පිංවත් ඔබ පංච උපදානස්‌කන්ධ ධර්මයට අදාළව ඇසෙන් රූපයක්‌ දකිනවා, කනෙන් ශබ්දයක්‌ අසනවා, මනසින් සිතුවිල්ලක්‌ සිතනවා. දැක්‌ක දෙයට, ඇසුන දෙයට, දැනුන දෙයට ඔබ ඇලෙනවා, ගැටෙනවා, උපෙAක්‍ෂා සහගත වෙනවා. ඇලුන, ගැටුන, උපේක්‍ෂා සහගත වෙච්ච දෙය ඔබ හඳුනා ගන්නවා. හඳුනාගත් දෙය ගැන ඔබ සිතනවා. සිතනදෙය ගැන ඔබ මොකක්‌ද කරන්නේ විශේෂ වූ දැනීමක්‌ ඇතිකර ගන්නවා. මෙතනදී විශේaෂවූ දැනීම කියන්නේ විඤ්ඤාණයයි.

සංස්‌කාර පච්චයා විඤ්ඤාණ… සංස්‌කාර නිරොධෝ විඤ්ඤාණ නිරෝධා…. සංස්‌කාර ඇසුරෙන් සකස්‌වෙන ඵලයයි විඤ්ඤාණය කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඤ්ඤාණය රූප, වේදනා, සංඥා, සංස්‌කාර ධර්මයන් තුළ බැසගෙන සිටිනවාය කියල. විඤ්ඤාණය කියන ධර්මතාවයන් අතීත වර්තමාන අනාගත වශයෙන්, අනිත්‍ය දකින්න පිංවත් ඔබ දක්‍ෂ වෙන්න ඕන.

පිංවත් ඔබ මඟුල් ගෙදරක යනවා. කෙනෙක්‌ ඔබෙන් අහනවා ‘කොහොමද මඟුල් ගෙදර’ කියලා. ඔබ කියනව ‘හරිම ෂෝක්‌’ කියල. කෙනෙක්‌ ඔබට රසවත් ආහාර වේලක්‌ ලබා දීලා, ඔහු අහනව ‘කොහොමද ආහාර වේල’ කියලා. ඔබ කියනවා ‘හරිම රසවත්’ කියලා. කෙනෙක්‌ ඔබට රසවත් බීමක්‌ පිළිගන්වල, ඔබෙන් අහනවා ‘කොහොමද බීම වීදුරුව’ කියල. ඔබ කියනවා හරිම ඉස්‌තරම් කියලා. කෙනෙක්‌ ඔබට කසාය වීදුරුවක්‌ බොන්න දීල, ඔහු ඔබෙන් අහනවා ‘බෙහෙත කොහොමද?’ කියලා. ඔබ කියනවා ‘හරිම තිත්තයි’ කියල. ඔබ අලුතින් වාහනයක්‌ මිලදී ගන්නවා. කෙනෙක්‌ ඔබෙන් අහනවා ‘කොහොමද වාහනය’ කියලා. ඔබ කියනවා ‘වෙඩි වගේ’ ය කියල. අලුත විවාහවුණ කෙනෙක්‌ ගෙන් ඔබ අහනවා ‘කොහොමද මනමාලි’ කියල. එවිට ඔහු කියනව ‘ඇය මගෙ අම්මා වගේ ගුණවත්’ ය කියලා. පිංවත් ඔබ වර්තමානයේ යම් රූපයක්‌ ඇසුරු කරලා, එම රූපයට ඇලිල, ගැටිල, උපේක්‍ෂා සහගත වෙලා, ඇලුන ගැටුන දෙය හඳුනාගෙන, හඳුනා ගත් දෙය ගැන සිතලා, සිතපු දෙය ගැන විශේෂ දැනීමක්‌ ඇතිකොට ගන්නවා නම්, ඒ සෑම විශේෂ දැකීමක්‌ම විඤ්ඤාණයක්‌ම නිත්‍යද? අනිත්‍යයද?

වෙනස්‌වෙලා යනවා. අනිත්‍යවෙලා යනවා.

