සතර සතිපට්‌ඨාන ප්‍රවේශය – 2

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න.

භික්‍ෂුව ගිහිකාලයේ ඇසුරුකරපු සමාජය, භික්‍ෂුවට ආදරය කරපු සමාජය, භික්‍ෂුවට කමටහනක්‌ වු සමාජය තවමත් ඒ විදිහටම තිබෙනවා. ඥාතියා, අසල්වැසියා, හිතවතා, පන්සල, ගම, නගරය තවමත් ඒ විදිහට තිබෙනවා. නමුත් ඒ සමාජය නිසා භික්‍ෂුව තුළ වර්තමානයේ තෘෂ්ණාවෙන් බැඳීමක්‌ සකස්‌වන්නේ නැහැ. සිත හිස්‌වයි පවතින්නේ. ලස්‌සන අවලස්‌සන තවමත් ලෝකයේ තිබෙනවා. නමුත් සිත හිස්‌වෙලා. සිත හිස්‌වුන තැනදී ලෝකය හිස්‌ දෙයක්‌ බවටයි පත්වෙන්නේ. මොකද ලෝකය පුරවලා දෙන්නේ තෘෂ්ණාවෙන්. රූපයේ අනිත්‍යභාවය දකිමින් හිස්‌කළ සම්මුති ලෝකය දෙස තෘෂ්ණාව හිස්‌කළ පංච උපාදනස්‌කන්ධය නැමති ලෝකය තුළින් බැලීමේදී හිස්‌බවක්‌මයි දකින්නේ.

රූපයත් රූපය ඇසුරෙන් සකස්‌වෙන කැමැත්තත් අකැමැත්තත් ගැන සටහන් තබමින් භික්‍ෂුව පිංවත් ඔබට මේ කියන්න යන්නේ පංචඋපාදාන්ස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකර ගැනීමේ තීරණාත්මක ධර්මතාවය වන උතුම් සතර සතිපට්‌ඨාන ධර්මය ගැනයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා යමෙක්‌ මේ උතුම් සතර සතිපට්‌ඨාන ධර්මයන් සම්මාසම්බුද්ධ දේශණාවට අනුකූලව දින 07 ක්‌ වැඩුවොත් ඔබ චතුරාර්ය සත්‍යය අවබෝධකරගැනීමට කැමති වෙන්න ඕනේය කියලා. දින 07 කින් ධර්මාවබෝධය ලබන්න ඔබට බැරිවුනොත් සති 07 කින් ධර්මාවබෝධය ලබන්න කැමතිවෙන්න ඕනේය කියලා. සති 07 කින් ධර්මාවබෝධය ලබන්න ඔබට බැරිවුනොත් මාස 07 කින් ධර්මාවබෝධය ලබන්න කැමති වෙන්න ඕනේය කියලා. මාස 07 කින් ධර්මාවබෝධය ලබන්න බැරිවුනොතින් අනිවාර්යෙන්ම අවුරුදු 07 කින් ධර්මාවබෝධය ලැබෙනවාය කියලා. බුදුරජාණන් වහන්සේ හේතුඵල දකිමින් ධර්මාවබෝධය ලැබිය හැකි කාල වකවානු පිළිබඳව පැහැදිලි සහතිකයක්‌ ලබාදී තිබියදී සාරාසංඛ කල්ප ලක්‍ෂගණනක්‌ ඈත පටන් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂගණනක්‌ පසුකර පැමිණි ගමනේදීවත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මුණගැසුණ මේ ජීවිතේදීවත් පිංවත් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධකර ගැනීමට නොහැකිවූයේ උපරිම වශයෙන් අවුරුදු 07 ක්‌ සතර සතිපට්‌ඨාන ධර්මයන් නිවරුදිව ප්‍රගුණ නොකළ හේතුව නිසාමයි. උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න.

