තමා තුළින් තමා දකිමින්, තමා තමාට අවංක වෙමින් නැවත නැවත අදාළ ධර්මයන් ස්‌වයං පරීක්‍ෂණයකට ලක්‌කරමින් ඔහු විශ්වාසයකට පැමිණෙනවා, ඔහු තුළින් සතර අපාය කෙරෙහි බිය දුරු වුණාය කියලා. උතුම් සෝවාන් ඵලයට පත්වූ පිංවතාට, තමා තුළ සකස්‌වෙන, තමන් සතර අපායෙන් මිදුණාය කියන සිතත්, අනිත්‍යවූ පංචඋපාදානස්‌කන්ධයක්‌ පමණක්‌මයි. ඔහු තමන් සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතටත් බැඳෙන්නේ නැහැ.

පිංවත් ඔබ මේ සටහන කියවා නුවණින් තේරුම්ගෙන මොහොතක්‌ දෑස්‌ පියාගෙන, අතීත භව ගමනේදී බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළ දහම් ශ්‍රවණය කළ හැටි, අතීතයේ ලක්‍ෂ ගණනක්‌ වූ මහ රහතන් වහන්සේලාගෙන්, මහා සංඝරත්නයෙන් ධර්ම දේශනා තුළින් පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළ ධර්මයන් ශ්‍රවණය කළ හැටි නුවණින් දකින්න. පිංවත් ඔබ, දිව්‍යඵල, බ්‍රහ්මඵල වල ඉපිද අනාගාමී බ්‍රහ්මයන්ගෙන් පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළ ධර්මයන් ශ්‍රවණය කළ හැටි නුවණින් දකිමින් ඒ අතීත පංචඋපාදානස්‌කන්ධ ධර්මයන් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. එසේ දකිමින් මේ මොහොතේ පිංවත් ඔබ මේ ‘දිවයින’ ඉරිදා සංග්‍රහයේ පළවන පංචඋපාදානස්‌කන්ධ ධර්මයන් ගැන සටහන් වෙන මෙම සටහනද කියවා ඔබ තුළ සකස්‌වූ අතීත, වර්තමාන පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ද අනිත්‍ය බව නුවණින් දකින්න දක්‍ෂ වෙන්න.

සියලු සංස්‌කාරයෝ අනිත්‍යභාවයට පත්වෙනවා. සියලු සංස්‌කාරයෝ අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන් සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන විඤ්ඥාණයද අනිත්‍ය භාවයට පත්වෙනවා. විඤ්ඥානය අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම විඤ්ඥාණය හේතුවෙන් සකස්‌වෙන නාම රූප ධර්මයන් අනිත්‍යභාවයට පත්වෙනවා. නාම රූප ධර්මයන් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම සත්ත්වයා පටිච්චසමුප්පන්නව භවයේ ඈතින් ඈතට ගසාගෙන යනවා. අනිත්‍ය වූ පංචඋපාදානස්‌කන්ධය නිත්‍ය වශයෙන් ගනිමින් දුක කැමැත්තෙන්ම උරුමකොට ගන්නවා. දුකෙන් මිදීමේ එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිංවත් ඔබට මේ භව ගින්දර නිවා දැමීම පිණිස සිසිල් දියපොද වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිංවත් ඔබට පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමේ උපකාරක ධර්මයක්‌ සකස්‌ කොටදෙන තීරක බලාවේගය වෙනවා.

සෝවාන් ඵලය ගැන කථා කරනකොට දැනුම සහ අවබෝධය අතර වෙනස දැනගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ළිඳක්‌ තිබෙනවා, එම ළිඳේ පිරිසිඳු ජලය තිබෙනවා, මනුෂ්‍යයෙක්‌ ජලය පානය කොට පිපාසය සංසිඳුවා ගැනීමේ බලාපොරොත්තුවෙන් ළිඳ ළඟට එනවා. නමුත් ළිඳ ළඟ බාල්දියක්‌ නැහැ, වතුර පානය කොට පිපාසය සංසිඳුවා ගන්නට. තවත් එවැනි ළිඳක්‌ තිබෙනවා, එහිද පිරිසිඳු ජලය තිබෙනවා. මනුෂ්‍යයෙක්‌ ජලය පානයකොට පිපාසය සංසිඳුවාගැනීමට ළිඳ ළඟට එනවා. ඔහු ළිඳ ළඟ තිබෙන බාල්දියෙන් වතුර ඇදගෙන පිපාසය සංසිඳුවා ගන්නවා. දැනුම හරියට පිරිසිදු ජලය තිබුණත් එම ජලය පරිහරණයට ගැනීමට නොහැකි බාල්දියක්‌ නැති ළිඳ වගේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

වර්තමාන සමාජයේ දැනුම නිසාම, දැනුම නිසා සකස්‌කොටගත් වෘත්තීය මමත්වයේ දැඩිභාවය නිසාම පිංවතුන් බලවත් ආකාරයට පංචඋපාදානස්‌කන්ධයට බැඳී යනවා. දැනුම තුළ මම දකිනවා. මම තුළ ‘දැනුම’ දකිනවා. දැනුම මගේ ආත්මය කොට දකිනවා. මේ සියල්ල සංස්‌කාරයන්ගේ ඵලයක්‌ හැටියට දකින්නේ නැහැ. සංස්‌කාරයන් හේතුවෙන් සකස්‌වෙන විඥානයේ ක්‍රියාත්මකභාවය වශයෙන් දකින්නේ නැහැ. හේතුව නොදකින නිසාම ඵලය දුකක්‌ බවට පත්කොටගන්නවා. කුමන ක්‍ෂේත්‍රයක වුවද, ඔබ ලබා තිබෙන දැනුම යනු අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයකි. අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ හේතුවෙන් ඔබට ලැබුණු දැනුම නිසා ඔබ මමත්වයේ දැඩිභාවය ඇතිකොටගත්තොත් දැනුම හේතුවෙන්ම සකස්‌කොට ගන්නා අකුසල් සංස්‌කාර හේතුවෙන් ඔබ අනාගත භවයේ නූගතෙක්‌ බවට පත්වෙනවා. පිංවත් ඔබ නුවණින් දකින්න දක්‍ෂ වෙන්න ඕනේ, වර්තමාන සමාජයේ යම් නූගත් පිංවතුන් ජීවත් වෙනවා නම් එම නූගත්භාවයට අවශ්‍ය සාධක සකස්‌කොට දුන්නේ එම පිංවතා අතීතයේ දැනුම නිසා ඇතිකොටගත් අකුසල් සංස්‌කාරයන් නිසාම කියන කාරණය. ‘සංස්‌කාර පච්ඡයා විඤ්ඥාණ කියන ධර්මතාව තට්‌ටු මාරු ක්‍රමයට සත්ත්වයා උගත්භාවයෙන් නූගත්භාවයට, සුගතියෙන් දුගතියට පත්කිරීමේ ක්‍රියාන්විතයේ පෙරගමන්කරු වෙනවා.