නිරය – 4

පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක්‌ වෙන්න පුළුවන් නිරයේ සිටින යමපල්ලන් කියන්නේ කවුරුන්ද කියලා. යමපල්ලන් කියන්නේ නිරයේ උපත ලබා ඇති ආයුෂ, වර්ණය, බලය වැඩි නිරිසතුන් පිරිසක්‌මයි. යමපල්ලන් නිරයේ උපත ලබන්නේ අතීත බලවත් අකුසල විපාකයන් නිසා. පිංවත් ඔබ මෙහෙම සිතන්නකෝ දුප්පත් කම්කරු මහත්මයෙකුත් රටේ පාලක පිංවතෙකුත් සිහියට නඟා ගන්නකෝ දෙදෙනාම මනුෂ්‍යයෝ නමුත් දෙදෙනාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය වෙනස්‌. සිරගෙදර අලුගෝසු මහත්මයෙක්‌ මරණ දඬුවමට නියමවූ සිරකරුවන් සිහියට නඟාගන්නකෝ. නිරිසතාත් යමපල්ලාත් කියන්නේ ඉහත ස්‌වභාවයන්ට යටත් දෙදෙනෙක්‌. නිරයේ තිබෙන කටුක උෂ්ණාධික පරිසරයක්‌ නිසාම ආයුෂ වර්ණය බලය වැඩි යමපල්ලන් නිරතුරුවම වියරුවෙන් සිටින්නේ. යමපල්ලන් ලබන එකම සැපය තමයි නිරිසතුන්ට දණ්‌ඩනයට පත්කර ලබන සැපය. යමපල්ලන්ගේ මේ වියරු සැපය නිසාම යමපල්ලන් අතිශයින් තියුණු අකුසල් රැස්‌කර ගන්නවා. නිරිසතුන්ගේ අකුසල් විපාකයන් බලවත්භාවය නිසාමයි යමපල්ලන්ගේ වියරුභාවය සකස්‌වෙන්නේ.

පිංවත් ඔබ යුද සමයක්‌ වධකාගාරයක්‌ සිහියට නඟාගන්න. වධකාගාරයේ යුද සිරකරුවන් දසවද දෙන වදකයන් වදයට ලක්‌වෙන සිරකරුවන් ගැන දුක්‌වෙනවාද? වදකයන්ගේ එකම වියරුව වදදීමයි. ඔවුන් අනුනට වද දීමෙන්මයි තෘප්තියක්‌ ලබන්නේ. විදේශ රටවල සත්ව ගොවිපළවල්වල ඌරන් හරකුන් මරනවිට එම සතුනට අතිශය කෲර වදයන් පමුණුවනවා. හරකා කකුල් දෙකෙන් බාල්කයක එල්ලලා එම සතාගේ උගුර දණ්‌ඩ කපලා බාල්දියට ලේ ටික එකතුකර ගන්නවා. ඌරන් මැරීමට පෙර එම සතුනට දරුණු ලෙස පහර දෙනවා. සත්ව හිංසා කරුවන් මේ සියල්ල කරන්නේ හරිම තෘප්තියෙන්. නිරයේ නිරි සතුන්ට දඬුවම් කරන යමපල්ලන්ගේ ක්‍රියාකාරීත්වයත් ඉහත කාරණයන්ට අදාළව පිංවතුන් තේරුම් ගත යුතුයි. මේ මොහොතේ නිරයේ නිරිසතුන්ට දසවද දෙන යමපල්ලන් ඊළඟ මොහොතේ දුක්‌විඳින නිරිසතෙක්‌ බවට පත්වී යමපල්ලන්ගේ වියරු දණ්‌ඩනයන්ට ලක්‌වෙන්න පුළුවන්.