සතර සතිපට්‌ඨාන ධර්මයන්ගෙන් ආවරණය නොකරගත් මනුෂ්‍ය ජීවිතය නිරතුරුවම මුලාවන්ට කොටුවෙනවා. වර්තමානයේ ධර්මයේ නාමයෙන් මනුෂ්‍යයින් වැළඳගන්න මුළාවන් දෙස බලනවිට පිංවත් ඔබට ඉහත කාරණය පැහැදිලිවෙනවා. භික්‍ෂුවට හොඳටම විශ්වාසයි හෙට දවසේ සතර සතිපට්‌ඨාන ධර්මයන්ගෙන් සිත ආවරණය නොකරගත් ස්‌වාමීන්වහන්සේ නමක්‌ මතුවෙලා ප්‍රකාශ කලොත් අහවල් ගංගාවෙන් දිය දෝතක්‌ පානය කළෙත් මේ ජීවිතයේදීම සෝවන්ඵලයට පත්වෙනවා කියල අපේ පිංවතුන්ලා වැල නොකැඩී ඒ ගංගාව සොයාගෙන යනවා. අදහස යෝජනා කරන පංචඋපාදනස්‌කන්ධයත් අදහස ක්‍රියාත්මක කරන පංච උපාදනස්‌කන්ධයත් මාරයා කියල දකින්නේ නැහැ. අනුන්ගේ මෝහයෙන් ගිනිගන්නා පංච උපාදනස්‌කන්ධයක්‌ නිසා තමනුත් ගිනි අවුලුවා ගන්නවා. මෝහය නිසාම සමාජය තුළ ඇවිලෙන මේ ගින්න යම් පමණකට හෝ නිවාගැනීමට අවශ්‍යනම් සම්මාදිට්‌ඨියට යටත්ව සතරසතිපට්‌ඨාන ධර්මයන්ට අනුව පංචඋපාධානස්‌කන්ධයේ හිස්‌භාවය තේරුම්ගත යුතුව තිබෙනවා. එසේ නොවන විට අනිත්‍යවු පංචඋපාධානස්‌කන්ධයක්‌ ‘මමය’ ‘මගේය’ කොටගෙන සමාජයතුළ වැඩෙන මෝහයට තවතවත් අපි පොහොර දමනවා. බුදුරජාණන්වහන්සේ ප්‍රතික්‌ෂේපකොට වදාල කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානු යෝගයත් තුළින් නිවීමේ මාර්ගය තරණය කිරීමට වර්තමාන සමාජය ගන්නාවු ව්‍යායාමය එහිම ප්‍රතිඵලයන්මයි. කල්‍යණමිත්‍ර ආශ්‍රයේ දුර්වලතාවයන් නිසාම වේවැල අතටගත් ව්‍යාපාරික ක්‍රමවේදයන්ට භාවනාව හසුවීම නිසාම මෝහයේ අව්කාෂ්ඨකයෙන් මොළය වියලී ගිය මනුෂ්‍යයින්ට සැබෑම සතර සතිපට්‌ඨාන ධර්මය සිහිල් පොද වැස්‌සක්‌ වෙනවා. රූපයන් සොය සොයා කාමයන් පසුපස හඹායන ජීවිතවලට, මැරෙන බව නොදැන ජීවත්වීමම අරමුණුකරගත් ජීවිතවලට, සතර සතිපට්‌ඨාන ධර්මය මහා ඔසුවක්‌ වෙනවා. කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතරසතිපට්‌ඨාන ධර්මයන් තුළින් රූපයත්, රූපය ඇසුරෙන් සකස්‌වෙන පංචඋපාධානස්‌කන්ධයේ යථා ස්‌වභාවයත් ඔබට මතුකර දෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගුරුවරයා බවට පත්කරගෙන උතුම් සතරසතිපට්‌ඨාන සුත්‍රය එකම කමටහන බවට පත්කරගෙන ධර්මයෙන් සැනසීමට පහත සටහන පිංවත් ඔබට පුංචි හෝ උපකාරයක්‌ වෙතැයි භික්‍ෂුව විශ්වාස කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා