නිරය – 1

සතර සතිපට්‌ඨානය කෙනෙකු විසින් අඛණ්‌ඩව වඩන ලැබුවහොත් අවමය දින 7ක්‌ හෝ උපරිමය වසර 7ක්‌ තුළ රහත්භාවයට පත්වන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය ඝෝර, කටුක, භයානක සසර දුකෙන් මිදී යාමට ඔබ සතු හැකියාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් සහතිකයක්‌ වැන්න. නමුත් භාවනාව වැඩීමට පිංවතුන් කළ යුතු පූර්වකෘත ගැන සඳහන් අතිශයින් වටිනා සූත්‍රයක්‌ වේ. ඒ වනාහී සබ්භාසව සූත්‍රයයි. මෙම ලිපිමාලාව සපයන පිංවත් ස්‌වාමීන්වහන්සේ විසින් සබ්භාසව සූත්‍රය මෙලෙස පැහැදිලි කරනුයේ, සතර සතිපට්‌ඨානය සම්බන්ධයෙන් පළවීමට නියමිත මීළඟ ලිපිමාලාවට ප්‍රවේශයක්‌ ලෙසිනි. එබැවින් සතරසතිපට්‌ඨාන විග්‍රහයේ උපරිමය උකහාගැනීම උදෙසා මෙම සබ්භාසව සූත්‍රයේ විග්‍රහය අතිශයින් වැදගත් බව සලකන්නේ නම් මැනවි.

වස්‌සාන කාලය නිමාකරල භික්‍ෂුව ගම්මානයේ පිංවතුන්ලාට පින් අනුමෝදන් කිරීමේ පිංකමක්‌ සිද්ධ කළා. හුදෙකලාව කුටිවල වස්‌ ශීලය සමාදන් වන ස්‌වාමීන් වහන්සේලාට කඨින චීවරයක්‌ පිළිගැනීම කැප නැහැ. කඨින චීවරයක්‌ පිළිගැනීම තුළ කළයුතු විනය කාරණාවන් කිහිපයක්‌ම තිබෙනවා. එම විනය කර්මයන් සිදුකරගන්න අවම වශයෙන් උපසම්පදා ස්‌වාමීන්වහන්සේලා පස්‌නමක්‌වත් වැඩ සිටිය යුතු වෙනවා. මේ හේතුව නිසා හුදෙකලාව කුටිවල වස්‌ පවාරණය කරන ස්‌වාමීන් වහන්සේලා කඨින වස්‌ත්‍ර පිළිගැනීමකින් තොරව පිං අනුමෝදන් කිරීමේ පිංකමක්‌ පමණයි සිදුකරන්නේ. පිංකමට පැමිණි එක පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. එම ප්‍රශ්නය තමයි ස්‌වාමීන් වහන්සේ අපාය තිබෙන්නේ මනුෂ්‍ය ලෝකයේද? කියලා.

මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් දුර්වලවන විට, මනුෂ්‍යයා තුළ අකුසල මූලයන් ශක්‌තිමත් වෙන විට සුගතිය දුගතිය පටලවා ගන්නවා. එම පිංවතුන් තමන් ඉපදුණු මනුෂ්‍ය ලෝකය නමැති සුගතියත්, දුගතියත් වශයෙනුයි දකින්නේ. සුගතිය දුගතියක්‌ කර දකින පිංවතා නිරතුරුවම සුගතිය අහිමි කරගන්නවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංවත් ඔබ යම් හෙයකින් මැරෙන මොහොතේ උපාදාන පච්චයා භවය කියන ධර්මතාව හේතුවෙන් සතර අපායන්ට අයිති නිරයට වැටුණොත් නිරය පාලකයෝ එම නිරිසතුනව පංචවිධ බන්ධනයට ලක්‌කරනවාය කියල. පංචවිධ බන්ධනය කියල කියන්නේ නිරිසතාව ගිනියම් වූ පොළවේ මුණින් අතට නිදිකරවා අත් දෙකට කකුල් දෙකට උදරයට රත් වූ යවුල් ගසා පොළවට සිරකරනවා. දෙවැනිව යමපල්ලන් නිරිසතුන්ව දෙපයින් සිටුවා හිසේ පටන් මුවහත ඇති වෑයකින් රහිනවා. තියුණු පිහියකින් කෙසෙල් බඩයක්‌ රහින්නේ, පෙතිකපන්නේ යම් සේද එම නිරිසතාව රහිනවා. දුකෙන් පීඩිතව මිය යන සතා එතැනම නැවත ඉපදෙනවා. ආයිමත් යමපල්ලන් එම නිරිසතාව ඔළුවෙන් සිටුවා වෑයෙන් රහිනවාය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරවා.

ඝන යකඩ පවුරින් වටවුණු ඇවිලෙන ගිනිදැල් වලින් යුත් සියක්‌ යොදුනක්‌ පැතිර පවතින, මහා නිරයක්‌ දෙකවන, චතුස්‌තණි සහ චතුර්ද්වාරයේ දොරටුව යම් කාලයකදී විවෘත වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිච්චීමෙන් බේරීම සඳහා විවෘත වූ දොරටුව දෙසට දුවයන නිරිසතාගේ සිවියද, සමද, මසද,නහරද, ඇටද ඇට මිදුලුද ගිනිදැල්වලට පිච්චිලා යනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් නිරිසතෙක්‌ ගුථ නිරයට වැටුණොත් ගුථ නිරයේ සිටිනා තියුණු තුඩ සහිත පණුවන් එම නිසතාගේ සිවිය ඇට මස්‌ නහර සිඳ කනවාය කියලා. ගුථ නිරයට සමාන්තරව පිහිටා තිබෙන උණු අළු නිරය ගිනියම් වූ අළුවලින් සැදුනකි. අළු නිරයට සමාන්තරව පිහිටි සියක්‌ යොදුනක්‌ උසට නැඟුණු හිඹුල් වනයේ කටු උල් ඇති, ඒ සෑම කටුවකින් උලකින්ම ගිනිදැල් නැගෙන හිඹුල්වනයේ ඇති ශාකවල කටු උල් වලට නිසාගේ සම් මස්‌ නහර ඉරී, පැලී, තැලී මරණීය දුකට පත්වෙනවා.

