සබ්භාසව සූත්‍රය – 11

මේ දවස්‌වල භික්‍ෂුව පිණ්‌ඩපාතයේ වඩින ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්‌කරණය කරනවා. මාර්ගය දිගටම ගල් කැබලි සහ ලී කුඩු අතුරලා. භික්‍ෂුව මාර්ගය දිගේ පිණ්‌ඩපාතයේ වඩින විට භික්‍ෂුව පසුකරගෙන බස්‌ රථයක්‌ වේගයෙන් ගමන් කළා. බස්‌ රථයේ වේගයට මුළු මාර්ගයම ගල් කුඩු දුහුවිල්ලෙන් වැසීගියා. භික්‍ෂුවට සිදුවුණා විනාඩියක්‌ පමණ එකතැන නැවතී දෑස්‌පියාගෙන සිටින්න. එම බස්‌රථයේ රියදුරු මහතා තුළ අශ්‍රද්ධාවට අදාළව සකස්‌වුණ එක සිතුවිල්ලක්‌ දුරුකිරීමට එම රියදුරු මහතා අදක්‍ෂවීම නිසා මොනතරම් කුසලයක්‌ අහිමිකර ගත්තාද? එම රියදුරු මහත්මයාට පුළුවන් වුණා නම් පිණ්‌ඩපාතයේ වඩින භික්‍ෂුව මහාසංඝරත්නය හැටියට දැකලා මම බස්‌ රථය වේගයෙන් ගමන් කළොත් ස්‌වාමීන් වහන්සේට දුහුවිල්ලෙන් පීඩාවක්‌ වෙනවා කියලා හිතල රථයේ වේගය අඩු කර ධාවනය කරන්න. ඒ සකස්‌කරගත් ශ්‍රද්ධාවට අදාළ එක සිතුවිල්ලෙන් ඔහු ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ ජීවත් වුණා වෙනවා.

රියදුරු මහත්මයා ස්‌වාමීන්වහන්සේව සංඝයා හැටියට දකින මොහොතේම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සම්මාදිට්‌ඨිය පෝෂණය වෙනවා. ස්‌වාමීන් වහන්සේට ගල් කුඩු දුහුවිල්ලෙන් පීඩාවක්‌මයි කියල සිතනවිටම හිංසාවෙන් බැහැරවෙච්ච සිත තුළ සම්මා සංකප්පයන් වැඩෙනවා. මෙහෙම සිතන්න දක්‍ෂ පිංවතා තුළ මේ මොහොතේම ශිල්පද ආරක්‍ෂාවෙනවා. කුසල් සිත් තව තව ශක්‌තිමත් කරගැනීම නිසා සම්මා වායාමෝ ධර්මයන් වැඩෙනවා. මේ සියල්ල සකස්‌වීමෙන් සම්මා සතිය ක්‍රියාත්මක වෙනවා. එම රියදුරු මහතා රාජකාරි සිදුකරගන්නා මොහොතේදී සකස්‌කරගන්නා එක අර්ථවත් සිතුවිල්ලක්‌ තුළින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයම ශක්‌තිමත් කර ගැනීමට හැකියාව තිබියදී අශ්‍රද්ධාවට අදාළව සකස්‌වුණ එක අකුසල් සිතක්‌ දුරුකිරීමට අදක්‍ෂ වූ නිසාම නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. ඇති ආස්‍රවයන් වර්ධනය කරගන්නවා. පිංවත් ඔබත් එදිනෙදා රාජකාරී ජීවිතයේදී අනූනට පීඩාව උදෙසා අනුන්ගේ අයහපත, අකමැත්ත උදෙසා සකස්‌වෙන අකුසල් සිත් දුරුකිරීමට පුරුදුවෙන්න. එවිට නැති ආස්‍රවයන් ඇතිවෙන්නේ නැහැ. ඇති ආස්‍රවයන් හීනවී යනවා.