ඔබම හොඳයි කියල විශේෂ දැකීමක්‌ ඇතිකරගත් ඔබේ බිරිඳ, ස්‌වාමිපුරුෂයා ඔබව පසුකාලයක දික්‌කසාද කර දමනවා. මේ මොහොතේ ඔබේ දිවට දැනෙන තිත්ත රසය පැණි රසය මොහොතකින් වෙනස්‌වී යනවා. අද සුළඟ හරිම සනීපයි. අව්ව හරිම උෂ්ණයය. මීදුම හරිම සිතලයි… ඔබ ඇතිකොට ගත්තාවූ සෑම විශේෂ දැකීමක්‌ම අනිත්‍යවෙලා යනවා. පිංවත් ඔබ වර්තමානයේ අනිත්‍ය වූ සෑම විශේෂ දැකීමකම විඤ්ඤාණයේ අනිත්‍යභාවය නුවනින් දකින්න. පිංවත් ඔබ බොහෝම සිහිනුවනින් දකින්න, ඔබ කරන සෑම ක්‍රියාවකදීම ඔබ විශේෂ දැනීමක්‌ ඇතිකර ගන්නවා. හොඳයි නරකයි, පහසුයි අපහසුයි, තිත්තයි පැණිරසයි, සනීපයි අසනීපයි, කැතයි ලස්‌සනයි, ගුණයි අගුණයි, සත්පුරුෂයි අසත්පුරුෂයි…. මේ සෑම විශේෂවූ දැකීමක්‌ම නිරතුරුව වෙනස්‌වී යනවා, අනිත්‍ය වී යන හැටි නුවනින් දකින්න. එය වර්තමාන විඤ්ඤාණය අනිත්‍යබව නුවනින් දැකීමයි.

දෙවනුව ඔබ අතීත විඤ්ඤාණයේ අනිත්‍යභාවය නුවනින් දකින්න. පිංවත් ඔබ අතීතයේ අම්මාගේ ගර්භාෂ කුටියේ වැඩෙනවිට, මවු උණුසුම ලබනවිට, මවුකිරි බොනවිට, තොටිල්ලේ නැළවෙන විට, සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරනවිට, අධ්‍යාපනය ලබන විට, සමාජ ඇසුර ලබන විට, ආදරය කරන විට, ඇතිකරගත් විශේෂ දැනීම නුවණින් දකින්න. මට හොඳටෝම උණ, මට සෙම් ගෙඩි, මට පිළිකාවක්‌, මට දරුවෙක්‌ ලැබෙන්නට යනවා, දරුවා නම් පුතෙක්‌මයි…. මේ සෑම විශේෂ දැනීමක්‌ම අනිත්‍යවී ගියා. අතීතයේ ඔබ යම් පුද්ගල වර්ග හඳුනාගෙන එම හඳුනාගත් චරිත ගැන හිතලා විශේෂවූ දැනීම් ඇතිකොට ගත්තා නේද? ඔහු සිල්වතෙක්‌, ඔහු ගුණවතෙක්‌, ඔහු බේබද්දෙක්‌, ඔහු සමාජ සේවකයෙක්‌, ඔහු ජනතාවගේම නායකයෙක්‌, ඔහු පිරිසිදු චරිතයක්‌ය කියලා. අතීතයේ ඔබ ඇතිකරගත් මෙවැනි සෑම අතීත දැනීමක්‌ම වෙනස්‌ වී ගිය හැටි නුවනින් දකින්න.

අතීතයේ භික්‍ෂුවගේ තරුණ ගිහිකාලයේ එක්‌ අලුත් අවුරුදු සමයක මම මත් වතුර පානය කරල සිටිනවා දැක්‌ක මගේ වැඩිහිටි ඥාතිවරයෙක්‌. මට කිව්ව ‘පුතේ උඹ කවදහරි බේබද්දෙක්‌ වෙනවා’ කියල. ඒ විශේෂවූ දැනීම, එම වැඩිහිටි පිංවතාගේ විඤ්ඤාණය වෙනස්‌වී ගියා. අනිත්‍යවී ගියා. අංගුලිමාල ඇඟිලි මාලයක්‌ කරවටා දමාගෙන මිනී මරනකොට ජනතාව ඇතිකරගත් ‘මිනීමරුවෙක්‌’ ය කියන විශේෂ දැනීම අංගුලිමාල තරුණයා බුදුරජාණන් වහන්සේ සරණ යද්දී වෙනස්‌ වී ගියා. අනිත්‍ය වී ගියා. පටාචාරාව අඩ නිරුවතින් බුදුරජාණන් වහන්සේ අබියසට පැමිණෙන විට, ජනතාව ඇතිකරගත් පටාචාරා පිස්‌සියක්‌ කියන විශේෂ දැනීම, පටාචාරාව බුදුරජාණන් වහන්සේ සරණ පිහිටි පසු වෙනස්‌වී ගියා. අනිත්‍යවී ගියා.