සබ්භාසව සූත්‍රය – 10

මීළඟට සබ්භාසව සූත්‍රයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුරු කිරීමෙන් ප්‍රහානය කළ යුතු ආස්‍රවයන් ගැන. මොනවද පිංවත් ඔබ දුරු කළයුත්තේ. නිරතුරුවම ඔබ තුළ සකස්‌වෙන කාම විතර්කයන්, කාමයේ ආදීනවයන් දැකල දුරුකරන්න ඕන. ලෝභ, ද්වේශ, මෝහ අකුසල මූලයන්ට අදාළ විතර්කයන් ඒවායේ ආදීනවයන් දැකලා දුරුකරනවා.

භික්‍ෂුව මුණගැසුණු මහත්මයෙක්‌ ප්‍රකාශ කළේ සත්ත්වයින්ගේ ඕපපාතික උපතක්‌ නැහැයි කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ ‘මහත්තයෝ, ඔය මතය දුරු කරන්න’ය කියලා. මොකද මෙවැනි මිථ්‍යාදෘෂ්ටික අදහස්‌ නිසා නැති ආස්‍රවයන් වැඩෙනවා. එක ලෝභ සිතක්‌ එක ද්වේශ සිතක්‌ දුරුකිරීමට ඔබ අදක්‍ෂ වුවහොත් සතර අපායට වැටෙන බලවත් ආස්‍රවයන් ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. ශිල්පදයක්‌ බිඳින්න කියල සිත කිව්වොත් එම සිත දුරුකරන්න. නරක මිතුරෙක්‌ හමුවන්න, වැරදි ගමනක්‌ යන්න සිත කිව්වොත් එම සිත දුරුකරන්න. කුසලයට අකැමැති සිතක්‌ සකස්‌වුවහොත් එම සිත දුරු කරන්න.

හෙට දවසේ හිමිදිරියේ සිට ඔබ සිහියෙන් යුතුව දවස පුරාවට ඇතිවන අකුසල් සිත් දුරු කරනවාය කියල සිතුවොත් එය ක්‍රියාත්මක කළොත්, ඔබ නැති ආස්‍රවයන් මතුකර ගන්නේ නැහැ. අවම වශයෙන් දිනකට ඔබ තුළ සකස්‌වෙන අකුසල් සිත් පහක්‌ දුරුකරන්න පුරුදුවෙන්න. ක්‍රමානුකූලව එය වැඩිකර ගැනීමට උත්සාහ ගන්න. ඔබ පරිහරණය කරන සෙලියුලර් දුරකථනය, කොණ්‌ඩ මෝස්‌තරය, ඔබ අඳින ඇඳුම් විලාසිතාව, ඔබේ ඉරියව් පැවැත්ම නිසා ඔබ තුළ ආස්‍රවයන් සකස්‌වෙන බව ඔබට දැනුනොත් ආස්‍රවයන් වැඩෙන එම ධර්මතාවන් දුරුකරන්න දක්‍ෂ වෙන්න.

නවීන තාක්‍ෂණික ලෝකය සබ්භාසව සූත්‍රයේ අර්ථයන්ට බලවත් අභියෝගයන් එල්ලකර තිබෙනවා. එම අභියෝගයේ තරමටම මනුෂ්‍යයාගේ පංචඋපාදානස්‌කන්ධය නොසන්සුන්භාවයට පත්කිරීමට අදාළව ආස්‍රවයන් වර්ධනය කරගන්නවා. පිංවත් ඔබ පිංකමක්‌ සිදු කරන විට, සද්ධර්මය ශ්‍රවණය කරන විට අශ්‍රද්ධාවට අදාළ සිතුවිලි දුරුකරගෙන ඕනේ එම කාර්යයන් සිදු කරන්න. අනාගාමී ඵලයට පත් උග්ග ගෘහපතිතුමා සතු ආශ්චර්යමත් කාරණාවන්ගෙන් එකක්‌ තමයි, එතුමා සද්ධර්මය ශ්‍රවණය කරන්නේ එම ධර්මයේ අඩුපාඩු වැරදි සෙවීමට නොවේ. ඒවා සොයල විවේචන කිරීමට නොවේ. උතුම් සද්ධර්මයේ අර්ථයක්‌ම ජීවිතයට එකතුකරගන්නවා කියන බලාපොරොත්තුවෙන්මයි. එය උග්ග ගෘහපතිවරයා සතු ආශ්චර්යමත් ගුණයක්‌. එම නිසා පිංවත් ඔබත් ධර්මයට අදාළ කාරණාවලදී අශ්‍රද්ධාවට අදාළ සිතුවිලි දුරු කරන්න පුරුදු වෙන්න. එසේ නොවුණොත් ධර්මයට අගෞරව කිරීම හේතුවෙන් බලවත් ආස්‍රවයන් අපි ඇතිකර ගන්නවා. පන්සලකට යන්න, ආරණ්‍යයකට යන්න, බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය දකින්නට යන්න මන්දෝත්සාහී වෙන සිත දුරු කරන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සියක්‌ දහසක්‌ ඇතුන්ද, සියක්‌ දහසක්‌ අජානීය අශ්වයන්ද, සියක්‌ දහසක්‌ රනින් සරසන ලද කන්‍යාවෝද ලබන්න ඔබ යන ගමනක්‌ වේද, තෙරුවන් දකින්න යන්නාහුගේ එක පියවරක්‌ ඊට වඩා දසදහස්‌ වාරයක්‌ වටිනවාය කියල.

