සතර සතිපට්‌ඨාන ප්‍රවේශය – 1

භික්‍ෂුව ධර්මදේශනා පවත්වන දිනවල අහම්බෙන් මුණගැසුණු වැදගත් මහත්මයෙක්‌ භික්‍ෂුවට බොහෝම ගෞරවයෙන් ප්‍රකාශ කළා ‘ස්‌වාමීන්වහන්ස, ඔබවහන්සේ වෙහෙසෙනවා වැඩියි. ඔබවහන්සේට ඔබවහන්සේගේ අගය නොතේරුණාට අපට එය තේරෙනවා. අපිට අවශ්‍යයි ඔබවහන්සේව තව අවුරුදු පනහක්‌ ජීවත්කරවගන්න’ කියලා. භික්‍ෂුව නොසිතූ මොහොතක, නොසිතූ අදහසක්‌ ඉදිරිපත් කළ එම මහත්මයාට භික්‍ෂුව ප්‍රකාශ කළේ ‘මහත්තයෝ, ඒ අවුරුදු පනහ මහත්තයා අරගෙන දීර්ඝායුෂ විඳින්න. භික්‍ෂුවට නම් අවශ්‍ය ඊළඟ නිමේෂයේදී නිදහසේ ඇස්‌ දෙක පියාගන්න’ කියලා. ඒ පිළිතුරෙන් එම මහත්මයා සෑහීමකට පත්වුණේ නැහැ. අපි කොච්චර සද්ධර්මය ශ්‍රවණය කළත් සද්ධර්මය අනුව සිතන්න දක්‍ෂ නැතිනම්, ධර්මයට පටහැනිවයි, ලෝකය දකින්නේ. බුදුරජාණන්වහන්සේ අවුරුදු අසූව වයසේදී ආයු සංස්‌කාරය අත්නොහැර, අවශ්‍යනම් එකල පැවැති පරමායුෂය වන අවුරුදු එකසිය විස්‌සක්‌ ජීවත්වීමට අවකාශ තිබුණා. නමුත් බුදුරජාණන්වහන්සේ පිරිනිවී යනවා. ඒ උතුම් පිරිනීවීමත් මංගල්‍යයක්‌ම වූ සම්මා සම්බුද්ධ ශාසනයක සාරිපුත්ත මහරහතන් වහන්සේ තම මෑණියන් වන සාරි බැමිණිය ජීවතුන් අතර සිටියදීම පිරිනිවී යනවා. ඒ උතුම් පිරිනිවීමත් මංගල්‍යයක්‌ම වූ ශාසනයක, බුදුරජාණන් වහන්සේත්, යශෝධරා උත්තමාවියත් ජීවතුන් අතර සිටියදීම රාහුල මහෝත්තමයාණන් වහන්සේ පිරිනීවි යනවා. ඒ උතුම් පිරිනිවීමත් මංගල්‍යයක්‌ වූ ශාසනයක, මුගලන් මහරහතන් වහන්සේත් සොරුමුළකට හසුවී අතපය බිඳී පිරිනිවී යනවා. ඒ උතුම් පිරිනිවීමත් මංගල්‍යයක්‌ වූ ශාසනයක පිංවත් ඔබ මේ සටහන් තබන භික්‍ෂුවට භික්‍ෂුවගේ රූපය උම්බලකඩයක්‌ වන තරමට දීර්ඝායුෂ ලබන්න යැයි ගෞරව පෙරදැරිව ප්‍රාර්ථනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවීමේ සැබෑම අර්ථය වන අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය තමා තුළින් මතුකොටගැනීමට ඇති දුර්වලභාවය නිසාමයි.

