සේලා මේ බව දැනගෙන සිටියේ නැහැ. මේ ස්‌වාමීන් වහන්සේ අනිකුත් ස්‌වාමීන් වහන්සේලාත් සමග දානෙ ගෙවල්වලට වැඩියහම පාත්‍රයට හත් වතාවක්‌ම දානෙ බෙදාගෙන වළඳනවා. වැඩිපුර දානය වළඳන මේ ස්‌වාමීන්වහන්සේ නිසා අනෙක්‌ ස්‌වාමීන්වහන්සේලාට ලැඡ්ජාවක්‌ ඇතිවුණා. දිනපතා සිදුවන මේ ලැඡ්ජාසහගත ක්‍රියාව නිසා ස්‌වාමීන්වහන්සේලා සිතුවේ අදාළ ස්‌වාමීන්වහන්සේ ගිජුකම නිසා වැඩිපුර දානය වළඳනවා කියලා. මේ කාරණය ස්‌වාමීන්වහන්සේලා විසින් බුදුරජාණන්වහන්සේට පැමිණිලි කරනවා. බුදුරජාණන්වහන්සේ දිවැසින් බලනවා කව්ද මේ සීමාව ඉක්‌මවාගොස්‌ දානය වළඳන ස්‌වාමීන්වහන්සේ කියලා. එවිට බුදුරජාණන්වහන්සේ දකිනවා, උන්වහන්සේ රහතන්වහන්සේ නමක්‌ය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අතීතයේ පන්සියයක්‌ ආත්මභාවවල ඇත්කුළයේ ඉපැදීම නිසා ඒ සංසාර පුරුද්දට ආහාර වැඩිපුර ගන්නවා කියලා. ඒ රහතන්වහන්සේ පාත්‍රයට හත්වතාවක්‌ දානය බෙදාගෙන වැළඳුවත් උන්වහන්සේ වළඳන එකම බත්කටක්‌ නිසාවත් උන්වහන්සේ තුළ තෘෂ්ණාවක්‌ ඇති නොවන බව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබත්, කෑම මේසයේදී තෘෂ්ණාව දන්දී ආහාර පමණක්‌ අනුභව කරන්න. එය ආහාර ගිලන්පස ප්‍රත්‍යාවේක්‍ෂාවේ ශ්‍රේෂ්ඨම ඵලය වෙනවා වගේම, ශ්‍රේෂ්ඨම දානය වෙනවා ඇත. එසේ නොවී, තෘෂ්ණාවෙන් ඔබ ආහාර ගිලන්පස පරිහරණය කළොත්, ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා.

ඖෂධ පරිහරණයේදිත් රෝගීභාවය අනිත්‍යභාවයට පත්වී නීරෝගීභාවයත්, නීරෝගීභාවය අනිත්‍යභාවයට පත්වී රෝගී භාවයත් ඇතිවන අයුරු නුවණින් දකිමින් ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාව සිදුකරන්න. වර්තමානයේ ඖෂධවල මිලගණන් අහනකොට, ඖෂධ මිලට ගන්නකොට නැති ආශ්‍රවයන් ඇතිවන බවක්‌ සමාජය තුළින් අසන්නට ලැබෙනවා. මෙවැනි සිදුවීම් මනුෂ්‍යයාගේ ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි නිසා හටගන්නා අකුසලයන්ගේ විපාකයක්‌ බව හඳුනාගනිමින් අකුසල් නිසා පිංවත් ඔබ නැති ආශ්‍රවයන් ඇතිකොටගන්නේ නැතිව, මෙවැනි ප්‍රශ්න ධර්මානුකූලව ගලපාගන්න දක්‍ෂ වෙන්න ඕනේ. ඉපදීම නිසාමයි ජරා, ව්‍යාධි, මරණ සිද්ධවෙන්නේ. ඉපදීම නිරෝධය කිරීමෙන් තොරව ඉහත ප්‍රශ්නය නොවිසඳෙන බව ඔබ නුවණින් දකින්න දක්‍ෂනම්, එය ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාවට අර්ථවත් ප්‍රවේශයක්‌ වෙනවා.

මේ සටහන තබන දිනයේ භික්‍ෂුව උදේම කසායක්‌, චූර්ණයක්‌ වැළඳුවා. සවසත් කසායක්‌ චූර්ණයක්‌ වැළඳුවා. ඒ ඖෂධයන් ප්‍රත්‍යාවේක්‍ෂ කිරීමේදී භික්‍ෂුව දකින්නේ වෙනස්‌වන නිරෝගීභාවයත්, වෙනස්‌වන රෝගීභාවයත් පමණමයි. ඉපදීම නිසා සකස්‌වෙන, වෙනස්‌වන, ජාති ජරා ව්‍යාධි ධර්මතාවලට නොවෙනස්‌වන විසඳුම ඖෂධ නොව, ඉපදීමේ නිරෝධය බවත්, එතෙක්‌ ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ඖෂධ පරිහරණයකොට ඇති ආශ්‍රවයන් නැතිකොටගන්න ඔබ දක්‍ෂවෙන්න.

සංස්‌කාරයන්ට යටත්ව ජීවිතය නොදකින පිංවතා නීරෝගීභාවයට ගොඩාක්‌ කෑදරයි. ඒ නිසාම ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් තොරවයි පරිහරණය කරන්නේ. බුදුරජාණන්වහන්සේගේ කාලයේ නිරෝගීබවට කෑදරකමෙන් හොරාට පැවිදි වුණු අය හිටියා. රෝග සුවකිරීමේ දක්‍ෂ ජීවක වෛද්‍යවරයා, සංඝයාට තමයි විශේෂයෙන්ම බෙහෙත් කළේ. ඒ නිසාම රෝගාබාධ සහිත මිනිසුන් ජීවක වෛද්‍යවරයාගෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න හොරාට පැවිදි වුණා. ඒ නිසාම බුදුරජාණන්වහන්සේ යම් යම් රෝගාබාධයන් තිබෙන ගිහි පිංවතුන් පැවිදි කරගන්න එපාය කියල විනය කාරණාවක්‌ පවා පනවනවා. වෙනස්‌වන නීරෝගීකමට කෑදර මනුෂ්‍යයෝ බරපතල වූ ආශ්‍රවයන් ඖෂධ නිසාත්, රෝගීභාවය නිසාත් ඇතිකොට ගන්නවා.

මේ භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාවේ අර්ථවත් තැනක්‌ තමයි පැවිදි දිවියේ මුල් කාලවකවානුවල කායික වේදනාවන් උදෙසා හිමිදිරියේ ස්‌වමුත්‍රා පානය කිරීම. වර්තමානයේ නම් භික්‍ෂුව මේ පුරුද්දෙන් මිදිලයි සිටින්නේ. පිළිකුල් සහගත කයත්, පිළිකුල් සහගත ඖෂධත් තුළින් එදා භික්‍ෂුව කයත් ඖෂධත් කෙරෙහි ඇති තෘෂ්ණාවට බරපතල අභියෝගයක්‌ එල්ල කළා. නමුත් එදා භික්‍ෂුව ප්‍රත්‍යවේක්‍ෂාව කියන වචනයේ අර්ථය නිවැරදිව දැනගෙන සිටියේ නැහැ.