ඔබ තුළ ඇති වන ළාමක කාම විතර්ක, ව්‍යපාද විතර්ක, හිංසා විතර්ක දුරුකරන්න. ඒ විතර්කයන් දුක පිණිසමයි වෙන්නේ. සමාධියෙන් එකඟ කර ගත් සිතින් මෙය දුකයැයි දකින්න. මෙය දුකට හේතුව යැයි දකින්න. මෙය දුකේ නිරෝධය යැයි දකින්න. දුක නිරෝධය කිරීමේ මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන සිතුවිලිවලින් ජීවිතය පෝෂණය කොටගන්න. එවිට ඔබ රාජකාරි වෙලාවෙන් ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළා වෙනවා.

ගිහි සමාජය තුළ පිංවතුන්ලාට යුතුකම් කියලා කොටසක්‌ තිබෙනවා. පිංවත් ඔබ කෙනෙකුට උපකාරයක්‌ කළොත් උපකාරය ලබාගන්නා තැනත්තාට උපකාරයක්‌ අවශ්‍ය වේලාවක පෙරළා උපකාරයක්‌ කරන්න ඕනේ. ඔබේ මඟුල් ගෙදරට, මළගෙදරට ඥාතියෙක්‌, හිතවතෙක්‌ සහභාගිවුවහොත් ඔබ පෙරළා ඔහුගේ මඟුල් ගෙදරට, මළගෙදරට සහභාගීවෙන්න ඕනේ. හිතවතෙක්‌ ඔබට ආහාර වේලක්‌ දුන්නොත් ඔබත් ඔහුට පෙරළා ආහාර වේලක්‌ දෙන්න ඕනේ. නමුත් පැවිදි සමාජයත් සමඟ ගිහි පිංවතුන්ලා කටයුතුකරනවිට ඉහත පෙරළා ප්‍රතිඋපකාර කිරීමේ තත්ත්වය වෙනස්‌වෙනවා. ගිහි පිංවතුන්ලා ස්‌වාමීන් වහන්සේ නමකට පිණ්‌ඩපාතයක්‌ පුජාකළත්, දානේ වේලක්‌ පුජාකළත්, ප්‍රවාහන පහසුකමක්‌ සලකා දුන්නොත් වෙනත් සිව්පසයෙන් ඇපඋපස්‌ථානයක්‌ සිදුකළොත් එය සිදුකළ මොහොතේම ස්‌වාමීන් වහන්සේලා අදාල පිංවතාට පිං අනුමෝදන් කරනවා. ගිහි පිංවතාට සිදුකළ පිංකමට පිං අනුමෝදන් කළාට පස්‌සේ ස්‌වාමීන් වහන්සේට බැඳීමක්‌ නැහැ. උන්වහන්සේ නිදහස්‌.

ස්‌වාමීන්වහන්සේ පෙරළා අදාළ ගිහි පිංවතාට උපකාර කළ යුතුයි කියලා කාරණයක්‌ පැවිදි සමාජයට අදාළ නැහැ. එම නිසා ස්‌වාමීන් වහන්සේලාට ඔබ යම් පූජාවක්‌ කළොත්, උන්වහන්සේලා ඔබලාට පින් අනුමෝදන් කරනවා. එම පින අනුමෝදන් වී, එම පිනෙන් සෑහීමට පත්වී අතපිසදා ගැනීමට පිංවතුන්ලා දක්‍ෂ විය යුතුයි. එසේ නොවී, අපි ස්‌වාමීන්වහන්සේට සිව්පසයෙන් උපකාරයක්‌ කළා, ස්‌වාමීන්වහන්සේ අපට පෙරළා ප්‍රති උපකාර කළ යුතුයි කියලා යම් පින්වතෙක්‌ බලාපොරොත්තු වෙනවා නම්, ඔබ රැස්‌කරගත් පිනේ ශක්‌තිය අකුසල් මූලයන් නිසා ඔබ අවම කරගන්නවා. එම නිසා එවැනි සිතුවිලි දුරු කරන්න දක්‍ෂ වෙන්න. එසේ නොවුණහොත් ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. ඇති ආශ්‍රවයන් වැඩෙනවා.