මැදි වයසේ ජීවත්වන අඹුසැමි යුවළක්‌ සිටියා. මේ දෙදෙනා විවේකීව සිටින විට මහත්මයා බිරිඳට කියනවා, දැන් අපි දෙදෙනාගේ උදරය ඉදිරියට නෙරා එනවා, සම රැළිවැටීගෙන එනවා, හිසකෙස්‌ සුදුවීගෙන එනවා. අපි දෙදෙනා දැන් වයසට යනවා’ කියලා. මහත්මයා එහෙම කියනකොට බිරිඳ කියනවලු ‘මෙච්චර හිතන්න සුබ දේවල් තිබියදී, ඔයා අසුබ දෙයක්‌ ගැනම සිතනවා’ කියලා. ඒ වෙලාවේ මහත්මයා කිව්වලු ‘අපි වයසට යන්න ඕනේ වයසට යන බව දකිමින්මයි’ කියලා. එහෙම නොවී වයසට යන බව නොදැන වයසට ගියොත් අවසානයේදී දුක වැඩිවෙනවාය කියලා. සංස්‌කාරයන්ට, හේතුඵලයන්ට අදාළව අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය මතුකොටගන්න අපි අදක්‍ෂ, සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව ලෝකය නොදකින නිසාමයි. අනිත්‍ය දුක්‌ඛ අනාත්ම ත්‍රිලක්‍ෂණය ඔබ තුළින් මතුකොටගන්න නම්, පිංවත් ඔබ මුලින්ම ලෝකය හොඳින් දකින්න වෙනවා. භික්‍ෂුව හොඳින්ම දන්නවා, භික්‍ෂුවට මේ ඇස්‌දෙක ලැබුණේ පෙර කුසල් සංස්‌කාරයක්‌ නිසාය කියලා. අකුසල් සංස්‌කාරයක්‌ විපාකයට පැමිණියා නම් භික්‍ෂුවගේ ඇස්‌දෙක උපතේදීම අන්ධ වෙන්න තිබුණා. කන් දෙක බිහිරි වෙන්න තිබුණා. මේ බව තේරුම් ගත්ත, භික්‍ෂුව ගිහි කාලයේදී මේ ඇස්‌දෙකෙන් දකින්න ලැබුණු සෑම දෙයක්‌ම හොඳින් විවෘතව දක්‌කා. අසන්න ලැබුණ හැමදෙයක්‌ම විවෘතව හොඳින් ඇසුවා. විඳින්න තිබෙන සෑම දෙයක්‌ම හොඳින් විවෘතව වින්දා. කාමයන්ගෙන් පලාගිහින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියන කාරණය ගිහි කාලයේදී මම විශ්වාස කළා. ඇසෙන් කනෙන් විවෘතව ලෝකය දකිද්දී මම දැනගත්තා අපි ඇස්‌ වලින් ලෝකය බලලයි, කනෙන් ලෝකය අහලයි, අනාගත ලෝකය ඉදිකරගන්නේ කියලා. ඒ දැක්‌ම මට ලැබුණේ එරමිණියා ගොතාගෙන භාවනා කරලා නොවෙයි. රූපය දෙස විවෘතව නුවණින් බැලීමෙන්මයි.

භික්‍ෂුව එක්‌තරා ආරණ්‍යයක වැඩසිටිනකොට එම ආරණ්‍යයට විදේශීය භාවනා කණ්‌ඩායමක්‌ පැමිණියා. එම භාවනා කණ්‌ඩායම සමූහ භාවනාවන් කරනකොට රතු රෙදිකඩකින් ඇස්‌ දෙක බැඳගෙනයි භාවනා කරන්නේ. භික්‍ෂුවට තවමත් සිතාගන්න බැහැ ඇයි ඒ පිංවතුන් ඇස්‌දෙක රෙදිකඩකින් බැඳගෙන භාවනා කරන්නේ කියලා. කුසල් සංස්‌කාරයක්‌ නිසා අපට ලැබුණු ඇස්‌දෙක අපි රෙදිකඩකින් බැඳගත්තොත් අකුසල් සංස්‌කාරයන්ට අදාළව අන්ධකාරයයි අපි වැළඳගන්නේ. මෙවැනි මිථ්‍යා භාවනා ක්‍රමවේදයන් බුදුරජාණන්වහන්සේගේ උතුම් සතර සතිපට්‌ඨාන සූත්‍රය තුළින් අපෙන් බැහැර කරවනවා. සතර අපායෙන් මිදීමට කැමති ගිහි පිංවත් ඔබෙන් භික්‍ෂුව කාරුණිකව ඉල්ලනවා, ඔබ ඇස්‌දෙකෙන් ලස්‌සන දෙයක්‌ දැක්‌කොත් අහක බලාගෙන යන්න එපා කියලා. ඒ වගේමයි ඔය ඇස්‌දෙකෙන් අවලස්‌සන දෙයක්‌ දැක්‌කොත් ඒත් අහක බලාගෙන යන්න එපා කියලා. මොකද ලස්‌සනත්, අවලස්‌සනත් ධර්මයමයි. භික්‍ෂුව ගිහි කාලයේ මේ ඇස්‌දෙකෙන් ලස්‌සන දෙයක්‌ අවලස්‌සන දෙයක්‌ දැක්‌කොත් කවදාවත් අහක බලාගෙන ගියේ නැහැ. ඔබ මෙතැනදි වැරදි අර්ථයක්‌ ගන්න එපා. ලස්‌සන දෙයක්‌ දැක්‌කොත් අහක බලාගෙන ගියේ නැහැ කියන්නේ, ලස්‌සන රූපය දැක්‌ක සිත දෙස නොබලා ගියේ නැහැ කියන කාරණයයි. ලස්‌සන රූපය දැක්‌ක සිත දෙස මා නොබලා ගියේ නම් මම ඒ රූපයට බැඳී යනවා. රූපය නිසා දුක සකස්‌කොට ගන්නවා. දැන් පිංවත් ඔබ සිතන්න, ඔබ ළඟ ඔබේ පිංවත් බිරිඳ වාඩිවී සිටිනවා නම්, එම රූපයට බැඳීගියේ ඇයි කියලා. ඔබ ඒ රූපය දැක්‌ක මුල්ම දවසේ සිත දෙස බලන්නේ නැතිව අහක බලාගෙන රූපය දෙස පමණයි බැලුවේ. භික්‍ෂුව දක්‍ෂ වුණා ගිහිකාලයේදී මනාලියන් කිහිපදෙනෙක්‌ මුණගැසිලත් මනාලියන් දෙස නොව ඇය නිසා සකස්‌ වුණ සිත දෙස බලන්න. ලස්‌සන වේවා, අවලස්‌සන වේවා රූපය තුළින් මම හැම මොහොතකම දැක්‌කේ මගේ විචාරවත්, අවිචාරවත් සිතේ ක්‍රියාකාරිත්වයයි. සිතේ වෙනස්‌ වීමයි. ලස්‌සන රූපය තුළින් මම රූපය දැක්‌කානම් මම තවමත් පිංවත් ඔබ සිටින තැනයි සිටින්නේ. දෑස්‌ හැරගෙන විවෘතව ලෝකය බලපු මම දෙවැනුව දෑස්‌ පියාගෙන ලෝකය අවබෝධ කොටගත් භික්‍ෂුවක්‌.