පිංවත් ඔබ දන් පැන් පූජා කරන අවස්‌ථාවල ලෝභ සිත් දුරු කරන්න දක්‍ෂ වෙන්න. මසුරුකම් ඇති, දන්දෙන අයට අගුණ කියන, යම් මසුරු මිනිසෙක්‌ මෙලොව ඇතිද ඔහු ප්‍රේත ලෝකයටද, නිරයටද, තිරිසන් ලෝකයටද වැටෙනවා. මිනිසත් බවක්‌ ලැබුවොත් ආහාර, වස්‌ත්‍ර, යානවාහන, කාමසම්පත් හීන, ඒවා දුකසේ ලබන දිළිඳු කුලයක ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සැවැත්නුවර අපුන්තක සිටුතුමා මහා ධනස්‌කන්ධයකට හිමිකම් කිව්වත් බතකුයි හොද්දකුයි පමණයි, ආහාරයට ගත්තේ දිරාගිය ඇඳුමක්‌ පරිහරණය කළේ. සිටුතුමා මොනතරම් ධනයක්‌ තිබිලත් එම ධනය පරිහරණය කිරීමට සිත නොදීමේ හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

අතීතයේ සිටුවරයෙක්‌ ලෙස ඉපදුණු වෙලාවේ තගරසිඛී කියන පසේබුදුරජාණන් වහන්සේ නිවසට පිණ්‌ඩපාතයට වැඩිය වෙලාවේ සිටුතුමා සේවකයින්ට දන් දෙන්න කියල ඉවතට ගියා. දානේ දීමෙන් පසුව එම සිටුතුමා සිතනවා දානයට දුන්න ආහාර ටික, සේවයකුට දුන්නානම් වැඩිපුර වැඩක්‌ කරගන්න තිබුණා නේද කියල. පසේ බුදුරජාණන් වහන්සේට දන්දෙන්න කියල සේවකයින්ට කියපු නිසා එම පිනෙන් සත්වරක්‌ සිටුතනතුරු ලැබුණා. නමුත් දන්දීමෙන් අනතුරුව එම ආහාර සේවකයෙකුට දුන්නානම් හොඳයි නේද කියල සිතුන නිසා ඇඳුම් ආහාර රථවාහන පරිහරණය කරන්න පින නැතුව ගියා. සිටු තනතුර ලැබුණත් සැප විඳින්න සිත දුන්නේ නැහැ. පිංවත් ඔබත් මසුරු සිත් දුරු කරමින් දන් පැන් දෙන්න. එසේ නොවුණොත් නැති ආස්‍රවයන් ඇතිවෙනවා. ඇති ආස්‍රවයන් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආහාර දෙන්නා බලය දෙන්නේ වේ, වස්‌ත්‍ර දෙන්නා වර්ණය දෙන්නේ වේ, රථ වාහන දෙන්නා සැපදෙන්නේ වේ, පහන් දෙන්නා ඇස්‌ දෙන්නේ වේ, යමෙක්‌ ආවාස දෙයිද හේ සියල්ල දෙන්නේ වෙයි. යමෙක්‌ ධර්මානුශාසනා කෙරේද හේ අමෘතය දෙන්නේ වෙයි කියලා. යමෙක්‌ මසුරු සිත දුරු කිරීමට අදක්‍ෂනම් මේ සියල්ලම ඔහුට අහිමිවී යනවා. නුවණ නැත්තාවූ යම් කෙනෙක්‌ ආර්යය චර්යාවන් දුරුකරමින් හැසිරෙත්ද ආර්ය ධර්මයන් දුරුකරමින් හැසිරෙයිද ඔහු දරුණු වූ රෞරව නිරයට පැමිණ බොහෝ කලක්‌ දුක්‌ අනුභව කරයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ නිරතුරුවම බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ විශ්වාසය ඔබ ළඟට ගන්න. එවිට මිථ්‍යදෘෂ්ටිය ඔබෙන් දුරු වෙනවා. ශීලය, කුසලය කෙරෙහිවූ විශ්වාසය ඔබ තුළට ගන්න, එවිට අකුසලය, දුශ්ශීලභාවය ඔබෙන් දුරු වෙනවා.