නිරයේ හිඹුල් වනයට සමාන්තරව පිහිටි අසිපත්‍රවනයේ තියුණු මුවහත ඇති පත්‍ර ඒ කියන්නේ කොළ වාතයෙන් සෙලවී නිරිසතුන්ගේ අත් පා ගෙල නාසය කන සිඳ දමනවා. අසිපත්‍රවනයේ සිටින සෑම නිසතෙක්‌ම සෑම තප්පරයකදිම තියුණු මුවහත ඇති පත්‍ර වලින් කැපී යනවා. ලී මෝලක දැව කොටයක්‌ පරාල රිප්පවලට ඉරී යන්නා සේ නිසතුන් කෑලිවලට ඉරී යනවා.

අසිපත්‍ර වනයට සමාන්තරව පිහිටි වෙතරණී ක්‌ෂරෝදක නදිය යනු උණුවු ගිනියම් වූ ලෝදිය ජලය බවට පත් වු ගංගාවක්‌. ක්‌ෂාරෝදක නදියට වැටෙන නිරිසතුන් ගිනිගෙන දැවෙන ලොහොදියම ජලය ලෙස පානය කරනවා. යමපල්ලන් ලොහොදිය ජලය නිරිසතුන්ගේ කටට වත්කරනවා. එවිට නිරිසතුන්ගේ මුව දෙතොල්, උගුර, උදරය ගිනිගෙන දැවෙනවාය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

නිරිසතුන් මහ නිරයෙන් ගුථ නිරයට වැටෙනවා. ගුථ නිරයෙන් උණු අළු නිරයට වැටෙනවා. උණු අළු නිරයෙන් හිඹුල්වනය නිරයට වැටෙනවා.මෙසේ නිරිසතුන් නිරයෙන් නිරයට වැටෙන ස්‌වභාවය පිළිබදව යම් වැටහීමක්‌ ඇතිකර ගැනීමට පහත සිද්ධියෙන් පුළුවන්කම ලැබෙනවා.

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළා, එක්‌තරා අවස්‌ථාවක තමන්ට දහවල් එකට පමණ තද අවුරශ්මිය ඇති මොහොතක, අනුරාධපුර ප්‍රදේශයේ ගල් තලාවක පාවහන් රහිතව ගමන් කරන්න සිදු වුණාය කියලා. තද අව්රශ්මියෙන් පොළව ගිනියම් වෙලා තිබීම නිසා නිරාවරණ දෙපාවල යටිපතුල්වල දියපට්‌ටා ඇවිල්ලා. ඒ වෙලාවේ යටි පතුල් පිච්චීමේ වේදනාව උසුලාගන්න බැරිව ඒ මහත්මයා දුවගෙන ඇවිත් එතන තිබිච්ච කුඩා තණබිස්‌සකට ගොඩවෙලා. එම තණ බිස්‌සේ තනිකරම තිබිල තිබෙන්නේ නිදිකුම්බා කටු. අව්රශ්මියට පිළිස්‌සුණු යටිපතුල්වලට දැන් කටු ඇනීමේ වේදනාවත් එකතුවෙලා. එම වේදනා දෙකෙන්ම මිදෙන්න දුවගෙන ඇවිත් ඒ අවට තිබුණු මඩ සහිත කුඩා වගුරටකට බැහැලා මඩේ තිබුණු බෝතල් කටුවකට කකුල කැපිලා. බලන්න විනාඩි පහක්‌ වැනි පුංචි කාලයකදී යටිපතුල් පිච්චීමේ වේදනාවෙන් මිදෙන්න ගිහිල්ල කටු ඇනීමේ වේදනාවට පත්වුණා. කටු ඇනීමේ වේදනාවෙන් මිදෙන්න ගිහිල්ලා බෝතල් කටුවට යටිපතුල කැපී රුධිරය ගැලීමේ වේදනාව අයිතිකොට ගත්තා. ඉහත සිද්ධියට අදාළව පිංවතුන්ලාට නිරිසතුන් නිරයකින් තවත් නිරයකට වැටීමේ ස්‌වාභාවික ක්‍රමවේදය තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. එක නිරයක තියුණු කටුක වේදනාවෙන් මිදෙන්න යන විට තවත් නිරයක දුක අයිතිකර ගන්නවා. සැපයක්‌ සොයන මොහොතක, අකුසලය හේතුවෙන් වේදනාවම දුකම පිහිටට එනවා.

වර්තමාන සමාජයේ දැනුම ජීවිතය කොටගත් සමහරක්‌ පිංවතුන්ලා නිරයේ ඉහත ක්‍රියාකාරකම් හාස්‍යයෙන් යුතුව ප්‍රතික්‌ෂේප කරනවා භික්‍ෂුව දැක තිබෙනවා. උතුම් ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කර දැකීමට ඇති අධමභාවය නිසාම අපායක්‌, නිරයක්‌ නැහැයි කියන පිංවතුන්ලා සකස්‌කර ගන්නා එම මිත්‍යාදෘෂ්ටික සිතුවිල්ල නිසාම නිරයට වැටීමට අදාලව අකුසල් සංස්‌කාරයන් රැස්‌කර ගන්නවා.