මම ගිහි කාලයේ ගොඩාක්‌ ලස්‌සන නොවුණාට, මම ලස්‌සනට ගොඩාක්‌ කැමතියි. මම ගිහි කාලයේ ගොඩාක්‌ අවලස්‌සන නොවුණාට, මම අවලස්‌සනටත් ගොඩක්‌ කැමැතියි. මොකද මට ඉවක්‌ තිබුණා ලස්‌සන අවලස්‌සන දෙකම, මට රූපයෙන් මිදීයන්නට කවදා හරි දවසක උපකාරක ධර්මයන් වෙයි කියලා. මම ලස්‌සනට විතරක්‌ කැමැති වුණානම්, අවලස්‌සන ඉදිරියේ මම ගැටෙනවා. මේ දැක්‌ම තිබුණ නිසා ලොකු අනතුරකින් මම බේරුණා. ලස්‌සන අවලස්‌සන තුළින් මගේ සිත දකින්න මම දක්‍ෂ වුණා.

මේ මොහොතේ භික්‍ෂුවට මතක්‌වෙනවා උපතිස්‌ස, කෝලිත කියන ධනවත් බමුණු පවුල් දෙකේ තරුණයන් දෙදෙනා. මේ දෙදෙනායි පසුකාලයේ සාරිපුත්ත මහෝත්තමයන්, මුගලන් මහෝත්තමයන් බවට පත්වෙන්නේ. එදා දඹදිව සති ගණනක්‌ පැවැති ගිරජ්ජසමජ්ජ කියන සැණකෙළිය (කානිවල් එක) බලලා කලකිරීමේ තීව්‍රරභාවය උත්සන්න වෙද්දියි, මේ තරුණයන් දෙදෙනා කාමයන්ගෙන් මිදීමේ මාවත සොයාගෙන යන්නේ. එදා ඒ කානිවල් එක නොතිබ්බා නම් මේ තරුණයන් දෙදෙනාගේ කාමයන්ගෙන් මිදීමේ ගමන තව ප්‍රමාද වෙන්න තිබුණා. මේ බුද්ධිමත් තරුණයන් දෙදෙනා එදා දක්‍ෂ වුණා ‘ගිරජ්ජසමජ්ජ’ කානිවල් එක තුළින් තමාගේ සිත දෙස බලන්න. සැණකෙළි වේදිකාවේ රඟන අනිත්‍ය වූ පංචඋපාදානස්‌කන්ධය දෙස ‘මම’ කියන අනිත්‍යභාවයට පත්වන පංචඋපාදානස්‌කන්ධයෙන් බලනකොට, මේ තරුණයන් දෙදෙනා දැක්‌කේ හිස්‌ බවයි. ඒ හිස්‌භාවය අපි පුරවා තිබෙන්නේ තෘෂ්ණාවෙන්මයි. ඒ නිසාම භික්‍ෂුව ඔබට කියනවා, විසූකදර්ශනයන්ගෙන් පිරුණු සමාජය සමඟ ගැටෙන්න එපාය කියලා. ඔබ ඒ සාමජය සමඟ ගැටෙනවා නම් ඔබේ සිතත් විසූකදර්ශනයක්‌ම වෙනවා. ලස්‌සන, සතුට, විනෝදය, කලාව ලෝකයේම කොටස්‌. මේවායින් තොරව ලෝකය දකින්න බැහැ. ඔබ මේවාට ගැටෙනවා කියන්නේ, ඔබත් ලෝකයේම කොටස්‌කරුවෙක්‌ වෙනවා කියන එකයි. ලෝකය ඉදිරියේ තවමත් ඔබ කැමැත්ත අකමැත්ත තුළ දෝලනය වන්නේ, තවමත් අපි සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් අපේ සිත් ආවරණය නොකරගත් නිසාමයි.