නිරයන්ගේ යම් ස්‌වභාවයන් ගැන භික්‍ෂුව තැබූ ඉහත සටහන සමහරක්‌ පිංවතුන්ලාගේ විවේචනයට ලක්‌වෙන්න පුළුවන්. මෙම සටහන තුළින් භික්‍ෂුවට අවශ්‍ය වුණෙ නිරය යනු වැරදි කරන අයට දඬුවම් දීමට කෘත්‍රිමව නිර්මාණය වූවක්‌ නොව නිරය යනු මහ පොළොව යට තිබෙන ස්‌වභාවික පරිසරයක්‌ය කියන කාරණය පිංවත් ඔබලාට මතුකර පෙන්වන්න.

මනුෂ්‍ය ලෝකයේ ඇති ස්‌වභාවික සෞම්‍ය පරිසරයේ පිංවත් ඔබ උපත ලැබුවේ අතීත පිනේ ශක්‌තිය නිසාමයි. තවත් පිංවතෙක්‌ ඈත ශුෂ්ක ප්‍රදේශයක, කාන්තාර ප්‍රදේශයක උපදින්නේ එම පිංවතාගේ අකුසල් සංස්‌කාරයන් විපාකදීම සඳහාමයි.

පිංවත් ඔබ මොහොතක්‌ දෑස්‌ දෙක පියාගෙන ගිනි කඳුවලින් ගහන පරිසරයක ලෝධිය ලාවා මහපොළොව මත ගලාගෙන යන පරිසරයක උණු අළුවලින් මහපොළොව වැසීගිය පරිසරයක මුවහත ඇති තියුණු කටු, උල්, කොළ, අතු සහිත ශාඛ බහුල පරිසරයක ගංගා, ඇළ, දොළ ලෝධිය වලින් ලාවා වලින් පිරීගිය පරිසරයක ඔබ වටා ආයුෂ වර්ණ සැප, බලය වැඩි වියරු මිනිසුන් වදකයන් ජීවත්වන පරිසරයක ඔබ ඉපදුණොත් ඇතිවෙන කටුක දුක මොහොතක්‌ නුවණින් දකින්න. පොළොව ගිනියම්වී ඇති නිසා ඔබට නැවති සිටින්නත් බැහැ. මුවහත තියුණු කටු, උල්, අතු, කොළ, සහිත ගස්‌ කොලන් නිසා ඔබට දුවන්නත් බැහැ. නමුත් නිරයට ඔබ වැටුණොත් බැහැ කියල බැහැ. අත, පය, බෙල්ල, සම්, මස්‌, නහර ඉරාගෙන කපාගෙන ඔබට දුවන්නට වෙනවා. මොකද ගිනියම් වූ පොළොව ඔබට නැවතී සිටින්නට ඉඩදෙන්නේ නැහැ. නිරයේ ගිනි ගන්නා ස්‌වභාවික පරිසරයේ ඔබ උපත ලැබුවොත් නැවතීමක්‌ ගැන හෝ ආරක්‍ෂා වීමක්‌ ගැන හිතන්නවත් බැහැ.

පිංවත් ඔබ මේ සටහන කියවා අකුසලය ඉදිරියේ දුෂ්ශීලභාවය ඉදිරියේ සතිය සිහිය ඇතිකරගන්න. එවිට ඔබ නිරයට වැටීමෙන් නැවතුණා වෙනවා. ගිනියම් වූ පොළොවේ අත පය ඉරාගෙන දුවන දිවීම නැවැත්තුවා වෙනවා. අකුසලය ඉදිරියේ පිංවත් ඔබ ඇතිකරගන්නා සතිය සිහිය මුල්කරගත් සතර සතිපට්‌ටාන ධර්මතාවයන්මයි පිංවත් ඔබව මේසා දරුණු සතර අපාදුකෙන් මුදවා දෙන්න උපකාරක ධර්මයක්‌ සකස්‌කර දෙන්නේ. භික්‍ෂුව ඉහත සටහනින් මතුකර පෙන්වූයේ නිරයන් 128 කින් නිරයන් හතක ස්‌වභාවය පමණක්‌ බව පිංවත් ඔබට මතක්‌ කර සිටිමි.