තමා තුළත් අනුන් තුළත් ක්‍රියාත්මක වන්නේ පංච උපාදානස්‌කන්ධ මාරයා කියන අර්ථය නොදන්නා නිසාම සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර ඉදිරියේ අපි මෝහනයට පත්වෙන්න පුළුවන්. එම නිසාමයි, බුදුරජාණන් වහන්සේ විනය කාරණාවන් පනවන්නේ පැවිදි භාවයට පත්වී වසර පහක්‌ අනිවාර්යයෙන්ම ගුරුවරයා ඇසුරෙ වැඩසිටිය යුතුයි කියලා. එම ගුරුවරයා වස්‌ දහයක්‌ සම්පූර්ණ ගුරුවරයෙක්‌ විය යුතුයි කියලා.

මෙය සටහන් තබන භික්‍ෂුව ගුරුවරයාගේ අවසරයෙන් ගුරු ඇසුරෙන් බැහැර වූයේ පැවිදිවී මාස දෙකහමාරකින්. ගුරු ඇසුරෙන් බැහැරවෙන මොහොතේ මගේ පැවිදි ගුරුවරයා මට බොහෝම ගාම්භීර ප්‍රකාශයක්‌ කළා. ඔබ කොහේ ජීවත්වුණත් කමක්‌ නැහැ, ධර්ම විනය දෙක ආරක්‍ෂා කරගෙන ජීවත්වෙන්න කියලා. මගේ සාමණේර ජීවිතය තුළ මා ඇසූ මුල්ම ධර්මාවවාදය මගේ දෙසවන් තුළ තවමත් දෝංකාරය දෙනවා. වසරක සාමණේර ජීවිතය පුරාවට භික්‍ෂුවගේ සාමණේර ජීවිතය පසුපස බලවත් අතීත අකුසල් සංස්‌කාර ගොඩක්‌ ලුහුබැඳගෙන පැමිණියා. භික්‍ෂුව පැවිදි වූයේ හතළිස්‌ හතර වැනි වියේදී. වයසට ගිහින් කෙනෙක්‌ පැවිදි වුණාම එම වයසක පැවිදි ජීවිතයට අඩු ලංසුවකුයි ලැබෙන්නේ. ඒ නිසාම සාමණේර අවධියේ ඇසුරු කළ සමාජය තුළින් නොසලකා හැරීම්, සැකකිරීම්, පරීක්‍ෂා කිරීම් නිතරම සිදු වුණා. දිනක්‌ එක්‌ ආරණ්‍යයක දානශාලාවට භික්‍ෂුව වඩිනවිට එහි වැඩසිටි ටිකක්‌ කටකාර වැඩිහිටි ස්‌වාමීන් වහන්සේ නමක්‌ කියනවා ‘ඔන්න සාමණේර දණ්‌ඩා එනවා’ කියල. එදා මාව ‘සාමණේර දණ්‌ඩා’ කියල හඳුන්වපු අවස්‌ථා තිබුණත් මම කලබල වුණේ නැහැ. කව්ද එහෙම කිව්වේ? ඇයි එහෙම කියන්නේ කියලා අහන්න ගියේ නැහැ. සාමණේර දණ්‌ඩා කියන වචනය ඇසෙද්දී මගේ සිතේ ඇතිවුණ සිතිවිලි ගැනයි මම පරීක්‍ෂාකාරී වුණේ. අනුන්ගේ පංච උපාදානස්‌කන්ධ ක්‍රියාවලියක්‌ ඉදිරියේ මගේ පංච උපාදානස්‌කන්ධයට මම ඇවිලෙන්න ඉඩදුන්නේ නැහැ. අනුන්ගේ පීඩාවන් ඉදිරියේ මගේ සිතේ සකස්‌වෙන සිතිවිලිවල අනිත්‍යභාවයයි මට එදා වැදගත් වුණේ. යමෙක්‌ මට ‘සාමණේර දණ්‌ඩා’ කියල කිව්වා නම් එය මගේ අකුසල් විපාකයක්‌ය කියලා. එය කාගේවත් වරදක්‌ නොවේ. මම අතීතයේ ගෞවරනීය සාමණේර ස්‌වාමීන්වහන්සේ නමකට ‘සාමණේර දණ්‌ඩා’ කියල අවඥාවට ලක්‌කරලා තිබෙනවා. එහි විපාකයයි මට එදා ලැබුණේ. එදා සංස්‌කාරයන්ට අදාළව ජීවිතය දකින්න තිබූ දක්‍ෂභාවය නිසාම විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාට වේවැල පෙන්වාගෙනයි භික්‍ෂුව සිටියේ.

