පිංවත් ඔබ සමාජය තුළ ජීවත්වෙනකොට ඔබේ ඥාතිවරයා, ඔබේ අසල්වැසියා, ඔබේ මිතුරා, මිතුරියගේ හැසිරීම් නිරතුරුවම වෙනස්‌වෙනවා. සමහර පිංවතුන් භික්‍ෂුවට ඇවිත් කියනවා ‘මගේ දරුවා හරිම කීකරුව හිටියේ. දැන් වෙනස්‌වෙලා. මගේ ස්‌වාමිපුරුෂයා මට හරිම ආදරෙන් හිටියේ. දැන් ඔහු වෙනස්‌ වෙලා’ කියලා. වයෝවෘද්ධ අම්මලා තාත්තලා ඇවිත් කියනවා ‘මගේ පුතා, දුව මට වෙනස්‌කම් කරනවා’ය කියලා. ඇයි මේ වෙනස්‌වීම සිද්ධවෙන්නේ? ඔබ නිරතුරුවම ගනුදෙනු කරන්නේ තවත් පංචඋපාදානස්‌කන්ධයක්‌ සමඟයි. පිංවත් ඔබ, ඔබේ බිරිඳ සමග කථාකරනවා කියන්නේ පංචඋපාදානස්‌කන්ධයක්‌, තවත් පංචඋපාදානස්‌කන්ධයක්‌ සමගඟකථාකරනවා කියන කාරණයයි.

ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම වේදනාව අනිත්‍යභාවයට පත්වෙනවා. වේදනාව අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම, සංඥාව, සංස්‌ඛාර, විඤ්ඤාණය අනිත්‍යභාවයට පත්වෙනවා. විඤ්ඤාණය අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම, විඤ්ඤාණය හේතුවෙන් සකස්‌වෙන නාමරූප ධර්මයන් අනිත්‍යභාවයට පත්වෙනවා. නාම රූප ධර්මයන් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම සලායතන අනිත්‍යභාවයට පත්වෙනවා. සලායතන අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම නැවත නැවතත් පංචඋපාදානස්‌කන්ධ ධර්මයන් සකස්‌කොටගෙන සත්ත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවල හිමිකරුවෙක්‌ වෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ලෝකයයි කියලා. කුමක්‌ද නිරතුරුවම කැඩෙන්නේ බිඳෙන්නේ විසිරෙමින් පවතින්නේ? ඒ පංචඋපාදානස්‌කන්ධයයි. පංචඋපාදානස්‌කන්ධය යනු ලෝකයයි. ලෝකය යනු පංචඋපාදානස්‌කන්ධයයි. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුසුවුණ තැනදී සකස්‌වෙන ඵස්‌සය පිංවත් ඔබ, තෘෂ්ණාවෙන් තෙත් කරපු තැනදි පංචඋපාදානස්‌කන්ධ ලෝකය උපදිනවා. ඉපදුණා වූ ලෝකයේ අනාගතය තීරණය කරන්නේ සංස්‌කාර විසින්. සංස්‌කාර විසින් තීරණය කරන අනාගතය විඤ්ඤාණය විසින් ක්‍රියාත්මකභාවයට පත්කොට දෙනවා. මේ ක්‍රියාන්විතයයි, ඔබ සම්මුති ලෝකය හැටියට දකින්නේ.