අතීතයේ රජ කුමරුන්ට ආණක කියල බෙරයක්‌ තිබුනා කියල. එම බෙරයෙන් අඬබෙර ගහල තමයි තම යටත් වැසියන්ගේ අස්‌වැන්නෙන් තමන්ට අයිති බදු කොටස ලබාගන්නේ. මේ අණක බෙරයේ කඳ සිදුරු වුන විට එම සිදුරට ඇණයක්‌ ඔබනවා. මෙහෙම කාලයක්‌ යද්දී බෙර කඳ අතුරදහන්වෙලා ඇණ ඔබපු සැකිල්ල ඉතුරුවෙනවා. මේ උපමාවෙන් බුදුරජාණන්වහන්සේ දේශනාකරන්නේ, උන්වහන්සේ විසින් වදාල අර්ථවත් ගාම්භීර සුත්‍ර දේශනාවන් තිබුනත් අනාගතයේදී පිංවතුන් ඒවා අහන්න දේශනාකරන්න කැමතිවෙන්නේ නැහැය කියල. කවි, විරිදු, විසිතුරු කියුම් අසන්න ශ්‍රාවකයින් කැමතිවෙනවාය කියලා. මේ හේතුව නිසාම බුදුරජාණන් වහන්සේ දේශණාකර වදාල අනිත්‍ය දුක්‌ඛ අනාත්ම ත්‍රිලක්‍ෂණයට අදාළ ධර්මයන් ක්‍රමානුකූලව අතුරුදහන්වෙනවාය කියල. එම නිසා පිංවත් ඔබ පංචඋපාධනස්‌කන්දයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම අවබෝධයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශණාකර වදාල ගාම්භීරම දේශණාව වන සතර සතිපට්‌ඨාන සුත්‍රය කැමැත්තෙන් ඉගෙන ගන්නවාය ජීවිතයට එකතුකර ගන්නවාය කියල තීරණය කරන්න ඕනේ. සතර සතිපට්‌ඨාන සුත්‍රයට බාහිරව සමාජය තුළ භාවනාවේ නාමයෙන් ක්‍රියාත්මක වන යම් ක්‍රියාකාරකම් ඇතොත් ඒවා නුවනින් හඳුනාගෙන බැහැර කරන්න ඕන. සතර සතිපට්‌ඨාන ධර්මයන් පිළිබඳ යථා ස්‌වභාවය කෙලෙස්‌ දුරුකිරීමේ වීර්යෙන් කෙලෙස්‌ දුරුකිරීමේ නුවණින් සතියෙන් සිහියෙන් යුතුව, සත්වයාගේ අවබෝධය නිසාම හටගත් දුක නැමති උපාධානස්‌කන්ධ ලෝකය දකිමින් ජීවත්වන්න දක්‍ෂවෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා යමෙක්‌ පිංවත් ඔබේ පපුවට තියුණු උලකින් දිනකට 300 වතාවක්‌ අනිනවා. මේ විදියට වසර 300 ක්‌ දිනපතා උල්පාරවල් 300 බැගින් අනිනවා. මෙවැනි වේදනාවක්‌ විඳලා හෝ යමෙක්‌ ඔබට කීවොත් ධර්මාවබෝධය ලබාදෙනවා කියල ඔබ ඒ දුක විඳලා ධර්මාවබෝධය ලබන්න කැමතිවෙන්න කියලා. මෙවන් දුෂ්කර කටයුත්තක්‌ උපරිම වසර 07 කින් පරිපුර්ණභාවයට පත්කරදීමට සතරසතිපට්‌ඨාන ධර්මයන්ට පුළුවන්ය කියල බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌ දෙනවා. පෙර පිනටම පිංවත් ඔබට ලැබුණු මේ උතුම් අවස්‌ථාව සතරසතිපට්‌ඨාන ධර්මයන්ට අනුව ජීවිතය නොදකින නිසාම අතපසුකරගන්න එපා.