ඒ වගේමයි, ගිහි සමාජයේදී පින්වතුන්ලා තම තමන් අතර හිතවත්කම්, යාළුමිත්‍ර සම්බන්ධතාවයන් ඇතිකොට ගන්නවා. එය ගිහි සමාජයට අත්‍යවශ්‍ය කාරණයක්‌. නමුත් පැවිදි පක්‍ෂයට ගිහි පිංවතුන්ලා සමඟ හිතවත්කම්, යාළු මිත්‍රකම් පවත්වන්න, සම්බන්ධතා ඇතිකරගන්න බැහැ. භික්‍ෂූන් වහන්සේලාගේ ඥාතීන් වෙන්නේ බුදුරජාණන් වහන්සේත්, මහා සංඝරත්නයත් පමණයි. ඒ ඥාතීත්වයත් ස්‌වාමීන්වහන්සේලා පරිහරණය කළ යුත්තේ අනිත්‍යයි කියන දැක්‌ම තුළ සිටිමින්. බුදුරජාණන් වහන්සේ වරක්‌ සුද්දෝධන පියරජතුමා ඉදිරියේ සිංහනාදයක්‌ කරනවා ‘මහරජ, ඔබගේ වංශය ශාඛ්‍ය වංශයයි. මාගේ වංශය බුද්ධවංශයයි’ කියලා. බක්‌කුල මහ රහතන් වහන්සේ අවුරුදු 160ක්‌ ආයුෂ වළඳලා, පිරිනිවන් පාන්නට පෙර දිනයේ සිංහනාදයක්‌ කරනවා ‘අසූ වසරක්‌ වන මගේ පැවිදි ජීවිතයේදී කවදාවත් මම ආරාධනා දානයක්‌ භාරගෙන නැහැ. කවදාවත් මම නිවසක්‌ ඇතුළට වැඩම කරලා දානයක්‌ පිළිඅරගෙන වළඳලා නැහැ’ කියලා. මේ උත්තරීතර පරපුර තමයි, සංඝයාගේ පරපුර, ඥාතීත්වය කියන්නේ. පින්වත් ගිහිපින්වතුන්ලා මහා සංඝරත්නය සමඟ කටයුතු කිරීමේදී මේ උතුම් ඥාතීත්වයේ රුවගුණ හොඳින් හඳුනාගෙනයි කටයුතු කළ යුත්තේ. එසේ නොවුණහොත්, නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා. ගිහි පිංවතුන්ලා සංඝරතන්නය උපයෝගී කරගත යුත්තේ, උතුම් සංඝරත්නය වශයෙන් දැකලා, සිව්පසයෙන් ඇප උපස්‌ථාන ධර්මයන් සිදුකරගෙන කුසල් දහම් රැස්‌කරගැනීම සඳහා පමණක්‌මයි.

භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටිය පිහිටි ගමේ, සියලුම පින්වතුන්ලා අද දවසේ භික්‍ෂුවගේ දායක පින්වතුන්ලා. හෙට භික්‍ෂුව මේ කුටිය අතහැරලා වෙනත් කුටියකට වැඩියහොත්, එම ගමේ පින්වතුන්ලා භික්‍ෂුවගේ දායක කැපකරු පින්වතුන් වෙනවා. ස්‌වාමීන්වහන්සේලා ගමකින් තවත් ගමකට වැඩිය යුත්තේ සම්බන්ධතාවලින් දෑත් පිසදාගෙනයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. එම නිසා ගිහි පින්වතුන්ලා ස්‌වාමීන්වහන්සේලා සමග යාළුමිත්‍රකම් ඇතිකරගන්න උත්සහගන්න එපා. එවැනි සිතුවිලි දුරුකරන්න. එවැනි කාරණාවන්ට ස්‌වාමීන්වහන්සේලාගෙන් අවස්‌ථාවක්‌ නොලැබෙන විට ගැටෙන සිත් ඇතිවී පින්වත් ඔබතුළ නැති ආශ්‍රවයන් ඇතිවෙන්න පුළුවන්. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙන්නත් පුළුවන්. ගිහි පින්වතුන්ලාගේ යාළු මිත්‍රකම් නිසා, ස්‌වාමීන්වහන්සේලා තුළ ද නැති ආශ්‍රවයන් ඇතිවී, ඇති ආශ්‍රවයන් වර්ධනයවී පිරිහීමට පත්වෙන්න පුළුවන්. මේවා ගිහිපින්වතුන්ලා අනවබෝධය නිසාම, ඇතිකොටගන්නා බලවත් ආශ්‍රවයන් වෙනවා.