මගේ සාමණේර ජීවිතයේදී මගේ පසුපසින් පැමිණි අකුසල් සංස්‌කාර නමැති මාරයා නිසා ශරීරය පිsරිසිදු කරගන්න සබන් කැබැල්ලක්‌ හිස රැවුල කපාගන්න රේසර් එකක්‌ නැතුව හිටපු අවස්‌ථා තිබෙනවා. කවදාකවත් පෞද්ගලික වාහනයක්‌ නවත්වලා ගොඩවෙන්න කියල නැහැ. මේවා මගේ අතීත අකුසල් විපාකයන්. කාගේවත් වැරදි නොවේ. දිනක්‌ භික්‍ෂුව ඈත කුටියක වැඩසිටිනකොට පපුවේ මහන්සියක්‌ හැදුණා. එම රෝගී තත්ත්වය උත්සන්න වෙලා රජයේ රෝහලකින් බෙහෙත් ගත්තා. දොස්‌තර මහත්මයා සිරප් එකක්‌ ලියල දුන්නා ෆාමසියෙන් ගන්න කියලා. එම සිරප් එකේ එදා වටිනාකම රුපියල් 120 යි. එම ඖෂධය ගන්න මට එදා ක්‍රමයක්‌ තිබුණේ හෝ අරන් දෙන්න කෙනෙක්‌ හිටියේ නැහැ. ගිහි පිංවතුන් මගහැර සිටි නිසාම කියන්න කෙනෙක්‌, අහන්න කෙනෙක්‌ හිටියේ නැහැ. කවුරුවත්ම මාව ගණන් ගත්තෙත් නැහැ. භික්‍ෂුවගේ එම භික්‍ෂු ජීවිතයේ මුල් අවධිය යාචක ජීවිතයක, හිඟන ජීවිතයක හැබෑම රුවගුණ ගැබ්වෙලා තිබුණා.

භික්‍ෂුව නැවතත් සටහන් කරනවා මේවා මේ ආකාරයට පෙළ ගැසුණේ භික්‍ෂුවගේ අතීත අකුසල් සංස්‌කාරයන් නිසාමයි. අතීත අකුසල් සංස්‌කාර නමැති මාරයා, භික්‍ෂුව තුළින් මුල් අවධියේ දැඩි ආකාරයෙන් ක්‍රියාත්මක වූයේ භික්‍ෂුව, භික්‍ෂු ජීවිතය තුළ අතරමංකොට දැමීමටයි. භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතය මරාදැමීමටය. භික්‍ෂුව එදා මේ මාර අවධානයෙන් ගැලවුණේ අනුන්ගේ පංච උපාදානස්‌කන්ධ මාරයින් නිසා මාගේ පංචඋපාදානස්‌කන්ධ මාරයා අවුලවා නොගැනීමෙන්ය.

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව වැඩසිටිය එක්‌ ආරණ්‍යයක නායක ස්‌වාමීන්වහන්සේ නමක්‌ ප්‍රකාශ කරලා තිබෙනවා ‘මේ හාමුදුරුවෝ කතා කරන්නේ නැහැ. බණක්‌ භාවනාවක්‌ ඉගෙනගන්න බවක්‌ පෙනෙන්නේ නැහැ. සිවුරු හැරලා යන්නද කොහෙද කල්පනා කරන්නේ ‘ කියලා. ඉහත ප්‍රකාශය තුළ පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා, අනුනගේ පංචඋපාදානස්‌කන්ධ මාරයාව මුළා කරමින් භික්‍ෂුව ක්‍රියාත්මක වූ ආකාරය. භික්‍ෂුවගේ පටිච්චසමුප්පන්නව සකස්‌වුණු අතීත අකුසල් සංස්‌කාර නමැති මාරයා, භික්‍ෂුවගේ ජීවිතයට පීඩාවක්‌ එල්ල කරනකොට, භික්‍ෂුව ක්‍රියාත්මක කළේ අනුන් කියන දෙය, අනුන් කරන දෙය ගැන සිතීම නොව, අනුන් නිසා මගේ සිතේ ඇතිවන සිතිවිලි ගැන පරීක්‍ෂාකාරී වීමයි. එම සිතිවිලි අනිත්‍ය වශයෙන් දැකීමයි.

තවත් පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌ භික්‍ෂුවට ‘සාමණේර දණ්‌ඩා’ කියලා කියද්දීත්, මං පරීක්‍ෂාකොට බැලුවේ මගේ සිතේ ස්‌වභාවයයි. අතීත අකුසල් නමැති සංස්‌කාර මාරයා තියුණු ආකාරයට භික්‍ෂුවගේ ජීවිතය තුළින් ක්‍රියාත්මක වෙනකොට, ඒ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින් සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන විඤ්Æණයේ ක්‍රියාකාරිත්වය භික්‍ෂුව එදා අඩපණකොට දැමුවා.