ඔබ විසින්ම ඔබ රටවා ගැනීමේ විපාකය දන්නේ ද?

විඤ්ඤාණය

අතීතයේ පින්වත් ඔබ, ධර්ම මාර්ගය වඩමින් තව එක සිතිවිල්ලක්‌ අනිත්‍යභාවයෙන් දැකීම තුළ උතුම් සෝවාන් ඵල අවබෝධය ලැබීමට හැකියාව තිබියදී, එම සිතිවිල්ල මගේකොට ගැනීම නිසා, ඔබ අතීතයේ උතුම් සෝවාන් ඵලය අහිමි කොටගෙන තිබෙනවා. පින්වත් ඔබ විවේකීව සිටින විට ඉහත කාරණය නුවණින් මෙනෙහි කරන්න. එවිට පින්වත් ඔබට මේ ජීවිතයේදී එවැනි වංචාකාරී ධර්මයන්ට හසු නොවී ඒ අතීතයේ ඇතිකොටගත්තා වූ විශේෂ දැනීම්, විඤ්ඤාණයන් අනිත්‍ය වශයෙන් දකින්න. දිගින් දිගටම එම වංචාවන්ට හසුවූ, අතීතය නුවණින් මතුකොටගෙන ඒ සකස්‌වුණා වූ දැනීම්, අනිත්‍ය වශයෙන් දකින්න. එවිට මේ ජීවිතයේදී එවැනි වංචාකාරී ධර්මයන්ට රැවටීමේ අවස්‌ථාවන් ඔබට මඟහැරී යනවා.

උතුම් සෝවාන්ඵලයට පත්වූ පින්වතා, පින්වතිය ලෝකෝත්තර සම්මා සතියෙන් පරිපූර්ණ කෙනෙක්‌ වෙනවා. ඔහු සිත මාරයා වශයෙන් හඳුනාගත් කෙනෙක්‌. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක්‌ දෙය දුක්‌ වශයෙන්, අසුබ දෙය අසුබ වශයෙන්, අනාත්ම දෙය අනාත්ම වශයෙන් හඳුනාගත් කෙනෙක්‌. ඔහුගේ සිත කිව්වොත් ඔහු සෝවාන් ඵලයට පත්වුණාය කියලා, ඔහු දන්නවා, ඒ සිතත් මාරයාට අයත් පංචඋපාදානස්‌කන්ධයක්‌ය කියලා. ඔහු තමන් සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතට බැඳී යන්නේ නැහැ. ඔහු මම තුළ සෝවාන් ඵලය තියෙනවා ය කියලා දකින්නේ නැහැ. ඔහුට මම කියන ධර්මයත්, සෝවාන් ඵලය කියන ධර්මයත් අනිත්‍ය වශයෙන් දැක්‌කාවූ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ විසුරුවා දැක්‌කා වූ ධර්මයක්‌ පමණක්‌මයි. අවංකව, අර්ථයෙන්ම සෝවාන් ඵලයට පත්වූ පින්වතා, තමා සෝවාන් ඵලයට පත්වුණාය කියන සිත අනිත්‍ය වශයෙන් දකිමින් තමා තුළින් තමා දකිනවා. තමා තුළින් තමා දකින්නේ, තමා තමාටම අවංක වෙමින්. මෙම ධර්මතාව සෝවාන්ඵලයට පත්වූ පින්වතාගේ සුවිශේෂී වූ ධර්මතාවක්‌. වර්තමාන සමාජයේ හුඟදෙනෙක්‌ තමා තුළින් තමා දකින්නේ, තමා තමාට වංක වෙමින්, තමා තමාවම රවටාගැනීම තුළිනුයි. නමුත් සෝවාන් ඵල අවබෝධය ලැබූ පින්වතා, තමා තුළින් තමන්ව දකින්නේ, තමා තමාටම අවංක වෙමින්. නැවන නැවතත් තමන් තුළින් තමාව දකිනවා.

පින්වත් ඔබ තවමත් සෝවාන් ඵලයට පත්ව නොමැති පින්වතෙක්‌ නම්, පින්වත් ඔබ ගෙවාගෙන පැමිණි අති දීර්ඝ භවගමනේදී ඔබ තුළ තවමත් ලෝකෝත්තර සම්මා සතිය කියන ධර්මතාව සකස්‌වෙලා නැහැ. ඔබ තුළ ලෝකෝත්තර සම්මා සතිය සකස්‌ වුණා නම්, ඔබ මේ වන විට උතුම් සෝවාන් ඵල අවබෝධයට පත්වී සිටින්නට ඕනා. එය ධර්මතාවක්‌. ලෝකෝත්තර සම්මා සතිය සකස්‌ වී උතුම් සෝවාන් ඵලයට පත්වූ පින්වතා නුවණින් දකිනවා, තමන් සංසාරයේ, සෝවාන් ඵලය ලැබුවාය කියලා රැවටුණු අවස්‌ථා ලක්‍ෂ ගාණකට වැඩිය කියලා.

සිත නමැති පංචඋපාදානස්‌කන්ධ මාරයා අතීතයේ තමා රැවටූ හැටි, නුවණින් දකිමින් ලෝකෝත්තර සම්මා සතිය තුළින් පංචඋපාදානස්‌කන්ධ මාරයා හඳුනාගත් ඔහු තමා තුළ සකස්‌වෙන මාර සිතිවිල්ලකට රැවටෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. මම සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතත් ඔහුට අනිත්‍ය වූ පංචඋපාදානස්‌කන්ධයක්‌ පමණයි. ඔහු තමා තුළින් තමාව ස්‌වයංපරීක්‍ෂණයකට ලක්‌කොට බලනවා. තමා තමාට අවංක වෙමින්, තමා තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණ තිබෙනවා ද කියලා. තමා තුළ ශීලය ආර්ය ශීලයක්‌ හැටියට වැඩෙනවා ද කියලා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ, ධර්මරත්නය, සංඝරත්නය කියන උතුම් ධර්මතාවන් ද අනිත්‍ය වී යන ධර්මතාවයක්‌ බව තමන් දකිනවා ද කියලා. කුසල් අකුසල් සංස්‌කාරයන් විපාක දී අනිත්‍යභාවයට පත්වෙන ධර්මතාවයක්‌ වශයෙන් තමා තුළින් තමා දකිනවා ද කියලා. රූප, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ ධර්මතාවන් නිරතුරුවම අනිත්‍යභාවයට පත්වෙන ධර්මතාවන් හැටියට තමා තුළින් දකිනවා ද කියලා. ජීවිත පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තුළ විසුරුවා දකින්න සෝවාන් ඵලය ලැබූ පින්වතා දක්‍ෂ වෙනවා.