පිංවත් ඔබ රූපයක්‌ ඵස්‌සය වන සෑම මොහොතකදීම, එම ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කරන සෑම මොහොතකදීම, අනාගත භවයකට අදාළ සංස්‌කාරයන් ඔබ තුළින් රැස්‌වෙනවා. සංස්‌කාරයන්ගේ තීරණයන්ට අදාළව විඤ්ඤාණය ක්‍රියාත්මකභාවයට පත්වී පිංවත් ඔබව පටිච්චසමුප්පන්නව, පරක්‌ තෙරක්‌ නොපෙනෙන මහා සාගරය බඳු, භවයේ දීර්ඝ සංචාරකයෙක්‌ බවට පත්කරනවා. පිංවත් ඔබ යම් දවසක උතුම් චතුරාර්යසත්‍ය අවබෝධය ලැබුව කල්හි, ඵස්‌සයේ අනිත්‍යභාවය අවබෝධ ඥානයෙන්ම දකිනවා. ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීමක්‌ නැහැ. වේදනාවේ නිරෝධය නිසාම සංඥාව සංස්‌කාර විඤ්ඤාණය නිරෝධයි. ඔබට කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය අතහැරෙනවා. ලෝකයෙන් නිවී යනවා. කැඩෙන බිඳෙන විසිරෙන පංචඋපාදානස්‌කන්ධ ලෝකයක්‌ නොකැඩෙන නොවිසිරෙන නොවෙනස්‌වන අර්ථයෙන් අල්ලාගැනීම නිසාම, වීර්යයෙන් ගැලවීයාහැකි ලෝකයත්, හිස්‌කළ හැකි ලෝකයත්, නිරෝධය කළ හැකි ලෝකයත්, සම්මුති ලෝකයක්‌ කොට ඔබ අල්ලාගන්නවා.

සද්ධර්මයේ හිරු විකසිතව තිබියදීත්, අවිද්‍යාවේ අන්ධකාරයෙන් සත්ත්වයා අඳුරේම අතපතගානවා. අඳුරේ බලවත්භාවය නිසාම කැඩෙන දෙය, නොකැඩෙන දෙය ලෙස දකිනවා. වෙනස්‌ වන දෙය නොවෙනස්‌ වන දෙයක්‌ ලෙස දකිමින් තර්ක විතර්ක, හරි වැරදි, වාද විවාද, දෘෂ්ටි මතවාද තුළින් කැඩෙන බිඳෙන විසිරෙන පංචඋපාදානස්‌කන්ධ ලෝකය තව තවත් පුළුල්කොට ගන්නවා. පිංවත් ඔබ ඉදිරියට පැමිණෙන කුමන චරිතයක්‌ වුවද තෘෂ්ණාවෙන් හටගත්, වෙනස්‌ වන පංචඋපාදානස්‌කන්ධයක්‌ බවම සිතන්න. ඔබ ඉදිරියට පැමිණෙන පංචඋපාදානස්‌කන්ධය ඔබට චෝදනාවක්‌ කරත්, ඔබට ප්‍රශංසා කළත්, ඔබ ‘අනිත්‍යයි’ කියලාම දකින්න. එවිට ඔබට පුළුවන්, තෘෂ්ණාවෙන් තෙත්වූ අනුන්ගේ පංචඋපාදානස්‌කන්ධයක්‌ නිසාම ඔබට විදර්ශනාත්මක කුසලයක්‌ ජීවිතයට එකතුකොට ගන්න. එම නිසා, පිංවත් ඔබ අනුන්ගේ දුර්වල ක්‍රියාකාරකම් ඉදිරියේ අනුන් සමග තර්ක විතර්ක කරන්න යන්න එපා. අනුනගේ පංචඋපාදානස්‌කන්ධ මාරයා තුළින් ඔබේ පංචඋපාදානස්‌කන්ධ මාරයා අවදිකොටගන්න ඔබ දක්‍ෂ වෙන්න. තමන් යනු පංචඋපාදනස්‌කන්ධයක්‌ බවත් අනුන් යනුද පංචඋපාදානස්‌කන්ධයක්‌ අවබෝධ නොවීම නිසාම තමන් සහ අනුන් තුළින් දුක උපදවන මාරයන් දෙදෙනෙක්‌ මගේ කොටගෙනයි ඔබ ජීවත්වෙන්නේ. මෙතෙක්‌ උතුම් සද්ධර්මය තුළින් ඔබ හඳුනා නොගත් ඒ මාරයින් දෙදෙනා නිසා තර්ක විතර්ක, දෘෂ්ටි මතවාද ඇතිකොටගනිමින් ලෝකය තව තව පුළුල්කොට ගන්නවා.